Home » එන එන ක්‍රීඩා ඇමැතිවරුන් ඉර ඉරා මැහුම් දමන අපේ රටේ ක්‍රීඩා පනත

එන එන ක්‍රීඩා ඇමැතිවරුන් ඉර ඉරා මැහුම් දමන අපේ රටේ ක්‍රීඩා පනත

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සාදන ලද නියෝග මාලාව, 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද නමුත්, ඒ නියෝග මාලාව යටතේ ක්‍රීඩා පනතට එක් කර ඇති හෝ සංශෝධනය කරන ලද යම් වගන්ති හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථයක් මතු වී ඇති බවට පැවසේ.

‘කුසලතාව, සාධාරණත්වය සහ විනය සපිරුණු නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ මහජන අභිලාෂයන් යථාවත් කිරීම අධිෂ්ඨාන කරගෙන, මේ නව රෙගුලාසි මාලාව පනවනු ලබන්නේ ක්‍රීඩා පරිපාලනය පිළිබඳ නව ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා වන අතර, ක්‍රීඩාවේ සියලු පාර්ශ්වකරුවන්ට පක්ෂග්‍රාහිත්වයෙන් තොර සැමට සමාන අවස්ථා සලසාගත හැකි, ක්‍රීඩා පරිපාලනය විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ වග වීමෙන් ක්‍රියාත්මකව පවතින බවට සහතික කිරීම සඳහාය,’ යනුවෙන් ඒ නියෝග මාලාව නිකුත් කරමින් පනවන ලද ගැසට් නිවේදනයේ පෙරවදනෙහි සඳහන් වුවද එකී සඳහන් අරමුණු සහ අපේක්ෂා නව රෙගුලාසි මාලාවේ සමහර වගන්ති මඟින් නිෂේධනය වී ඇතැයි පෙන්වා දීමට කැමැත්තෙමි.

තවත් විධියකින් කිවහොත් නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ මහජන අභිලාෂයන් යථාවත් කිරීම අධිෂ්ඨාන කරගෙන මෙම නව රෙගුලාසි මාලාව පනවනු ලබන්නේ නම් සෑම රෙගුලාසියක් කියවීමෙන්ම මහජනයාට ඒත්තු ගැන්විය යුත්තේ ක්‍රීඩාව තමන්ට ආභරණයක් කර ගන්නා පුද්ගලයන්ට, නැතහොත් ක්‍රීඩාව තමන්ගේ පැවැත්ම සඳහා පමණක් යොදාගන්නා පුද්ගලයන්ට ක්‍රීඩා පරිපාලනයට වැට බැඳෙන බවයි. එසේ නැතිව, ගෙවී ගිය දශක තුන හතරකම කාල වකවානුවේදී සිදු කළාක් මෙන්, යමකුගේ ගමනක් වැළැක්වීම සඳහා හෝ ඉඩ සලසා දීම සඳහා අලුතින් රෙගුලාසි ඇතුළත් කිරීම හෝ පවතින රෙගුලාසි සංශෝධනය කරනු ලබන්නේ නම් එකී අභිලාෂ ඉටු කරගත නොහැකිය.

ඒ අනුව, පසුගිය 21 දා ප්‍රකාශිත ගැසට් නිවේදනයේ පළ කර ඇති නව රෙගුලාසි යටතේ අංක 4(2) (iv) වගන්තියෙන් කියවෙන කරුණු සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් ඇත. 4(1) හි (i), (ii) සහා (iv) යන තනතුරු සඳහා තෝරා පත් කරගැනීමට සුදුස්සකු වීම සඳහා එනම්: (i) සභාපතිවරයා සහා උප සභාපතිවරයන්, (ii) ලේකම් සහ උප ලේකම් හා (iv) විධායක කමිටු සාමාජිකයන් යන තනතුරුවලට පත් කරගැනීමට සුදුස්සකු වීමට:

‘වසර 15කට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත වරලත් ගණකාධිකාරිවරයකු වීම සහ/ හෝවසර 15කට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත නීතිඥවරයකු වීම සහ/ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ සාමාජිකත්වය සමඟින් වසර 15කට වැඩි වෘත්තීමය අත්දැකීම් සහිත වෛද්‍යවරයකු වීම සහ/ හෝ වසර 15කට වැඩි වෘත්තීමය අත්දැකීම් සහිත වරලත් ඉංජිනේරුවරයකු වීම සහ/ හෝ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ක්‍රීඩාව/ ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය සමඟ වසර 15කට වැඩි වෘත්තීමය අත්දැකීම් සහිත අයකු වීම,’ යනුවෙන් අංක 4(2) (iv) ලෙස නව වගන්තියක් එක්කොට ඇත.

