Home » ගමේ පාසලට ‘සිළුමිණ’ අරන් දෙන්න ඔබටත් අවස්ථාවක්

ගමේ පාසලට ‘සිළුමිණ’ අරන් දෙන්න ඔබටත් අවස්ථාවක්

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන වදන් පෙළ එක් වරක්වත් නෑසූ අයකු අප අතර නැති තරම්ය. එහෙත් වත්මන් සමාජයේ ඇති වී තිබෙන තාක්ෂණික දියුණුවත් සමඟ නූතන පරම්පරාවේ දරුවන්ගෙන් කියවීමේ රුවිය සහ නැඹුරුව ගිලිහී යමින් තිබෙනු දැකිය හැකිය.

මුද්‍රිත පුවත්පත්, සඟරා කියවීම වෙනුවට ජංගම දුරකතන තිර මතටම හෙළා ගත් දෑසින් යුතුව සිටින තරුණ තරුණියන් මෙන්ම පාසල් දරුදැරියන්ද මඟතොටේදී, ප්‍රසිද්ධ ස්ථානවලදී ඕනෑතරම් දැකිය හැකිය.

නව තාක්ෂණය කොතරම් වාසිදායක සහ කාර්යක්ෂම වුවත් ඒ හරහා දරුවන්ගේ කියවීම, ලිවීම තාර්කික චින්තනය, නිර්මාණශීලිත්වය සහ සන්නිවේදනය වැනි කුසලතා වියැකී යෑමේ අවදානමක් ඇති බව මනෝ විද්‍යාඥයන්ගේද අදහසයි.

විශේෂයෙන් සීමාවකින් තොරව නිරන්තරයෙන් දවසේ වැඩි පැය ගණනාවක් ඩිජිටල් තිර සමඟ ජීවත් වන දරුවන්ට කායික මෙන්ම මානසික ආබාධද හටගැනීමේ වැඩි අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ අද-ඊයේ සිට නොවේ.

එවැනි පසුබිමක කිසියම් දෙයක් කියවීම මඟින් මොළයට ලැබෙන ව්‍යායාමය දරුවන්ගේ පරිකල්පන ශක්තිය වර්ධනය කිරීම සඳහා කරන හිතකර බලපෑම ලොව පුරා පර්යේෂණ මඟින් සනාථ කර ඇත. දැයේ ජීවනාලිය බඳු පාසල් දරුදැරියන් කියවීමට නැඹුරු කිරීමේ කර්තව්‍යය සම්බන්ධයෙන් ‘පත්තර මහගෙදර’ ලේක්හවුස් ආයතනයට ඇත්තේ අත්හළ නොහැකි ජාතික වගකීමකි.

මේ උදාර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, දිවයින පුරා සිටින අරමුදල් ප්‍රදානය කරන පාර්ශ්ව සම්බන්ධ කරගෙන, පාසල්වලට නොමිලේ ලේක්හවුස් පුවත්පත් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරන ලද්දේ ලේක්හවුස් පාලනාධිකාරියේ පූර්ණ ආශීර්වාදය සහ මඟපෙන්වීම මතය.

ඒ ව්‍යාපෘතියේ ආරම්භක අදියර ඉකුත් මැයි 26 වැනිදා ගාල්ල, තෙල්ලඹුර, විජය කනිෂ්ඨ විද්‍යාලයේදී ක්‍රියාවට නැංවිණි. ඊට දායකත්වය දැක්වූ, හෙට්ටිආරච්චි ඔප්ටිෂන්ස්හි නුවන් ප්‍රසාද් හෙට්ටිආරච්චිට ලේක්හවුස් ආයතනයේ විශේෂ ස්තුතිය පිරිනැමේ. එම පුවත්පත් ප්‍රදානය පිළිබඳ පාසලේ විදුහල්පතිනි කේ.එච්.ජී.සී. ලක්මාලි සහ නියෝජ්‍ය විදුහල්පති එම්.ජී.ටී. සංජීවනී ඇතුළු ආචාර්ය මණ්ඩලය සිය ප්‍රශංසාව පළ කළ අතර, සහකාර විදුහල්පතිනි, එන්.සී.ජීවන්ති මෙසේ පැවසුවාය:

“අපේ පාසලේ දරුවන්ගේ කියවීම පිළිබඳ නැඹුරුව අඩු වීම අපට ලොකු අඩුපාඩුවක් නිසා අප අදහස් කළා දිනපතා පුවත්පත්, සතිපතා පුවත්පත් කියවීමට සිසු සිසුවියන් යොමු කරවාගැනීමට අවශ්‍ය වැඩසටහනක් කරන්න. අද දවසෙ ලේහවුස් ආයතනය අපේ පාසලට ඇවිත් සිදු කළ මේ පුවත්පත් ප්‍රදානය සම්බන්ධයෙන් අප සතුටු වනවා.

ඒ වගේම ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධ වෙලා මේ පුවත්පත් ප්‍රදානය අපේ පාසලට කිරීමට දායකත්වය දැක්වූ ගාල්ල, හෙට්ටිආරච්චි ඔප්ටිෂන්ස්හි නුවන් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාටත්, පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා සහ සිසු සිසුවියන් වෙනුවෙන් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.”

මේ ව්‍යාපෘතිය හරහා දරුවන් තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම පමණක් නොව ස්වාධීන චින්තනයකින්, ආත්මවිශ්වාසයෙන් සහ දැනුම්වත්භාවයෙන් යුතුව අනාගතයට මුහුණ දිය හැකි ඉදිරි පරපුරක් නිර්මාණය කිරීමටද බලාපොරොත්තු වේ. ලේක්හවුස් අලෙවි දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී පාසල් දරුවන්ට නොමිලේ පුවත්පත් පිරිනැමීමේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීමට පාඨක ඔබටද අවස්ථාව තිබේ.

ලේක්හ­වුස් ප්‍රාදේ­ශීය අලෙවි විධා­යක - (ගාල්ල, කළු­තර)  සමන්ත සම­ර­සේ­කර විසින් සහ­කාර විදු­හ­ල්ප­තිනි, එන්.සී.ජීවන්ති වෙත සිළු­මිණ පුව­ත්පත පිළි­ගැන්වූ අයුරු

ලේක්හ­වුස් ප්‍රාදේ­ශීය අලෙවි විධා­යක – (ගාල්ල, කළු­තර) සමන්ත සම­ර­සේ­කර විසින් සහ­කාර විදු­හ­ල්ප­තිනි, එන්.සී.ජීවන්ති වෙත සිළු­මිණ පුව­ත්පත පිළි­ගැන්වූ අයුරු

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division