යසපාල හැන්නැදිගේ – අහුන්ගල්ල
කාලයක සිට අහුන්ගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවතින අඩු පාඩුකම් රැසක් හේතුවෙන් සේවා කටයුතු අඩාළ වී ඇති බව ගොවීහු පවසති.
බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි කිරීමට තනා තිබෙන අලෙවිසල වසර 5ත් වඩා වැඩි කාලයක සිට වසා දමා ඇත. එමෙන්ම මෙහි මීට පෙර තිබුණු ආදර්ශ ගෙවත්ත අද සම්පූර්ණයෙන්ම කැලෑවෙන් වැසී ගොසිණි. ස්ථිර ගොවිජන සංවර්ධන නිලධාරියකු නොමැත. දැනට සේවය කරන එම නිලධාරියා වැඩ බැලීමට යොදවා ඇති අයකු බව ද කියති. එමෙන්ම ස්ථිර කමිටු ලිපිකරුවකු ද මෙහි නැත.
“ මීට පෙර මෙම අලෙවිසල වසා දැමීම ගැන දැන ගන්න ලැබී සොයා බලන විටත් ඒ සඳහා යෙදවීමට සේවකයන් නැති නිසා වහලයි තිබුණේ. මේ මධ්‍යස්ථානයේ ආදර්ශවත් ගෙවත්තක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙම කැලෑ වෙලා තිබෙන්න බැහැ. ඒ වගේම මුරකරුගේ සේවය අත්‍යවශ්‍යයි. දිස්ත්‍රික්කය පුරාම ගොවිජන සංවර්ධන නිලධාරීන් 33ගේ අඩුවක් තිබෙනවා. ඒ නිසයි සමහර මධ්‍යස්ථානවල වැඩ බැලීමට වෙනත් අය යොදවා තිබෙන්නේ. කමිටු ලිපිකරු සේවයට යොදවන්න තරම් සේවකයෝ නැහැ. සේවක හිඟයක් තිබෙන බව ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ජේ. ඩබ්ලිව්. එස්. ප්‍රියංජන් මා සමඟ පැවසීය.
මෙම පුරප්පාඩු කඩිනමින් පියවා මෙහි කටයුතු නැවත ආරම්භ කිරීමට පියවරගන්නා ලෙස ගොවීහු ඉල්ලා සිටිති.