මේ ආකාරයෙන් වෘත්තීන් ඇතුළත් කොට 4(2) (iv) වගන්තිය සකස් කළේ නම් තවත් ඕනෑම කෙනකුට මෙරට තිබෙන ඕනෑම වෘත්තීන් ප්‍රමාණයක් සීමා රහිතව මීට ඇතුළත් කිරීමට නොහැක්කේද? ඒ නිසා එකක් පැහැදිලිය. මෙය, මෙම රෙගුලාසි සකස් කළ කමිටුවේ කාගේ හෝ අපේක්ෂාවක් ඉටු කර ගැනීම සඳහා සීමා සහිත වෘත්තීන් ටිකක් පුරවා සැකසූ වගන්තියක් විය හැකිය. එනම්: කිසිදු තාක්ෂණික රාමුවක් හෝ කරුණක් පදනම් කර නොගෙන මේ වගන්තිය නිර්මාණය කර ඇත. තවද, මෙකී වගන්තියේ සඳහන් වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් ඊට ආසන්නම ඉහළින් ඇති 4(2) (iii) වගන්තියේද ඇතුළත්ව සිටින්නට හැකිය. මේ අතර 4(1) (iii) හි සඳහන් භාණ්ඩාගාරික සහා උප භාණ්ඩාගාරික තනතුරු සඳහාද පළමු සුදුසුකම ලෙස වරලත් ගණකාධිකාරිවර‍යකු විය යුතු යැයි 4(3) (i) වගන්තියෙහි සඳහන්ය.

මෙසේ, භාණ්ඩාගාරික තනතුරකට වරලත් ගණකාධිකාරිවර‍යකු විය යුතු යැයි යන සුදුසුකමම ක්‍රීඩා පරිපාලන සංගමයක සභාපති/ උපසභාපති හා ලේකම්/ උප ලේකම් වැනි තනතුරකට සුදුස්සෙකුයැයි සඳහන් කිරීම වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා නොමඟ යවා සතුටු කිරීමට යමකු ගත් උත්සාහයක් දැයිද? සැකයක් මතු වේ. හේතුව ක්‍රීඩා අමාත්‍යවරයාද වරලත් ගණකාධිකාරිවරයකුයැයි පැවසෙන බැවින් එම වෘත්තීය සුදුසුකම උලුප්පා අමාත්‍යවරයාට උපදෙස් දෙන යම් කෙනකු විසින් අමාත්‍යවරයා ඇන්දවීමට කරන ලද කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස මෙවන් කරුණු ඉස්මතු විය හැකි නිසාය.

මේ ලියුම්කරු එසේ පවසන්නේ මෙරට රග්බි ක්‍රීඩාවේ අන්තර් වාර පාලනයක් සඳහා කාර්යසාධන බළකායක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නිකුත් කරන ලද 2025 මැයි 22 දිනැති අංක 2437/32 දරන ගැසට් නිවේදනයටද පැය 24ක් වත් ආයුෂ තිබුණේ නැත. හේතුව වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක සහ එහි සාමාජිකයකු වන රොහාන් අභයකෝන් යන දෙදෙනා එම කාර්යසාධන බළකායේ සාමාජිකයන් ලෙස පත් කිරීම මෙරට සම්මත 1973 අංක 25 දරන ක්‍රීඩා පනත අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් නිසාය. එම උල්ලංඝනය කිරීම පිළිබඳව අදාළ කිහිපදෙනෙකු අප විසින් දැනුම්වත් කිරීමත් සමඟම ඊට පසු දිනම එනම් 2025 මැයි 23 දිනැති අංක 2437/46 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පෙර ගැසට් නිවේදනය අවලංගු කරන ලදි.

ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ සාමාජිකයා වෙනුවට වෙනත් දෙදෙනකුගේ නම් එම කාර්යසාධන බළකායට ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළද එසේ ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් කටයුතු කළේ ක්‍රීඩා ඇමැතිවරයාගේ නොදැනුවත්භාවය නිසා හෝ ඇමැතිට වැරදි උපදෙස් ලැබුණු නිසා වන්නට පුළුවන. ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රමුඛතම කාර්යභාරය බව 1973 අංක 25 ක්‍රීඩා පනතේ 1 වන කොටසේ 4.1 උප වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් කර ඇත.

මේ අනුව කිව හැක්කේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායකට මෙරට ක්‍රීඩා පනත පිළිබඳ අවබෝධයක් නැති බවක් හෝ නැති නම් තමා හිටපු රග්බි ක්‍රීඩකයකු බැවින් ඒ සඳහා පත් කළ කාර්යසාධන කමිටුවට රිංගා ගැනීමේ අරමුණින් වැරදි උපදෙස් දී ඇමැති අමාරුවේ දැමුවා විය හැකිය.

