Home » මහින්ද – රනිල් වටමේස සාකච්ඡාවක

මහින්ද – රනිල් වටමේස සාකච්ඡාවක

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

තැම් පළාත් පාලන ආයතනවල බහුතරය ලබාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු වෙමින් පවතින නිසා දේශපාලන ක්ෂේත්‍රය තවමත් උණුසුම්ය

ආණ්ඩුවේ ශක්තිය

සියලු පළාත් පාලන ආයතනවලින් වැඩිම අවධානයක් හිමිව තිබෙන්නේ කොළඹ මහා නගර සභාවටයි. කොළඹ මහා නගර සභාවේ පාලන බලය හිමි කරගැනීමට අදාළ බහුතරය සාකච්ඡා කරගෙන ඇති බව මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරයි.

කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා අවධාරණය කළේ බල්තසාර් මහත්මිය අනිවාර්යයෙන්ම කොළඹ පුරපති ධුරයේ කටයුතු කරන බවයි.

විපක්‍ෂයේ ශක්තිය

මේ අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විරුද්ධ පක්ෂය කියා සිටින්නේ කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය විසින් පිහිටුවනු ලබන බවයි. නගරාධිපතිවරයා ඒ වෙලාවට නම් කරන බවත් මේ වන විට පාලන බලය පිහිටුවීම අදාළ බහුතරය සකස් කරගෙන අවසන් බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කරයි.

යහපත් සමාජයක් වෙනුවෙන් කැප වන බව ජනපති කියයි

තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියකුම නිරත විය යුතු බවත්, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75 වැනි ජන්ම සංවත්සර ‘යතින්ද්‍රාභිවන්දනා’ මහෝත්සවය අමතමිනි.

අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබුණු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.

පැරණි ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම්

ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැඟීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී ‘පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳගත යුතු බව’ යැයි තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.

රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධති සහ වටිනාකම් මත ගොඩනැඟෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළඹ සිටීමේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ උජුපටිපන්න ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන් වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහාගැනීම උන් වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.

සෝභිත හිමිගේ මෙහෙවර

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ජාතික අර්බුදකාරි අවස්ථාවල පෙරට වැඩම කර නිර්භයව ඒ වෙනුවෙන් පෙනී සිට රටත්, සම්බුදු සසුනත්, ජාතියත් වෙනුවෙන් සටන් කළ මහා තෙර නමකි. උන් වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, සාමාජයීය හා ශාසනික සේවාව අගයමින් සහ උන් වහන්සේ වෙත නිදුක් නීරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් මේ උපහාර උත්සවය සංවිධානය කර තිබිණි.

‘ප්‍රායෝගික බුදුසමය’ ශාස්ත්‍රීය සංග්‍රහය සහ ‘අණ ගුණ සහ බණ’ කෘතියද මෙහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

කාම්බෝජ සංඝරාජ හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලද අතර, බෝධිරාජ විද්‍යාලයේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතන දහම් පාසලේ ශිෂ්‍ය, විශාරද දුලිත මේනුජ ශිෂ්‍යයා විසින් ගායනා කරන ඕමල්පේ සෝභිත නාහිමි උපහාර ගීතය ඇතුළත් සංයුක්ත තැටියද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මාහිමිගේ මූලිකත්වයෙන් පැවති මේ අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මාහිමි, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, කොරියාවේ ජොගේ මහානිකායේ ප්‍රධාන සංඝ නායක සහ සංඝසා බෞද්ධ විහාරයේ විහාරාධිපති යොන්දම් මාහිමි ඇතුළු විදෙස් පැවිදි-ගිහි ආරාධිත පිරිසක් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න සහ හිටපු කථානායක කරු ජයසූරිය ඇතුළු රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.

