මෙවර ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙලන්ගනාහි පැවති 72 වැනි ලෝක රූ රැජන තරගය නියෝජනය කළ අනුදි ගුණසේකර ‘මල්ටි මීඩියා චැලේන්ජ්’ වටයේ ආසියාවේ පළමු අනුශූරිය බවට පත් වෙමින් එම අභියෝගයේ ඉහළම ගෝලීය ජයග්‍රාහිකාවන් 8 දෙනා අතරට පත් වී ලෝක රූ රැජන තරගාවලියක් තුළ ශ්‍රී ලාංකිකයකු ලබා ඇති ඉහළම ජයග්‍රහණය ලබාගෙන ඉතිහාසයට එක් වූවාය.
ටැලන්ට් වටයේ මෙන්ම ‘හෙඩ් ටු හෙඩ් චැලේන්ජ්’ අවසන් වටයට තේරුණු ප්‍රථම ලාංකේය තරගකාරිය මෙන්ම ප්‍රථම ආසියානු තරගකාරියද ඇයයි. ලෝක රූ රැජන කිරුළ ඉදිරියේ පැවැති අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ‘බියුටි විත් ද පර්පස්’, ‘ස්පෝට්ස්’, ‘ටැලන්ට්’, ‘මල්ටි මීඩියා චැලේන්ජ්’, ‘හෙඩ් ටු හෙඩ් චැලේන්ජ්’ සහ ‘ටොප් මොඩ්ල්’ යන ‘මිනි පැජන්ට්’ ඔස්සේ තරගකාරිනියන් 108ක් සමඟින් ඉතා දක්ෂ අයුරින් තරග කරමින් ඉන්දීය සාගරයේ පුංචි මුතු ඇටය ලොවම ඉදිරියේ අභිමානවත්ව දිලෙන්නට සැලසුවාය.
බුද්ධිමත් වූ පමණින් හෝ ලස්සන වූ පමණින් ලෝක රූ රැජන කිරුළක් හිස පැලඳිය නොහැකි බව පැවසූ අනුදි ඒ කරා යන ගමන මල් ඇතිරූ මාවතක් නොවන බව පැහැදිලිවම සඳහනක් කළාය.
ටොප් 40 තේරීම
ඇය පැවසූ ආකාරයට ලෝක රූ රැජන තරගාවලියේ ස්ථානගත කිරීම් නිර්මාණය වන ආකාරය පිළිබඳ දළ සටහනක් දැන් අප සිතෙහි නිර්මාණය කරගත හැකිය.
මෙහි තරගකාරිනියන් තෝරාගැනීම ඇරඹෙන්නේ මහාද්වීපික වශයෙන් තරගකාරිනියන් කොටස් හතරකට බෙදාගැනීමෙනි. ඒ, ‘අමෙරිකා සහ කැරිබියන්’, ‘යුරෝපා, අප්‍රිකා’, ‘ඒෂියා සහ ඕෂනියා’ වශයෙනි. තරගාවලිය තුළ පළමුවැනි ස්ථානගත කිරීම ලෙස ‘ටොප් 40’ තෝරාගැනීම සිදු වේ. එය සිදු වන්නේ එක් මහාද්වීපයකින් නැත හොත් එක් කණ්ඩායමකින් 10 දෙනා බැගින් කණ්ඩායම් හතරෙන් 40 දෙනකු තෝරාගැනීමෙනි.
ඉන් අනතුරුව ‘ටොප් 20’ තෝරාගැනේ. එය තෝරාගනු ලබන්නේ ටොප් 40න් අඩක් – 20ක් ලෙසිනි. එහිදී, එක් මහාද්වීපයකින් පළමුව තෝරාගත් 10 දෙනාගෙන් 5 දෙනකු තෝරාගැනීම සිදු වේ.
ඉන් පසුව ‘ටොප් 8’ තෝරාගැනීම සිදු වන්නේ එක් මහාද්වීපයකින් දෙවැනි වටයේදී තෝරාගනු ලැබූ 5 දෙනා අතුරින් නැවතත් දෙදෙනකු (2) තෝරාගැනීමෙනි. එවිට එක් මහාද්වීපයකින් දෙදෙනා බැගින් මහාද්වීප හතරෙන් අට (8) දෙනෙකි.
ඉන් අනතුරුව, තෝරාගත් ටොප් 8 දෙනාගෙන් 4 දෙනකු තෝරාගැනීම සිදු කරයි. එවිට සිදු වන්නේ එක් මහාද්වීපයකින් එක්කෙනා බැගින් තෝරාගැනීමයි. අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන්නේ මේ 4 දෙනාය.
අවසන් තරගයේදී ඔවුන් අතරින් තුන්වැනි, දෙවැනි සහ පළමුවැනි (‘මිස් වර්ල්ඩ්’) ලෙස ස්ථාන තෝරනු ලබයි. ලෝක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව තෝරනු ලබන්නේ මේ ක්‍රමවේදය අනුගමනය කරමිනි.
