අමෙරිකාවේ මැන්හැටන් ලෝක වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අමෙරිකානු අභිමානය මොහොතකදී බින්දුව දක්වා පහත වැටිණි. ඒ සමඟම, ‘තමන් අපරාජිතය’ යන අමෙරිකාවේ සිතිවිල්ල සිහිනයක් වූයේය. ‘අමෙරිකාව අනාරක්ෂිතය’ යන්න අමෙරිකානුවාට දරාගත නොහැක්කකි. චෝදනාව එල්ල වූයේ ජනාධිපති ජෝර්ජ් බුෂ් වෙතය. අමෙරිකානු ජනතාව බලා සිටියේ ජෝර්ජ් බුෂ් අනුගමනය කරන ඊළඟ පියවර දෙසය.

ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඔසාමා බින්ලාඩන්
එක්සත් ජනපද ජනාධිපතිවරණයට දින 4ක් තිබියදී අල් ජසීරා රූපවාහිනිය බින් ලාඩන්ගේ වීඩියෝ පටයක් නිකුත් කළේය. අමෙරිකාවේ ආරක්ෂාව රඳා පවතින්නේ අල් කයිඩා සංවිධානය මත නොවන බවත්, අමෙරිකාවේ ආරක්ෂාව ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති මත රඳා පවතින බවත් ඔහු එහිදී අවධාරණය කළේය. මැදපෙරදිග අමෙරිකාව අනුගමනය කරන ඊශ්‍රායල ගැති ප්‍රතිපත්තියට බින්ලාඩන් නිර්දය අන්දමින් පහර දුන්නේය. ඊශ්‍රායලය විසින් 1982දී ලෙබනනයේ බීරූට් නගරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය තමන් තුළ නිව්යෝර්ක් උස් ගොඩනැඟිලි ඉලක්ක කිරීමේ අදහස මුලින්ම ඇති කළ බව බින් ලාඩන් ප්‍රකාශ කළේය.
අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩන් අමෙරිකානු නිෂ්පාදනයකි. ඇෆ්ගනිස්තානයේ සෝවියට් රුසියානු බලය මැඬීමට අමෙරිකාව විසින් අල්කයිඩාව ගොඩනැඟුවේය. බින් ලාඩන් නිර්මාණය වූයේ අමෙරිකන් ජනතාවගේ බදු මුදල්වලිනි. එය හෙළි කෙරෙන පර්යේෂණ වාර්තා, ග්‍රන්ථ රැසක් මේ වන විට ලියවී තිබේ. යේල් විශ්වවිද්‍යාලය මඟින් ප්‍රකාශයට පත් කළ අහමඩ් රෂීඩ්ගේ විමර්ශනවලින් මේ සම්බන්ධ දීර්ඝ හා පැහැදිලි හෙළිදරවුවක් කර තිබේ. අහමඩ් රෂීඩ් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ මධ්‍යම ආසියාව භාරව සිටින වාර්තාකරුය.
අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානි විලියම් කේසි ඇෆ්ගනිස්තානය සම්බන්ධව 1986දී රහස් පිළිවෙත් තුනක් අනුගමනය කළේය. මුජෙහෙදීන් ගරිල්ලන් සමඟ සටන් වැදී සිටි ඇෆ්ගනිස්තානයේ බබ්රක් කර්මාල් රජයට සෝවියට් දේශය උදවු කරමින් සිටියේය. අමෙරිකාව ඇෆ්ගනිස්තාන් රජය පෙරළා දැමීම සඳහා මුජහිදීන් ගරිල්ලන්නට රහසේ ආධාර දුන්නේය. ස්ටින්ජර් මිසයිල ලබාදෙමින් රුසියන් ගුවන් යානා බිම හෙළන්නට උපදෙස් දුන්නේය. ඇෆ්ගන් කඳවුරුවල ගරිල්ලන් පුහුණු කරන ලද්දේ අමෙරිකානු යුද උපදේශකයන් විසිනි. අනෙක් පියවර වූයේ මුජෙහෙදින් ගරිල්ලන් සමඟ සටන් බිමට යෑමට විප්ලවකාරි මුස්ලිම්වරුන් බඳවාගැනීමේ පාකිස්තාන ISI සැලසුමට CIA සංවිධානය සහය දුන්නේය.