2026 අයවැයට යෝජනා ලබා ගැනීම ජනපති අරඹයි

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පසුගියදා (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනාගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අපනයන අභියෝග ජය ගැනීමට සැලැස්මක්

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගනිමින් අපනයනය ප්‍රමුඛ කරගත් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම එහිදී මතුව ඇති අභියෝග ජය ගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ යෝජනා සහ සැලසුම්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සජබ ගැටුම

සමගි ජන බලවේගයේ සංවිධායකවරුන් තනතුරු අත්හැරීම එකා පසු පස එකා වශයෙන් වේගයෙන් සිදු වීමට හේතුව සජබ විසින් පැහැදිලි කර තිබේ. පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂය සංවිධායකවරුන්ට දැනුම් දී ඇත්තේ කොට්ඨාසය පැරදුණොත් ලැයිස්තුවෙන් පත් කරද්දි කොට්ටාසවල වැඩිම ප්‍රතිශතය ගන්නා පිළිවෙළට පත් කිරීම සිදු කරන බවයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් සජබ ලැයිස්තුවලට පොහොට්ටුවේ ශ්‍රීලනිපය මෙන්ම එජාපයේ හිටපු ඡන්ද පදනමක් තියෙන අපේක්ෂකයෝද ඉදිරිපත් වූහ. මේ නිසා ඇතැම් කොට්ඨාස ප්‍රතිශත ගත් විට මෙලෙස පොහොට්ටුවේ ශ්‍රීලනිප හා එජාප අපේක්ෂකයන් සාම්ප්‍රදායික සජබ අපේක්ෂකයන් අබිබවා ප්‍රතිශත ලබාගෙන තිබිණි. මේ හේතුවෙන් මේ පිරිස්වලට ලැයිස්තුවේ ප්‍රමුඛතාව දෙන්නට සිදු වී තිබේ. මේ සමගම සංවිධායකවරුන් තුළත් කුකුසක් ඇතිවන්නට විය. මොවුන් කාලයක් තිස්සේ වෙනත් පක්ෂවල සිටි අය නිසා මේ අය පත්වුණාම අපට අවනත නැතිවෙයි කියා සිතීම ඊට හේතුවයි. මේ නිසා සංවිධායකවරුන් යෝජනා කළේ එය ඒ අපි කියන අය පත් කරන්න කියායි. මේ අලකලංචිය ආරම්භ වූයේ මාතලෙනි.

මාතලේ හුටපටය

මාතලේ අලුවිහාරේලා දෙදෙනෙක් ආසන දෙකක් බලති. මේ අතර රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුව නියෝජනය කරයි. රෝහිණිලා හා අලුවිහාරේලා අතර ගැටුමක්ද ඇති බව නොරහසකි. මේ නිසාම අලුවිහාරේලා පක්ෂය විසින් පැනවූ කොන්දේසි හා එකඟතා සියල්ල අමතක කර ඔවුන්ට අවශ්‍ය අය පමණක් දාගන්ට කටයුතු කළහ. මේ කටයුත්තට පක්ෂ නායක සජිත් අකැමැති බව පක්ෂ මහ ලේකම් මද්දුමබණ්ඩාර අලුවිහාරේලාට දැනුම් දුන්නේය. මීට උරණ වූ අලුවිහාරේලා ඉල්ලා අස්වීම ඉදිරිපත් කළේය.

මනෝ-දිගා ගැටුමෙන් කඳුකරය රත් වෙයි

නුවරඑළියේ තත්ත්වය මීට වඩා මඳක් වෙනස්ය. නුවරඑළියේ අශෝක සේපාල යනු ලිඳුල හිටපු නගරාධිපතිය ඔහු පවසන්නේ සජබ සන්ධානගතව ඉල්ලූ පළියට දිගම්බරන්ලට මනෝ ගනේෂන්ලාට සියලු පත් කිරීම් කරන්නට දුන්නොත් සජබ සිංහල හා දෙමළ අපේක්ෂකයන්ට යන එන මං නැති වන බවයි මනෝලා දිගම්බරම්ලා ලැයිස්තු හදනවා නම් මම සංවිධායක ලෙස සිටින්නේ මන්දැයි ප්‍රශ්න කරමින් ඔහු ඉල්ලා අස්වී තිබේ. මේ ප්‍රශ්නය පිළිබඳ සජබ නායකයා හා මහ ලේකම් එක්ව සාධනීය පිළිතුරක් ලබා දී එම ඉල්ලා අස්වීම ආපසු හරවාගත්තේය.