ඊට අමතරව කිරුළ කරා යන්නට ඉක්මන් මඟක්ද වෙයි. ඒ ‘මිනි පැජන්ට්’ ජයග්‍රහණය ඔස්සේය. ‘මිනි පැජන්ට්’ ජයග්‍රහණය කිරීම ඔස්සේ ඍජුවම ‘ටොප් 40’ අතරට යෑමේ හැකියාව ලැබේ. ‘මිනි පැජන්ට්’ ජයග්‍රහණය කිරීම තරගකාරිනියකට ‘ටොප් 40’ අතරට ඒමට ඉණිමඟක් පමණක් වීමද විශේෂත්වයකි. ‘ටොප් 40’ අතරට පැමිණි පසු මිනි පැජන්ට්හි කිසිදු ජයග්‍රහණයක් ජයග්‍රාහි කිරුළට යන ගමනේදී වලංගු නොවේ. එනම්, මිනි පැජන්ට් ජයග්‍රහණයකින් ලැබෙන ලකුණු රූ කිරුළ ජයග්‍රහණයට සම්බන්ධ නොවේ. එය අදාළ වන්නේ ‘ටොප් 40’ දක්වා ඒමට පමණි. ‘ටොප් 40’ දක්වා එන තරගකාරිනියන් කිරුළ සඳහා තරග වදින්නේ ලකුණු බින්දුවේ සිටය. එතැන් සිට තෝරගනු ලබන ‘ටොප් 20’, ‘ටොප් 8’, ‘ටොප් 4’ ඇතුළු ඉතිරි ස්ථාන තෝරාගනු ලබන්නේ විනිසුරුවන් ඉදිරියේ තරගකාරිනියන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් ආකාරය, තරග කාලය තුළ ඔවුන්ගේ හැසිරිම, ඔවුන්ගේ ගතිගුණ මෙන්ම අවසන් වටයේදී ඔවුන් හැසිරුණු ආකාරය අනුවය.
‘මිනි’ කිරුළු ජයග්‍රහණ
‘ටොප් 40’ දක්වා එන්නට ඔවුන්ට ඉණිමඟක් වන ‘මිනි පැජන්ට් ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට්ස්’ ලෙස හඳුන්වයි. මේ තරගාවලිය තුළ එම ‘මිනි පැජන්ට්’ පැවතියේ ‘බියුටි විත් ද ෆර්පස්’, ‘ස්පෝට්ස්’, ‘ටැලන්ට්’, ‘මල්ටි මීඩියා චැලේන්ජ්’, ‘හෙඩ් ටු හෙඩ් චැලේන්ජ්’ සහ ‘ටොප් මොඩ්ල්’ ලෙසිනි. ඒවායේ ජයග්‍රහණ සිදු වන ආකාරයද මෙහිදී වැදගත් වේ.
‘මිනි පැජන්ට්’ ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන්නේ මහාද්වීපයකින් එක් අයකු වශයෙනි. එසේ නොවී පොදුවේ සියල්ලන්ම තරග කරන අවස්ථාද පවතී. එවන් අවස්ථාවල පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි ලෙස ජයග්‍රාහිකාවෝ තෝරාගැනෙති. මෙහි සුවිශේෂ කරුණ වන්නේ එලෙස මිනි පැජන්ට්වලින් ජයග්‍රහණය කරන තරගකාරිනියන්ට ස්වයංක්‍රීයව ‘ටොප් 40’ දක්වා යෑමේ අනගි අවස්ථාව හිමි වීමයි. ඔවුහු සැබැවින්ම තරගාවලිය තුළ වාසනාවන්තයෝය. ‘ටැලන්ට්’ වටයෙන් සහ ‘බියුටි විත් ද ෆර්පස්’ වටයෙන් ජය හිමි කරගනිමින් ඉන්දුනීසියානු තරගකාරියද ‘ටොප් මොඩ්ල්’ වටයෙන් ඉන්දීය තරගකාරියද ආසියානු කලාපයෙන් ‘ටොප් 40’ දක්වා යෑමට වාසනාවන්ත වී ඇත.
ඊට අමතරව ‘ටොප් 40’ දක්වා ගමන් මඟ වන්නේ විනිශ්චය මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී ලබා ගන්නා ලකුණු ක්‍රමවේදයට අනුවය. එය විනිශ්චය මණ්ඩලයක් හරහා කෙරෙන සම්මුඛ පරීක්ෂණය මෙන්ම තරගකාරිනියන් මෙම තරග කාලය තුළ හැසිරෙන ආකාරය, ඔවුන්ගේ ගතිගුණ ආදි වශයෙන් ලබාදෙන ලකුණු අනුවය.
අනුදි ගුණසේකර ශ්‍රී ලාංකේය දිරිය දියණියගේ ජයග්‍රහණය පතා ශ්‍රී ලාංකේය ජනතාව ජාති භේදයකින් තොරව එකා මෙන් බලා සිටි බව මල්ටි මීඩියා චැලේන්ජ් වටයෙන් ලද ජයග්‍රහණය මනාව පිළිබිඹු කරයි.