Home » ආණ්ඩුවට බොරුව හැර ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ

ආණ්ඩුවට බොරුව හැර ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

රනිල් වික්‍රමසිංහ නායකයා කරගෙන සජබ, පොදුජන පෙරමුණ, සර්වජන බලය ආදී පක්ෂ සියල්ලම එකතු වෙලා පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න ගියා. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ?

අපි මුලින් බලන්න ඕන සජිත්ට දීල තියෙන ජන වරම මොකක්ද කියලා. සජිත්ට අති බහුතරයක් ඡන්දය ලබා දීලා තියෙනවා. විපක්ෂයට ලැබිලා තියෙන බහුතර බලය හරහා විපක්ෂයටත් ඒ ඒ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට හැකියි. පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධ ක්‍රමවේදයේ විකෘතියක් නිර්මාණය කළේ වර්තමාන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහයි. මේ මැතිවරණ ක්‍රමය තුළ දිනපු ප්‍රාදේශීය සභා සහ නගර සභාවලත් බලය ලැබුණු කණ්ඩායමට බලය පිහිටුවන්න බැරි තැනකට පත්වෙලා තිබෙනවා. එය වැරදි අර්ථකථනයක්. බහුතරය වැඩි විපක්ෂයට නම් විපක්ෂයට අයිතිය තියෙනවා, ජන මතය අනුව තමන්ට බලය ලැබිලා තියෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට. මේ ආණ්ඩුවේ පිරිහීම දැන් අපිට පේනවා. ඉතාම කෙටි කාලයයි ගත වුණේ. බොරුව සමාජ ගත කිරීම නිසා මාස හයක කෙටි කාලයක් තුළ ජනතාව ඒ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් යන ගමන හොඳයි නම් පෙරට වඩා ජයග්‍රහණයක් ලැබිය යුතුයි. මේ ආණ්ඩුව විශාල වශයෙන් ජනතාව රැවැට්ටුවා කියන කාරණය මේ මැතිවරණයෙන් පැහැදිලි වෙනවා. ඡන්ද විසිතුන් ලක්ෂයක් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. එය කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුවට සිදුවූ දැවැන්ත පරාජයක්.

නමුත් විපක්ෂයේ අනෙකුත් පක්ෂවල අය විතරක් නෙවෙයි, සජබ අයත් සජබට ඡන්දය නොදෙන තත්ත්වයක් දැන් තියෙනවා නේද?

මම හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. සජබ දේශපාලනික ක්‍රියාකාරකම් කෙරෙහි ජනතාව කලකිරිලා කියලා පේන්න නැහැ. නමුත් ජාතික ජන බලවේගය සහ මේ රටේ ඉහළ දේශපාලන නායකයන් කීප දෙනෙක් එකතු වෙලා සජිත් ප්‍රේමදාසට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණ කළා. සජබ නායකයා එය තේරම් ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න ජයග්‍රාහී මාවතක් නිර්මාණය කරගැනීමට කටයුතු කරනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස ජනතාවට එපාවෙලා නැති බව කිව යුතුයි. දේශපාලන කුමන්ත්‍රණ විසින් සජබ පරාජයට පත් කිරීමට කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. බොරුව සමාජගත කිරීමයි ඔවුන් කරන්නේ. මේ අය ජනාධිපතිවරණයෙදිත් රනිල් වික්‍රමසිංහ දිනන්නෙ නෑ කියලා කිව්වා, එයින් ඔවුන් කියන්න උත්සාහ කළේ දිනන්නෙ අනුර කුමාර දිසානායක කියන කාරණාවයි. ඒ දේශපාලන කුමන්ත්‍රණය හරහාම ඒ අයගේ දේශපාලන මිත්‍රකම අපිට පේනවා. ඒ මඟින් සිදුවූ සජප පරාජය හරහා සිදු වුණේ රටේ ජයග්‍රහණය පරාජය වීමයි. ඒ අවස්ථාවේ සජබ ජයග්‍රහණය කළා නම් ඒ මඟින් සියල්ලටම විසඳුම් හිමි වෙනවා. මේ ආර්ථික අර්බුදවලින් රට ගොඩ ගන්න පුළුවන් ශක්තිමත් ඔළුගෙඩි ටික තියෙන්නෙ සජබේ ඇතුළෙයි. මම හිතනවා මේ රටේ අනාගත දේශපාලන ජයග්‍රහණය සිදු වන්නේ ඒ අනුවයි.

පසුගිය දිනවල සමහර සංවිධායකවරුන් එම ධූරවලින් ඉල්ලා අස් වුණා. ඔබත් සංවිධායක තනතුරුවලින් ඉල්ලා වුණා නේද ?