සමගියේ අසමගිය

මේ අතර අතමානයේ තියෙන කුලියාපිටියේ නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ බලය සමගියේ අසමඟිය නිසා ඈතට යමින් තිබේ. බොහෝ දෙනා පවසන්නේ නලින් බණ්ඩාරගේ උපාලි පියසෝමගේ හා ජයග්‍රාහි අපේක්ෂකයන්ගේ කඹ ඇදිල්ල නිසා මේ සභා දෙකේ බලය මාලිමාව අතට යෑමේ හැකියාවක් ඇති බවයි මෙහි බලය විපක්ෂයට ලබා ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුම අත පවා තිබේ. ශ්‍රීලනිපයේ අනුර ප්‍රියදර්ශන යාපා හා පොහොට්ටුවේ සමන්ප්‍රිය හේරත් සහ එජාපයේ අකිල විරාජ් යන තිදෙනාම සජබයට මෙම ආයතන දෙක දිනා ගැනීමට සහාය පළ කර තිබේ. ඔවුන් තිදෙනාම පවසා ඇත්තේ සජබ අර්බුදය ඇති කරන්නේ නැතිව මෙම සටන දිනමු කියයි. නමුත් මේ තිදෙනාගේ මන්ත්‍රීවරුන් සහය දෙනවා අරවා මේවා මොනවා කිව්වත් සජබ අර්බුදය විසඳී නැත ආරංචි මාර්ග පවසන පරිදි කුලියාපිටිය ප්‍රාදේශීය සභාව නම් කෙසේදත් කෙසේවත් පිහිටුවීමේ හැකියාවක් පෙනෙන්නට නැත. සභාවේ සභාපති ධුරය දෙන්නේ කාටදැයි යන්නට විසඳුමක් නැත.

රනිල්ගෙන් නව එජාපයක්

රනිල් අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැඟීමේ මෙහෙයුම් අරඹා ඇත. පුංචි ආණ්ඩුවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුණු මන්ත්‍රීවරු සිරිකොත මහ ගෙදරදී බ්‍රහස්පතින්දා ප්‍රතිඥා දුන්හ. ඒ පක්ෂ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීය. වජිර, තලතා, අකිල, නවීන්, සාගල ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.

“ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩි කර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට භාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැප වී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට භාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය භාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා,” රනිල් එම උත්සවයේදී අදහස් දක්වමින් පළ කළේ අලුත් ඉඟියකි.

ඒ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රනිල් පක්ෂයේ වගකීම අලුත් පරපුරට පවරන බවයි. කෙසේ වෙතත් බලය ලබාගන්නට නම් පක්ෂය සම්පූර්ණයෙන්ම නවීකරණය විය යුතු බව රනිල්ගේ අදහසයි.

ඒ කාලෙ ටෙලිෆෝනුත් නැහැ

“අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති. ඒ ප්‍රදේශවල ටෙලිෆෝන්වත් නෑ. දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා. අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැඟිය යුතුයි. අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනඟමු. මා ඒ වගකීම අදාළ කොමිටියට භාර දී තිබෙනවා,” යනුවෙන්ද රනිල් අලුත් සභිකයන් හමුවේ පැවසීය.

රනිල්ගේ යාළුවා කවුද?

රනිල්ගේ ආරක්ෂකයන්ට නවාතැන් ගැනීමට දී තිබූ නිවෙසින් ආරක්ෂකයන්ටත් පිටත් වන ලෙස දැනුම් දී ඇතත් ඔවුන්ට පදිංචිය සඳහා සුදුසු නිවෙසක් ලබා දී නැති බව එජාපය පවසයි. ආරක්ෂකයන්ගේ නවාතැන් සඳහා පැරණි හැඳුනුම්පත් කාර්යාලය ලබාදෙන බව පැවසුවත්, ඒ කටයුතු සිදු වන බවක් පෙනෙන්නට නැත. රනිල්ගේ ආරක්ෂකයන් බොහෝ දෙනකු සිටින්නේ කොළඹින් පිටය. ඔවුන්ට නිතිපතා දුර බැහැර සිට කොළඹ පැමිණීම අසීරුය.

