Home » කමිඳුලා මාලිංගලා ගෙදර එද්දී කුසල් චරිත් අයිපීඑල් ඇතුළට

කමිඳුලා මාලිංගලා ගෙදර එද්දී කුසල් චරිත් අයිපීඑල් ඇතුළට

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

18 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියේ අවසන් මහා තරගය අඟහරුවාදා (3) පැවැත්වීමට නියමිතව ඇති අතර, එසේ මෙවර අයිපීඑල් අවසන් මහා තරගය සතියකින් පමණ කල් යන්නට තරම් තරගාවලිය ඇදී ගියේ ඉන්දියාවේ පරම සතුරා ලෙස සැලකෙන පාකිස්තානයේ යුදමය බලපෑම් හේතු කොටගෙනය.

මේ මස මුල් සතියේදී ඇති වූ එකී යුදමය පරිසරය හේතුවෙන් ඉන්දියාවේ පැවැති අයිපීඑල් තරගාවලිය බලධාරීන් විසින් හදිසියේම නැවැත්වීමට තීන්දු කරද්දී, ඊට සමාන්තරව පාකිස්තානයේ පැවති සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද (පීඑස්එල්) හදිසියේම නවතා දින 10කින් පසු නැවත ආරම්භ කෙරිණි. පාකිස්තානය කෙසේ හෝ පීඑස්එල් තරගාවලිය ඉක්මනින් නිමා කරගත්තද මෙකී ප්‍රවෘත්ති මැවෙමින් පවතිත්දී එකල ශ්‍රී ලංකාවට සම්බන්ධ විශේෂ ප්‍රවෘත්තියක් මවන්නට කුසල් මෙන්ඩිස් සමත් විය. එනම්: දෙරට තුළ මතු වූ අයහපත් පරිසරය හේතුවෙන් එම තරගාවලි දෙකෙහිම සිටි සමහර විදෙස් ක්‍රීඩකයන් කණ්ඩායම් අත්හැර යද්දී පීඑස්එල් තරගාවලිය සමඟ ගිවිසුම් ගතව ක්‍රීඩා කරමින් සිටි මෙන්ඩිස් අයිපීඑල් තරගාවලි බලධාරීන් සමඟ හදිසියේම නව ගිවිසුමකට එළඹීය.

ඒ අනුව අයිපීඑල් තරග වදින ගුජරාට් ටයිටන්ස් සංචිතයට කුසල් මෙන්ඩිස් සම්බන්ධ වූ ඇති අතර තමන් අත්හැර හදිසියේම තම දේශපාලන සතුරා ළඟට යෑම සම්බන්ධයෙන් දැඩි ලෙස උරණ වූ පාකිස්තාන් ක්‍රිකට් බලධාරීන් වහා ක්‍රියාත්මක වී, ඉදිරියටත් බලපාන පරිදි මෙන්ඩිස්ට පීඑස්එල් තරග තහනමක් පැනවීය. කෙසේ වෙතත් හදිසියේම ගුජරාට් පිලට එක්වූ මෙන්ඩිස්ට, ඉන් පෙර ගුජරාට් පිල සමඟ එක්වූ දා සිට බංකුවේ සිටි දසුන් ශානකට මෙන් ඉරණමක් අත් වන්නේ නැත. හේතුව: අයිපීඑල් මූලික වටයේ තරගවලින් පසු බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ තරගාවලියක් සඳහා ගුජරාට් පිලේ කඩුලු රකින්නා වූ ජෝස් බට්ලර් නැවත එංගලන්තය බලා යන බැවින් ඔහුගේ රාජකාරිය මෙනිඩිස්ට පැවරෙන නිසාය.