ඔව්, මගේ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම භාර දුන්නා. මැතිවරණ ගණනාවකදි මට මගෙ ආසනය ජයග්‍රහණය කරන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා පසුගිය මහමැතිවරණයෙන් පසුව මගේ නායකතුමා සහ ජ්‍යෙෂ්ඨයන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නා. පක්ෂයේ ජයග්‍රහණය අපට ඉතාම වැදගත්. අපට ජනතා ආකර්ෂණයක් නැති නම් මම හිතන්නෙ අපි එතැන ඉඳලා තේරුමක් නැහැ. ඒ අනුව අපි වෙනත් ආසනයක සහ සංවිධාන කටයුත්තක නියැළිය යුතුයි. සමහර ආසන සංවිධානයකවරුන් ඉවත් වෙලා තිබුණේ වෙනත් හේතු මත විය හැකියි. පක්ෂය තුළ සාකච්ඡා කරමින් ඒ ඒ ආසනවල සංවිධාන කටයුතු සිදු කරමින් තිබෙනවා.

නමුත් අපිට නම් පේන්නේ සජබ දියවෙමින් යන බවක්. පක්ෂය තුළ අර්බුද එයට එක හේතුවක් නේද?

මම හිතනවා, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ කඳවුර සජබයේ වටිනාකම සහ දේශපාලන ශක්තිය මේ මහපොළොව තුළ පැළ කළ යුතුයි. අපි විදෙස් කුමන්ත්‍රණවලට නතු නොවි විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලට නතු නොවී, භූ දේශපාලනික කඳවුරුවලට නතු නොවී ඉතා ස්වාධීනව අපේ දේශපාලන කළා. ඒ නිසා අපි කිසිම තැනක කාගෙවත් අතකොළු බවට පත්වෙලා නෑ. වත්මන් ආණ්ඩුව වගේ එක එක රටවලට අවශ්‍ය විදියට රාජ්‍ය යාන්ත්‍රණය දියත් කිරීමට සජබ සූදානම් නෑ. රටේ ගරුත්වය, ජාතික ආරක්ෂාව පළමු තැන තියාගෙන අපි කටයුතු කළ යුතුයි. අපේ දේශපාලන වැඩ පිළිවෙළ පිළිනොගන්නේ මම හිතනවා, අපිට ඒ භූ දේශපාලනික සහයෝගය අපිට නොලැබෙන නිසාදෝ කියලා නමුත් මම හිතනවා, පක්ෂයක් ලෙස ලාංකික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු දේශපාලනික බලවේගයක අතකොළු වෙලා අපි වැඩ කරන්නේ නැහැ. එය තේරුම් ගත් අය ඉදිරියේදී අප සමඟ එකතු වෙයි.

මේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලැබීම නිසා මේ වන විට ප්‍රබල විපක්ෂයක් නැති වෙලා තියෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකරයි නේද?

ඇයි නැත්තේ? ප්‍රබල විපක්ෂයක් තියෙනවා. ජනතාව වෙනුවෙන් අපි හඬ නගනවා. නමුත් මේ වන විට රටේ සිදුවන දේවල් දේවල් අති විශාලයි. බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරනවා. ආර්ථික වැඩ පිළිවෙළක් නෑ. විශාල බියක් ජනතාව තුළ තියනවා. පාර්ලිමේන්තු විනය, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටිලා . නීතියේ ආධිපත්‍යය පිළිබඳ බියක් සැකක් ජනතාවට තියෙනවා. ජනතාවට ජීවනෝපායක් කරගෙන ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුව තුළදිත් මතු කළා, මේ වගේ දේවල් සිදුවූ ආණ්ඩුවලට මොකද වුණේ කියන කාරනාව. මේ විදියට දිගින් දිගටම සිදු වුවහොත් රටට සුගතියක් නොවන බව අපි මතු කළා. බහුතර ජනතා බලයක් ලැබුණු ආණ්ඩුවක අත්තනෝමතික ක්‍රියාකලාපය සහ නොහැකියාව මේ රටේ පිරිහීමට හේතු වන බව තමයි අපිට පේන්නෙ තියෙන්නේ.

මුජිබර් රහුමන් මන්ත්‍රීතුමා කියනවා, සජබ කොළඹ නගර සභාවේ බලය අල්ලනවා කියලා…

පළාත් පාලන පනත අනුව ඒ පළාතේ ජන්ද දායකයන්ගෙන් විපක්ෂයට ලැබුණු ජන්ද ප්‍රමාණයේ ප්‍රතිශතය වැඩි නම් විපක්ෂයට එකතු වීම සර්ව සාධාරණයි. ආණ්ඩුවට ඇතැම් තැන්වල බලය ලැබිලා නෑ එහෙම නම් විපක්ෂයට බලය හිමි වීම සර්ව සාධාරණයි. බහුතරය මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා තිබෙන පක්ෂයක් ලෙස මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස අනාගත විකල්ප ආණ්ඩුව ලෙස මම හිතනවා, කොළඹ මහනගර සභාවේ වගකීම ඉටු කරන්න, දැනුම, ශක්තිය තියෙන සජබ මැදිහත් වීම හොඳයි කියලා.