මුලින්ම රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අශෝක ස්ථාන මාරු කරනු ලැබූ අතර දැන් සෙසු ආරක්ෂක නිලධරයන්ට ඉන්න හිටින්නට තැනක් නැති කර තිබේ.

ඇමැති විජිතගේ ඉල්ලීම

යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණපාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි එකඟතාව පළ කළේ ය. ඒ මහතා එකඟතාව පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව කළ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙසයි.

තෙදින නිල සංචාරකයක් සඳහා පෝලන්ත විදේශ අමාත්‍ය ධුරය සහ යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා පසුගියදා (28) පෙරවරු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණි අතර විජිත හේරත් සමඟ නිල හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ‘ජීඑස්පී ප්ලස්’ සහනය අඛණ්ඩව ලබා දීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමයේ වර්තමාන සභාපතිත්වය දරන පෝලන්තයට ස්තුති කළ අමාත්‍ය විජිත හේරත් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට නිරන්තරයෙන් දක්වන සහයෝගය අගය කළේය. කිසිදු ආගමික, ජාතික හෝ වාර්ගික කණ්ඩායමකට වෙනස් කොට සැලකීමක් සිදු නොවන අයුරින් අණපනත් සංශෝධනයට නව රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍ය විජිත හේරත් රඩෝස්ලාව් සිකෝර්ස්කි හට පෙන්වා දුන්නේය.

දේශපාලන ස්ථාවරත්වය, මානව හිමිකම් සුරැකීම හා සියලු ජාතීන්ට සමානව සැලකීම පිළිබඳව නව රජය ලබා ඇති ප්‍රගතිය පිළබඳව යුරෝපා සංගමය සෑහීමට පත්ව ඇති බව රඩෝස්ලාව් සිකෝර්ස්කි සිය ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ පවත්වන වෙළෙඳ සබඳතා තවදුරටත් වැඩි කරගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළ ඒ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ආයෝජකයන් මෙරටට එවීමටත් මෙරටට අවශ්‍ය තාක්ෂණික සහාය දීමටත් සහ ඇවැසි වේලාවලට මූල්‍යමය සහාය දීමටත් යුරෝපා සංගමය සූදානම් බවද සහතික වූවේය.

සිය රට වන පෝලන්ත ජාතිකයන් සඳහා සංචාරය කිරීමට ආකර්ෂණීය ගමනානන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අවධානය හිමි වී ඇති බවත් දැනට වාර්ෂිකව සංචාරකයින් 40,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණෙන බවත් පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි කියා සිටියේ ය. ඍතුමය සේවකයින් සඳහා පෝලන්තයේ රැකියා අවස්ථා ලබා දීම තවදුරටත් වැඩි කිරීමටත් ශිෂ්‍යයන් වෙනුවෙන් අවස්ථා වැඩි කිරීමටත් පෝලන්තය සූදානමින් සිටින බව ද ඔහු අමාත්‍ය විජිත හේරත් හට දැනුම් දී සිටියේය.

ආර්ථික සහයෝගිතාවක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත නවසීලන්තයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය පීටර්ස් හමුවේදී දෙරටට බලපාන ප්‍රබල ආර්ථික කරුණු පිළිබඳව ඉතා වැදගත් සාකච්ඡාවක් සිදු කෙරිණි. එම හමුවෙන් අනතුරුව එහි වැදගත්කම විජිත හේරත් අමාත්‍යවරයා මෙසේ පැවසීය:

“මේ වසර මුලදී වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව අප දෙරට අතර වර්ධනය වන හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයකි. අපගේ සබඳතා ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට අපගේ රටවල් සමීපව කටයුතු කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා-නවසීලන්ත ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් තහවුරු වී ඇති බවත් සඳහන් කිරීමට ලැබීම සතුටට කරුණකි. නවසීලන්තය සමඟ සමීපව කටයුතු කිරීමටත්, අනාගතයේදී අපගේ සබඳතා ගතික, බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමටත් මම බලාපොරොත්තු වෙමි.

