ඔබේ අමාත්‍යාංශය සතු කාර්යභාරය පිළිබඳ කෙටියෙන් සඳහන් කරනවා නම් ?
පරිසර අමාත්‍යාංශය යටතේ මේ රටේ ප්‍රධාන ආයතන දොළහක් පවතිනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ, සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, ජී.එස්.එම්.බී.තාක්ෂණික සේවා (පුද්)සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, රාජ්‍ය දැව සංස්ථාව, ජල සම්පත් කළමනාකරණ මණ්ඩලය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල යන මේ ආයතන දොළහේම වගකීම වෙන්නේ අපේ රටේ මුහුද, වෙරළ, සතා සිවුපාවුන්, වනාන්තර, භූ විද්‍යාත්මක සම්පත්, ජලය, වායුගෝලය යන මේ සියල්ලෙහි ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ අනුව මේ රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර අනාගතයට දායාද කිරීම අපේ අරමුණයි. ඉකුත් මාස හයක කෙටි කාලය තුළ පරිසර අමාත්‍යාංශය විදියට එහි සැබෑ වගකීම ඉටු කරන්න අප මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.
රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සමඟ ඔබ අමාත්‍යාංශය සම්බන්ධ වන්නේ කොහොමද?
ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පවිත්‍රතාව වගේම ඉන් එහාට යන පුළුල් ව්‍යාපෘතියක්. එමඟින් අප බලාපොරොත්තු වන්නේ අපේ රටේ බිඳ වැටුණු සමාජයීය, සදාචාරාත්මක සහ පාරිසරික වටිනාකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීම හා ආරක්ෂා කිරීමයි. එහි එක් කොටසක් වන පරිසරය රැක ගැනීම සහ පරිසර විනාශය වළක්වා ගැනීම කියන කාරණයේදී පරිසර අමාත්‍යාංශය විදියට අප වෙත පැවරී තිබෙන වගකීම නියමාකාරයෙන් ඉටු කිරීම අපගේ කාර්යය බවට පත්ව තිබෙනවා.
ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව වෙරළ උද්‍යාන ඉදිකිරීමටත් අප කටයුතු කරමින් තිබෙනවා.
ඔබ පරිසර අමාත්‍යාංශය භාර ගනිද්දී මොන වගේ තත්ත්වයකද එය තිබුණේ?
මම පරිසර අමාත්‍යාංශය භාර ගනිද්දි මෙය නොසලකා හැර තිබුණු අමාත්‍යාංශයක්. අමාත්‍යාංශයක් තිබුණට ඒකෙන් පරිසරය ආරක්ෂා කිරීම හැර අනික් සියලු කටයුතු සිදු කර තිබුණා. පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන තිබුණේ විවිධ අමාත්‍යාංශ යටතේ. සමහර ඒවා සංචාරක අමාත්‍යාංශ යටතේ; සමහර ඒවා කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ; සමහර ඒවා වන ජීවී කියලා වෙනම අමාත්‍යාංශයක් යටතේ තිබුණේ. මේ දේවල් විසිරිලයි තිබුණේ. පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තිබිච්ච මේ ආයතන ටික අපි විද්‍යාත්මක පදනමක් මත එක අමාත්‍යාංශයක් යටතට ගෙනාවා. එවැනි විද්‍යාත්මක පදනමක් මත මේ අමාත්‍යාංශ පිහිටුවනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. අපි පරිසර අමාත්‍යාංශය යටතට පැවරී තිබෙන නිශ්චිත වගකීම් දැන් ඉටු කරමින් තිබෙනවා.
ඒ වගේම පසුගිය කාලය තුළ මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවී දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවලට අවශ්‍ය බඳවා ගැනීම සිදු කර තිබුණේ නැහැ. ඒ නිසා දැඩි සේවක හිඟයක් ඒ තුළ පැවතුණා. ඒ නිසා මේ ආයතනවල කාර්යභාරය ඉෂ්ටකර ගැනීම අභියෝගයක් බවට පත්වී තිබුණා. අපි මේ අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කරල අවශ්‍ය කරන මානව සම්පත ගොඩනැඟීම සඳහා අවශ්‍ය බඳවාගැනීම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියට අලුත් පරිසර නිලධාරීන් 144ක් බඳවා ගන්න අපට අවසර ලැබී තිබෙනවා.