ජනාධිපති ෂියා උල්හක්ගේ පකිස්තානු රජයේ අනුග්‍රහය යටතේ විප්ලවකාරි මුස්ලිම් තරුණයන් පුහුණු කළ මද්‍රසා පාසල්වල 1982 – 1992 දශකයේදී මුස්ලිම් රටවල් 43ක තරුණයෝ දහස් ගණනක් ඉස්ලාම් අන්තවාදීන් ලෙස පුහුණුව ලැබූහ. ඔවුන් අතර යේමනයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා වූ ඔසාමා බින් ලාඩන්ද සිටියේය. බින් ලාඩන් ඉස්ලාම් ගරිල්ලා සංවිධානයක නායකයකු වීමේ මුල එතැනය. 90 දශකයේ බින් ලාඩන් වේගයෙන් නැඟී ආවේය. අමෙරිකන් බුද්ධි අංශ බින්ලාඩන් පිළිබඳ වාර්තා කර තිබිණි.
සූඩානය විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මැඩිරිෆ් ඕල්බ්‍රයිට් වෙත බින්ලාඩන්ගේ අල්කයිඩා සංවිධානයේ නායකයන් 200කගේ ජීවදත්ත දී තිබූ නමුත් එය නොසලකා හැර තිබිණි. එය පළමු අවස්ථාවය. තවත් රහස්‍ය වාර්තාවක් එවා තිබුණේ ඔක්ලහෝමා නගරයේ FBI නියෝජිතයා විසිනි. 1998 වසරේ අග ඒ වාර්තාව එවා තිබූ බව සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හෙළි කරගෙන තිබිණි. එයින් කියවුණේ ඔක්ලහෝමා ගුවන් නියමු පුහුණු පාසලේ මැද පෙරදිග රටවල මුස්ලිම් තරුණයන් විශාල පිරිසක් පුහුණුව ලබන බවයි. ගුවන් නියමු පුහුණු පාසලේ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේල් ඩේවිස් පසුව සඳහන් කළේ ඔසාමාගේ පෞද්ගලික ගුවන්යානයේ නියමුවාද එහිදී පුහුණුව ලැබූවකු බවයි. FBI ඇරිසෝනා නියෝජිත කෙන් විලියම්ස්ද සැකකටයුතු මුස්ලිම් පිරිසක් ගුවන් නියමු පුහුණුව ලබන බව වාර්තා කර තිබේ.
බින්ලාඩන්ගේ මිනිසුන් බවට සැක කළ හැකි ඒ පිරිස අමෙරිකන් ගුවන ආක්‍රමණය කරන අදහසින් මෙසේ පුහුණුව ලබනවාද යන්න සැකකටයුතු බව එම වාර්තාවල ඇතුළත් කර තිබී ඇත. මේ සිසුන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ජාතික වැඩසටහන් අවශ්‍ය බවටද එමඟින් ඉල්ලා ඇත.
අමෙරිකාවේ FBI ප්‍රධාන කාර්යාලයට හා නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලයටද යවන වාර්තා දෙකම නොසලකා හැර ඇත. බ්‍රිතාන්‍යයේ M 1-6 ඔත්තු සේවාව 1999 දී බ්‍රිතාන්‍යයේ අමෙරිකා තානාපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක් භාරදී තිබේ. එහි සඳහන් වූයේ අල් කයිඩා සංවිධානය මගී ගුවන් යානා යොදාගනිමින් අමෙරිකාවට සාම්ප්‍රදායික නොවන ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවයි. එයද නොසලකා හැර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් 2001 අගෝස්තු මාසයේදී අල්කයිඩා සංවිධානය මරාගෙන මැරෙන ගුවන් නියමුවන් පුහුණු කරමින් සිටින බව අමෙරිකාවට දන්වා තිබේ. එයද නොසලකා හරිනු ලැබීය. ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරීන් දෙදෙනකු 2001 අගෝස්තු 8 දා වොෂින්ටන් නුවරට පැමිණ ත්‍රස්තවාදීන් 50ත් 200ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට මහා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට වාර්තා ලබාදී ඇත. අමෙරිකාව එයද නොසලකා හැරියේය.
අමෙරිකානු ජාතික බුද්ධි කවුන්සිලය 1999 දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට සහ රජයට දුන් වාර්තාවක් මඟින් සැප්තැම්බර් ප්‍රහාරය පිළිබඳ අනතුර කල්ඇතිව දැනුම් දී ඇත. අල්කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන බළකායේ සාමාජිකයන් C 4 /Semtex පුපුරන ද්‍රව්‍ය යොදා ධවල මන්දිරයට, පෙන්ටගනයට හෝ බුද්ධි බළකා මූලස්ථානට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ තිබෙන බව එයින් අනතුරු අඟවා තිබේ. ජනාධිපති බුෂ් එය දැක ඇත්තේ 2002 මැයි මාසයේය. එනම් ප්‍රහාරයෙන් මාස 8 කට පසුවය.