“අමාත්‍ය පීටර්ස් සහ මම අද පුළුල් හා ඵලදායී සාකච්ඡා පැවැත්වූ අතර, ප්‍රධාන වශයෙන් වෙළෙඳාම සහ ආයෝජන, කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල අපගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යෑම කෙරෙහි අවධානය යොමු කළෙමු. මෙතෙක් පැවති සාකච්ඡා අපි සාදරයෙන් පිළිගත් අතර, නවසීලන්තය සමඟ වෙළඳ හා ආර්ථික සංවාදයක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ හරහා බහුවිධ අංශ හරහා සහයෝගීතාව විධිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සඳහා වර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”

කිරි නිෂ්පාදනයට අවධානය

“විශේෂයෙන් කිරි නිෂ්පාදන, සැකසූ ආහාර සහ නැවුම් නිෂ්පාදන වැනි ඉහළ විභව අංශවල වෙළෙඳ සබඳතා පුළුල් කිරීම පිළිබඳවද අපි ගවේෂණය කළ අතර, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කළෙමු. කිරි නිෂ්පාදන විශිෂ්ටතා පුහුණු මුලපිරීම (DETI) වැනි මුලපිරීම් ඇතුළුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සඳහා නවසීලන්තයේ දිගුකාලීන සහයෝගය, ග්‍රාමීය ජීවනෝපායන් කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇති කර ඇත. කිරි නිෂ්පාදන අංශයේ මේ වටිනා හවුල්කාරිත්වය දිගටම කරගෙන යෑමට සහ ගැඹුරු කිරීමට අපි එකඟ වෙමු.”

අධ්‍යාපනය හා ක්‍රීඩාව

“සංචාරක ක්ෂේත්‍රය තුළ, අප සතුව ඇති ප්‍රයෝජනයට නොගත් විභවයන් අප හඳුනා ගත් අතර, ඒකාබද්ධ ප්‍රවර්ධන සහ ආයෝජන සලකා බැලීමට එකඟ විය. සංචාරක ව්‍යාපාරය සහ ජනතාව අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීමට ද අපි හඳුනා ගත්තෙමු.

අස්වෙන්නේ කවුද?

හොරොව්පතාන සංවිධායක අනුර බුද්ධිකගේ ඉල්ලා අස්වීම ඊළඟට සිදු විය. අනුරාධපුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ රෝහණ බණ්ඩාර නිසා රෝහණ බණ්ඩාර අසීමිත බලයක් ආරෝපණය කරගනිමින් අනුරාධපුරයේ තමන්ට ඕනෑ විදියට හසුරුවන්න පටන් ගෙන තිබේ. සංවිධායකවරයකු සිටියදී ඔහුව මායිම් නොකර කටයුතු කරන රෝහණගේ ක්‍රියා කලාපයට එරෙහිව අනුර බුද්ධික ඉල්ලා අස් විය.

මීට අමතරව තවත් සංවිධායකවරුන්ට ප්‍රශ්න තිබුණත් ඔවුන් ඉල්ලා අස්නොවී ඉවසීමෙන් කටයුතු කළේය. කෙසේ වුවත් සජබ තුළ නොවිසඳුණු ගැටලු රැසක් තිබේ. මහනුවර සංවිධායකයන් පවසන්නේ මේ මැතිවරණ ක්‍රමය තුළ මෙලෙස ලැයිස්තුවෙන් පත් කිරීම ඊළඟ ජාතික මැතිවරණයකදී දරුණු බලපෑමක් ඇති කරන බවයි. පාක්ෂිකයන් මෙන්ම අපේක්ෂකයන්ද තමන්ගෙන් ඈත් වන බව ඔවුන්ගේ අදහස වී තිබේ. පළාත් පාලන ආයතනයක කාලය අවුරුදු හතරක් වන බැවින් ඇතැම් පත් කරන මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ තමන් වසර දෙකක කාලයක් මන්ත්‍රී ධුරය දරා ඉතිරි වසර දෙක තවත් කෙනකුට අවස්ථාව දෙන ලෙසයි. එහෙත් මන්ත්‍රී ධුරයේ හිඳගත් පසු ඉන් අයින් වෙන්නේ කවුරුන්දැයි සංවිධායකවරු ප්‍රශ්න කරති.