අලි- මිනිස් ගැටුම අපේ රටේ පවතින ප්‍රධාන ගැටලුවක්. මේ වගකීම පැවරී තිබෙන්නෙත් ඔබ අමාත්‍යංශයට නේද?
මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීමේදී අපට මතු වූ ප්‍රධාන ගැටලුව වුණේ ඒ සඳහා අවශ්‍ය කරන මානව සම්පත නොමැති වීමයි. බහුකාර්ය සේවයේ යෙදී සිටි අලි වැට සකස් කිරීම වගේම ඒවායේ නඩත්තු කටයුතු පවත්වාගෙන තමන්ගේ මූලික කටයුත්ත බවට පත්කරගෙන සිටි නමුත් වන ජීවී දෙපාර්තමේන්තුව සඳහා අනුයුක්ත කරගෙන නොසිටි සේවකයන් 3530ක් මේ තුළට අන්තර්ග්‍රහණය කරගන්න අපට රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලැබී තිබෙනවා. ඉදිරි දිනවලදී ඒ බඳවා ගැනීම් කටයුතු සිදු කරනවා.
මේ වන අලි – මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් කටයුතු සොයා බැලුවා. ඒ අනුව අලිවැට ප්‍රතිසංස්කරණය සඳහා අපි මැදිහත් වුණා. මේ වසරේ ඒ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.
වන අලි – දුම්රිය ගැටුමත් අපේ රට මුහුණ දෙන තවත් ප්‍රශ්නයක්. ඒ සඳහා කවරාකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද බලාපොරොත්තු වන්නේ?
මේ වන විට වන දුම්රිය දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය සම්බන්ධ වුණු වැඩ පිළිවෙළක් අපි අරම්භ කර තිබෙනවා. එහි සාර්ථක ප්‍රතිඵල මේ වන විට අප අත්විඳිමින් සිටිනවා.
පසුගිය කාලයේ පින්නවල අලි අනාථාගාරය සම්බන්ධයෙන් සංචාරකයන් තුළින්ම විවිධ ගැටලු මතු වුණා. විශේෂයෙන්ම ඒ සතුන්ට සලකන විදිය සම්බන්ධයෙන්,ඒ පිළිබඳ ඔබේ අදහස?
පින්නවල අලි අනාථාගාරය කියන්නේ අපේ රටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේදී තෙවැනි තැනට පත් වෙච්ච ස්ථානයක්. පසුගිය කාලයේදී එය ඊට ලැබී තිබුණු තත්ත්වයෙන් පහළට වැටිලා සංචාරකයන් පින්නවල අලි බලන්න නොඑන තැනට පත්වෙලා තිබුණා. මෙම ස්ථානයේ අලින්ට නිසි සැලකිල්ලක් නොදක්වන බවත් සතුන්ට හිංසා සිදු වන බවටත් සංචාරකයන් විසින් චෝදනා එල්ල කර තිබුණා. එනිසා ලෝකයේ අපවාදයට පත්වෙච්ච ස්ථානයක් බවට එය පත්ව තිබුණා.
නමුත් අපි බලයට ආවට පස්සේ ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරලා සතුන්ට දම්වැල් නොයොදා සාමාන්‍ය පරිසරයක ඉන්න ආකාරයට ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරමන් තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයේ පින්නවලට අලි අනාථාගාරය බලන්න නාපු සංචාරකයන් නැවත එහි එන්න පටන් ගෙන තිබෙනවා. ඒ වගේම එය ක්‍රමයෙන් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබෙනවා.