මේ කලබල මැද්දේම, එතෙක් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු නොසිටි මුම්බායි ඉන්දියන්ස් සංචිතයටටද ඇතුළත් වීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක චරිත් අසලංකට අවස්ථාව උදා විය. ඒ අනුව ඉන්දු-පාකිස්තාන් යුද ගිනිදැල් අස්සේ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට අයිපීඑල් මංගල වරම් හිමි වූ අතර, මෙවර අයිපීඑල් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යව 10 දක්වා වැඩි විය. එහෙත් ඒ අතුරින් මෙතෙක් පැවති මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකාව පැත්තෙන් කැපීපෙනෙන ක්‍රීඩකයා වූයේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ඒෂාන් මාලිංගය. මෙවර තරගාවලියේදී කඩුලු දවාගැනීම අතින් හොඳම සාමාන්‍යයක් පෙන්නුම් කරන ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැඳී සිටීමට තරග 7කට ක්‍රීඩා කළ මාලිංග (සාමාන්‍යය 18.30) සමත් වී ඇත.

තවද, මෙවර තරගාවලියේදී මෙතෙක් පැවැති මූලික වටයේ තරග සියල්ලටම (14ටම) සහභාගි වී (පසුගිය 29දා තෙක්) පන්දු යවන්නකු දවාගත් ඉහළම කඩුලු සංඛ්‍යාවට (24යි) හිමිකම් කියන චෙන්නායි සුපර් කිංස් පිලේ නූර් අහමඩ් (සාමාන්‍යය 17.00) එම ලැයිස්තුවේ සිටින්නේ 5 වැනි ස්ථානයේය. එම කණ්ඩායමේම වේගපන්දු යවන මතීෂ පතිරණ තරග 13 ක්‍රීඩා කොට 32.61ක කඩුලු සාමාන්‍යයක් රඳවා ගනිද්දී හිමිකර ගෙන ඇත්තේ 50 වැනියාටත් පහළ තැනකි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගැන කතා කළ හොත් රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතයේ සිටින නුවන් තුෂාරට ලැබුණේ එක් තරගයක් පමණි. එනම් පසුගිය 27 දා ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව වේගපන්දුවෙන් බැංගලෝර් වෙනුවෙන් ඉනිම ආරම්භ කළ තුෂාර තම දෙවැනි පන්දු වාරයේදීම 4 වැනි පන්දුවට කඩුල්ලක් දවා ගත්තේය. ලැබුණ පළමු අවස්ථාවේදීම තුෂාර එසේ දස්කම් දැක්වුවද පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණට කැපී පෙනෙන යමක් කිරීමට හැකියාව ලැබුණේ නැත. ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම් සමඟ මාලිංග සහ කමිඳු මෙන්ඩිස් නියෝජනය කළ සන්රයිසර්ස් හයිද්‍රාභාද් කණ්ඩායමද මේ වන විට තරගාවලියෙන් ඉවතට ගියද මාලිංග හා කමිඳුගේ දස්කම් අන්තර්ජාතික විස්තර විචාරකයන්ගේ පවා පැසසුමට ලක් විය.

එම සහතිකයම ඔවුන් දෙදෙනාට ලබන 2026 අයිපීඑල් තරගාවලියට එන්නට සුදුසුකමක් විය හැකි අතර සන්රයිසර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවන් දෙකටම (286/6 රාජස්ථාන් රෝයල්ස්ට එරෙහිව, 278/3 නයිට් රයිඩර්ස්ට එරෙහිව) අයිතිකරුවන් විය. ඔවුන් එසේ නයිට් රයිඩර්ස්ලා පරාජය කොට නොමැකෙන ඉහළ දක්ෂතා පෙන්වමින් 2025 තරගාවලියෙන් සමුගත්තේ ඔවුන්ගේ අංක 3 පිතිකරු හෙන්රිච් ක්ලාසන් අයිපීඑල් තරග ඉතිහාසයේ 3 වැනි වේගවත්ම ශතකයකටද (පන්දු 37කින්) හිමිකම් කියමිනි. තවද, සන්රයිසර්ස් යනු අයිපීඑල් ඉතිහාසයේ ඉහළම ලකුණු ලබාගත් (287/5 – බැංගලෝර් පිලට එරෙහිව, 2024 දී) කණ්ඩායමයි. කෙසේ වෙතත් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ පන්ජාබ්, බැංගලෝර්, ගුජරාට් සහ මුම්බායි යන කණ්ඩායම් හතර පමණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division