වජිරගේ ඉඟිය

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති අන්තයේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ රැස්වීම් කිහිපයක්ම පැවැත්විණි. ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සහ එජාප ක්‍රියාකාරීන් අතර පැවැති සාකච්ඡා විශේෂයයි. එම සාකච්ඡාවලදී පක්ෂයේ ඉදිරි කටයුතු සහ පැවැති පළාත් පාලන මැතිවරණයේ බලය පිහිටුවීම් ගැන මූලික වශයෙන් සාකච්ඡා වී තිබිණි. කෙසේ වෙතත් සියල්ලන්ගේම අදහස් හා යෝජනා විමසමින් ඒවා පිළිබඳ දීර්ඝ ලෙස කතාබහ කරමින් මෙම සාකච්ඡා ඉදිරියට ගොස් තිබේ.

මේ සාකච්ඡා පිළිබඳ ආරංචි වීමත් සමග වජිරගෙන් රටේ ඉදිරි දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ දැනගැනීම සඳහා මාධ්‍යවේදීන්ද උළුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ සිටි හෙයින් වජිර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු කර තිබිණි.

“සභාපතිතුමා, මේ දවස්වල විපක්ෂයේ එකතුවීමක් ගැන කතාවක් අපට අහන්න ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?”

“රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විපක්ෂයේ සිටින පක්ෂ සියල්ලම සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සාකච්ඡා ඉතාමත් සාර්ථක අන්දමින් ඉදිරියට ගොස් තිබෙනවා. විශේෂයෙන්ම රජයේ මහජන නියෝජිත සංඛ්‍යාවට වඩා රජයට විරුද්ධ මතය දරන විශාල පිරිසක් මහජනයා විසින් මහජන නියෝජිතයින් හැටියට තෝරා පත් කරගෙන තිබෙනවා.

එවැනි අවස්ථාවක තිබෙන වගකීම තමයි ඒ සභාවල් කෙසේද අනාගතයේ ගමේ සහ නගරයේ මහජනතාවට යහපත් වන පරිදි හැසිරවීම කියන කාරණය. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් සහ ඉලක්ක ලබාදීමට අප විපක්ෂයක් ලෙස කටයුතු කරමින් සිටිනවා,” යැයි වජිර එයට පිළිතුරු දුන්නේය.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පසුගිය බදාදා දහවල් කාලයේදී සිදුව තිබෙනවා. ඒ කෝට්ටේ මොනාච් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයක් සඳහා මොවුන් සහභාගි වූ අවස්ථාවේදීයි.

මේ අවස්ථාවට ඔවුන්ට අමතරව එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ද සහභාගී වී ඇත. කෙසේ වෙතත් මොවුන් සියලු දෙනාම එකම මේසයක වාඩි වී කතාබහ කිරීම විවාහ මංගල උත්සවයට සහභාගි වූ බොහෝ දෙනකුගේ අවධානයට සහ කතාබහට ලක්ව තිබේ.

කෙසේ නමුත් මොවුන් සියලු දෙනා වට මේස සාකච්ඡාවේදී කතාබහ කළේ මොනවාද යන්න නම් විවාහ මංගල උත්සවයට සහභාගී වූ අයට දැනගන්නට හැකියාවක් ලැබී නැත.

කෙසේ වෙතත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ වර්තමාන දේශපාලන කරණා ඉදිරි කටයුතු පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්ම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර සිදුවී ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division