මේ දෙකෙන් ඕනෑම තොප්පියක් ප්‍රියන්තට දමාගත හැකි අතර, මෙසේ කරන ලද නව ක්‍රීඩා රෙගුලාසි ඇතුළත් නියෝග මාලාව නිකුත් කිරීමේදීද මෙවන් ආකාරයේ පුද්ගලයන්ගෙන් උපදෙස් ගෙන ඇමැතිවරයා කටයුතු කළේ නම්, අදාළ කාට කාටත් ඒ පිළිබඳ දෙවරක් සිතන්න සිදු වනු ඇත. හේතුව මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් අතීත ක්‍රියාකාරකම් ගත් කළ ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් මෙරට රග්බි ක්‍රීඩාවට සිදුකළ කෙරුවාවන් පිළිබඳ අයහපත් චරිත සහතික ලැබී ඇත. තවමත් ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් පවුම් 5,000ක් වාරික වශයෙන් අන්තර්ජාතික රග්බි සංගමයට ගෙවන්න සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයන් ලෙසය.

කෙසේ වෙතත්, මෙවර නිකුත් කර ඇති නියෝග මාලාවට අනුව, 5(2) (i) වගන්තියෙන් කියවෙන ‘නිලවරණයකට පෙරාතුව වසර 8ක් හෝ වසර 8ට වඩා වැඩි කාලයක් අඛණ්ඩව හෝ විරාම සහිතව කුමන හෝ ජාතික සංගමයක/ සම්මේලනයක සභාපති සහ/ හෝ ලේකම් සහ/ හෝ භාණ්ඩාගාරික ධුරය දරා ඇති කිසිවකු යළිත් කිසිදු ජාතික සංගමයක/ සම්මේලනයක, සභාපති සහ/ හෝ ලේකම් සහ/ හෝ භාණ්ඩාගාරික යන තනතුරු සඳහා තේරී පත් වීමට සුදුසුකම් නොලබන්නේය. නමුත් විධායක කමිටු සාමාජිකත්වය දැරීමට ඉන් බාධාවක් සිදු ‍නොවන්නේය.’ යන රෙගුලාසියෙහි වසර 8ක සීමාව තවත් වසර කිහිපයකින් වැඩි වූයේ නම් වඩාත් යහපත් වනු ඇතැයි හැඟේ. හේතුව: එවන් සීමාවක් දැමීමෙන් ක්‍රීඩා පරිපාලනය පිළිබඳව අත්දැකීම් ඇති පිරිසුදු පරිපාලකයකුට පවා නැවත ක්‍රීඩාවට දැක්විය හැකි දායකත්වයට ඉඩ ඇහිරෙන නිසාය.

තවද, උක්ත පෙරවදනට අනුව ක්‍රීඩා පරිපාලනය විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියාත්මකව පවතින බවට සහතික කිරීම සඳහා පළමුව කළ යුත්තේ නව නීති රෙගුලාසි අලුතින් එක් කිරීමට පෙර මෙතෙක් පැවැති රෙගුලාසි නිසි ලෙස ක්‍රියාවට නංවනවා දැයි සොයා බැලීමය. උදාහරණයක් ලෙස කිවහොත්: මෙම නියෝග මාලාවේ 7 වැනි වගන්තිය යටතේ සඳහන් කිසිදු රෙගුලාසියකට අනුකූලව කටයුතු නොකරන නාම පුවරුවලට පමණක් සීමා වූ, දැනට ලියාපදිංචි වී ඇති සංගම් රාශියක් ඇත. මොඩර්න් පෙන්ටත්ලන්, ඩාන්ස් ස්පෝට්, ටෙක්බෝල්, අශ්වාරෝහක ක්‍රීඩා හා කෝෆ්බෝල් යනාදි වශයෙන් එම ක්‍රීඩා අතර සඳහන් කළ හැකිය. එහෙත් මොවුන්ට විරුද්ධව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත.

එසේම ක්‍රීඩා භාණ්ඩ හා ආම්පන්න අලෙවියට ඍජුව දායක වෙමින්, මෙකී රෙගුලාසිවල 6(10) වගන්තිය උල්ලංඝනය කරන පුද්ගලයෝ තවමත් තනතුරුවල කටයුතු කරති. එනිසා නීති රෙගුලාසි කොතෙක් පැනවූවත් වැඩක් නැත; ක්‍රීඩා පනතේ කෑලි එහෙන් මෙහෙන් ඉරා දමා මැහුම් දැම්මාට ඵලක් නැත. කළ යුත්තේ කිසිවකුගේ මුහුණ නොබලා, කෙරුවාව දිහා පමණක් බලා, නීතිය ක්‍රියාත්මක කිරීමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division