නමුත් මේ වන විටත් ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ප්‍රකාශයට පත් කර අවසන් නේද ?

ඔව්, මැතිවරණ කාලයේදීම ඔවුන් තමන්ගේ නගරාධිපතිනිය නම් කරලනේ තිබුණේ. නමුත් මේ මැතිවරණ ක්‍රමවේදය අනුව සියයට පණහ ගන්න බැරි වුණාම නගරාධිපති අපේක්ෂකයා තෝරන්නෙ පක්ෂය විසින් නෙමෙයි. නගරාධිපති තෝරා පත්කර ගැනීමට සම්පූර්ණ බලතල හිමි වෙන්නෙ පත්වන සභික මන්ත්‍රීවරුන්ටයි. මේ ඔලමොට්ටල තීන්දු නිසා දේශපාලන අණපනත් ගැන අවබෝධයක් නැති ආණ්ඩුව දැන් හත්පොලේ ගාගෙන තියෙනවා. එහෙම බලයක් ලැබුණා නම් ඔවුන්ට එක එක ස්වාධීන අපේක්ෂකයන් හොය හොයා ඉන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙ ලොක්කො නෙමෙයි කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරන්නේ, පත් වුණ මන්ත්‍රීවරුන් විසිනුයි. මේ වෙලාවෙත් ඒ අයගේ දේශපාලන නොහැකියාව රටට පෙන්නුම් කරන බවක් තමයි අපිට පේන්නෙ. මුලින් කිව්වෙ ඔක්කොම හොරු කියලයි. දැන් සුන්බුන් එකතු කරමින් ඉන්නවා.

කොහොම වුණත් විපක්ෂයට එකතු නොවී ආණ්ඩුවට සහාය දෙන්න ස්වාධීන අපේක්ෂකයන් සූදානම් වෙලා ඉන්නවා නේද?

මේ ආණ්ඩුවෙ කැත නින්දිත හෙළුව මේරටේ ජනතාව දැන් දැනගෙනයි ඉන්නෙ. ඉතිහාසය පුරා බලය ලබාගන්න ඕනෑම පහත් වැඩක් කරන්න බොහෝ පාලකයන්ට පුළුවන් වුණා. එදා ඒ පිළිවෙතේ කිසිම අඩුවක් නෑ මේ ජාතික ජනබලවේගයෙත්. අපි හොරු එක්ක එකතු වෙන්නෙ නෑ කියලා කිව්ව ඔවුන්ම ලැජ්ජාව නැතිව පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම වෙනුවෙන් විවිධ වූ දේශපාලන කණ්ඩායම් එකතු කරමින් යනවා. මේ ආණ්ඩුව විසින් එවැනි දේවල් නොකරන බවට පොරොන්දු දීලයි ඔවුන් බලයට ආවේ. රනිල්ලා, මහින්දලා කරපු දේශපාලන ඩීල් ඒ විදියටම දැන් ඔවුනුත් කරනවා. බලය ඕන වුණාම දුෂිතයෙක්ද වංචාකරුවෙක්ද කියලා ඔවුන්ට අවශ්‍ය නෑ, බලය ලබාගැනීම විතරයි වැදගත් වෙලා තියෙන්නෙ. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන දේ දැන් මේ ආණ්ඩුවේ හැසිරීමෙනුත් තහවුරු වෙලා තියෙනවා. ජනතාවත් එය තේරුම් ගනීවි.

ඇත්තටම සජබ මේ මැච් එක ගැහුවේ පරාජය අතේ තියාගෙන නේද?