මේ ආකාරයටම සත්වෝද්‍යානවලත් අවශ්‍ය පහසුකම් ඇති කරන්න අවශ්‍ය මැදිහත්වීම් සිදු කර තිබෙනවා.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණක් වන්නේ ජනතාවට සතුන් නැරඹීමට අවස්ථාව උදාකර දී ඔවුන්ට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීමයි. ඒ වගේම සතුන් සංරක්ෂණය කිරීමත් මෙහි තවත් ප්‍රධාන අරමුණක්. මෙහිදී සතුන් දෙයාකාරයකට සංරක්ෂණය කරනවා. ඒ අනුව ඔවුන් ජීවත් වන පරිසරය තුළම සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල හරහා අභයභූමි හා සංරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම සතුන් ඔවුන්ගේ පරිසරයෙන් පිටතට ගෙන සංරක්ෂණය කරන ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කටයුතු සිදු කරන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවයි. ඒ අනුව දුර්ලභ ඝනයේ සතුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් අභිජනනය කර ඔවුන් රැක බලාගනිමින් ආරක්ෂා කරන වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ වගේම අපේ රටට ආවේණික කඳුකර දිවියා ඔවුන් ජීවත්වන පරිසරය තුළම සංරක්ෂණය කරන අතරම, ඔවුන් අභිජනනය කර වෙනත් පරිසර කලාපවලත් ඔවුන් සංරක්ෂණය කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.
ඒ වගේම කැස්බෑවුන්, මුහුදු පැලෑටි, කොරල් පර, තල්මසුන් වැනි මුහුදු ජීවීන් සංරක්ෂණය කිරීම සඳහාද වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපේ රටේ වනගහනය වැඩි කර ගන්න අවශ්‍ය මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. 2030 වන විට අපේ රටේ වනගහනය 30%කින් වැඩි කළ යුතුයි. ඒ සඳහා වන ආවරණ ආරක්ෂා කර ගන්නත් අලුතින් වන සංරක්ෂක ප්‍රදේශ ගණනාවක් ප්‍රකාශයට පත් කරන්නත් අප කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව අප මෙවර පරිසර දිනයේදී අලුතින් වන සංරක්ෂිත පහක් ප්‍රකාශයට පත් කරන්න කටයුතු සූදානම් කර තිබෙනවා. නිල්ගල, ගාලු දිස්ත්‍රික්කයේ කොට්ටව සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂිත තුනක් මේ වෙනුවෙන් ගැසට් කරන්න කටයුතු කර තිබෙනවා. ඉදිරියෙදී තවත් එවැනි ප්‍රදේශ හඳුනා ගනිමින් ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරනවා.
මේ සියල්ලට අමතරව අපේ රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදී අප අමාත්‍යාංශය යටතේ පවතින සියලු දෙපාර්තමේන්තු හා ආයතන සවිබල ගැන්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සිදු කරමින් තිබෙනවා.
පරිසර දිනයට සමඟාමීව මෙවර සිදු කිරීමට බලාපොරොත්තු වන විශේෂ කටයුතු මොනවාද?
මෙහිදී සිදු කෙරෙන විශේෂ කාර්යය වෙන්නේ අපේ රටට ආවේණික සත්ත්ව විශේෂ හා අභයභූමි ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා අතරම මෙරටට ආවේණික කෑගල්ල ගලපිටමඩ ප්‍රදේශයේ පමණක් ජීවත්වන, ඒ වගේම වඳ වීමේ තරජනයට මුහුණ පා සිටින මත්ස්‍ය විශේෂයක් වන බන්දුල පෙතියා ආරක්ෂා කිරීම සඳහා එම ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන්න කටයුතු යොදා තිබෙනවා.
මීට අමතරව උද්භීද විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අපේ රටේ වඳ වී යන ශාක රැකගන්න වගේම අපේ රටේ ශාක සම්බන්ධයෙන් කෞතුකාගාරයක් ස්ථාපිත කරන්නත් ඒ පිළිබඳ පර්යේෂකයන්ට අවශ්‍ය කරන දත්ත පද්ධතියක් සකස් කරන්නත් කටයුතු කරමින් තිබෙනවා.
ඡායාරූප- වාසිත පටබැඳිගේ