සජබ මන්ත්‍රීවරයෙකු ලෙස මම කියන්න කැමතියි, අද වන විට සජබයේ එක මන්ත්‍රීවරයෙක්වත් හොරෙක්, මිනීමරුවකු විදිහට උසාවියට ගෙනත් නැහැ. සමගි ජන බලවේගය තුළ හොරු නෑ. ඒ නිසා ආර්ථික අවපාතවලට මුහුණ දෙන්න පුළුවන් පිරිස ඉන්නෙ සජබ තුළයි. මේ රටේ ජනතාවට තියන විශාල ගැටලුව රටේ ආර්ථික ප්‍රශ්න මිසක් හොරුන්ට දඬුවම් දෙන එක නෙමෙයි. අද විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් පිරිස ඉන්නෙ සජබ තුළයි. මේ ආණ්ඩුවේ දේශපාලන හීනමානය තුළ ඔවුන්ගෙ දේශපාලන ගමන සහ රට විනාශ වීමේ ලොකු අවදානමක් තියෙනවා. සජබ තුළ මේ රටේ බලාපොරොත්තු ඉටුකරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ආණ්ඩුවට ඔවුන්ගේ දේශපාලන හීනමානය නිසා ඔවුන්ගේ තීන්දු තීරණවලින් මේ රට විනාශ වන බව පේන්නෙ නෑ. ඒ නිසා අපි හිතනවා, අපි පරාජය වුණේ නැහැ, අපිව පරාද කළා. මේ රටට ඕනේ, මේ දැවැන්ත ආර්ථික අවපාතයන්ගෙන් රට ගොඩගන්න පුළුවන් නායකයන්. ඒ නායකත්වය තියෙන්නෙ සජබ තුළ නිසා ඊළඟ දේශපාලන මතවාදය ජයග්‍රහණ කරන්න අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය රටේ උගත්, බුද්ධිමත් පිරිස අපි අපේ පක්ෂය තුළින් නිර්මාණය කරනවා.

සජබ නායකතුමා රැස්වීම්වලදී කිවුවේ, වෙනත් පක්ෂ සමඟ කවදාවත් එකතු වෙන්නේ නෑ කියලා වුණත් දැන් කියනවා නේද ප්‍රාදේශීය සභාවල බලය අල්ලන්න ඕනෑ කෙනෙක් සමඟ එකතු වෙනවා කියලා…

ඇතැම් ප්‍රාදේශීය සභාවල විපක්ෂයට බලයක් ලැබිලා තියෙනවා. විපක්ෂයට බලය වැඩි නම් එකතු වීම විපක්ෂයට තියෙන අයිතියක්. මම හිතන්නෙ එය ඔවුන්ගෙ වගකීමක්.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට කියන්න ස්ථිර ප්‍රතිපත්තියක් සජබට තිබුණෙ නෑ. සජබ කථිකයන් බොහෝදෙනෙක් වෑයම් කළේ ආණ්ඩුවේ කථිකයන්ගේ පුංචි පුංචි කෑලි අල්ලන් මඩ ගහන්න නේද?

පළාත් පාලන මැතිවරණය තුළ ඒ ආයතනවල තියෙන දේශපාලන වැඩපිළිවෙළ මොකක්ද කියලා රටේ ජනතාවට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය බලය ලබාදිම කියන කාරණයයි. ඊට හේතුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස මැතිවරණ නීති කඩමින්, බියවද්දමින් ජනතාව තුළ විවිධ මතවාද හැදුවා. මෙය බරපතළ පිරිහීමට කාරණයක් වුණා. එය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙන කරුණක්. ඒ අයට ඕන වුණේ බොරුව තුළින් ජය ගැනීමටයි.

ආණ්ඩුවට විරුද්ධව ගෙනියන්න මඩවලින් පමණක් විපක්ෂයට බලයට පැමිණිය හැකි යැයි හිතනවාද?

ආණ්ඩුව කිවුව දේවල්වලින් කිසිවක් ඉටු කළේ නෑ. මඩ ගහන්න දෙයක් නෑ, ඒ යථාර්ථය ජනතාව දන්නවා. එක පෑන් පාරින් හාල් මාෆියාව නැති කරනවා කිවුව. ඒ කිසිවක් ඉටු නොකළ ආණ්ඩුවේ බොරුවෙන් රට බේරගන්න අවශ්‍ය වැඩපිළිවෙළයි අපි ඉදිරිපත් කරන්නෙ. බොරුව, මුසාව තුළින් ගෝඨාභය බලයට ගෙනත් අවසානයේ සිදුවූ දේම සිදුවන බවක් තමයි පේන්න තියෙන්නෙ.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ රට හදන ප්‍රතිපත්තියක් සජබට තියෙනවා නම් ඒක ජනතාව ඉස්සරහට ගෙනියන්නේ නැතුව ආණ්ඩුවට ගල් මුල් විසි කරලා හරි යනවද?

ගල් මුල්වලින් ප්‍රහාර එල්ල කරන්නෙ ආණ්ඩුවයි. ඒ අය බලය ගන්නෙත් එහෙමයි. හොරු අල්ලනවා කියනවා විතරයි. ඒ හැර මේ ආණ්ඩුවට බොරුව හැර ආර්ථිකය ගොඩනඟන්න සාර්ථික පිළියමක්, ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ. රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් අපි මේ ආණ්ඩුවටත් ඉදිරිපත් කළා. අපිට වගේම ජනතාවටත් ඕනේ ආර්ථික අවපාතයන්ගෙන් රට ගොඩගන්න පුළුවන් පිරිසක්. ඒ පිරිස ඉන්නේ සජබ තුළයි. ඒ අය මේ රටේ ඊළඟ පාලකයන් විය යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division