– මේ වසරේ පාතාල වෙඩි තැබීම්වලට සැක 216ක් මේ වන විට අත්අඩංගුවේ
– දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය වල වටිනාකම රු. කෝටි 1000ක්
– රටපුරා පොලිස් වසම් 607ම ආවරණය වන ලෙස ආරම්භ වුණේ මැයි 20 වැනිදා
– පටන් ගත් හැටියේ ‘වැඩ ඇල්ලුවේ’ වීරකැටියෙන්
ඕනෑම රටක ජන සමාජයකට මත්ද්‍රව්‍ය විසින් සිදු කරනු ලබන හානිය සුළුපටු නැති බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. විශේෂයෙන් රටක ජීවනාලිය බඳු තරුණ පරපුරට මත්ද්‍රව්‍ය විසින් සිදු කරන හානිය අතිමහත්ය. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් ද ජන සමාජයට සිදු කරන්නේ අතිමහත් අපරාධයකි. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට අතගසා සිටින්නේ එම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මහා පරිමාණ වැඩපිළිවෙළකටය.
රට පුරා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සහ පාතාලය, සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ සුවිශේෂී මෙහෙයුමක් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ආරම්භ කෙරෙන්නේ පසුගිය 21 වැනිදා සිටය. ඒ මෙරට පොලිස් වසම් 607ම ආවරණය වන ලෙසටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මේ බව ජනමාධ්‍යවලට අනාවරණය කිරීම සඳහා පුවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වූ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සියලු පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු සහ පොලිස් අධිකාරිවරු මාර්ගයෙන් මේ මෙහෙයුම් සම්බන්ධව සියලුම පොලිස් ස්ථානාධිපතිවරු දැනුම්වත්කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග හෙළි කෙළේය.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය සහ බුද්ධි අංශ මේ මෙහෙයුම්වලට වඩාත් සක්‍රිය දායකත්වයක් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කෙළේය.
පොලීසිය මත්ද්‍රව්‍ය මෙහෙයුම රටපුරා ආරම්භ කර දිනක් ගත වන්නටත් ප්‍රථම එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලබා ගැනීම ද සුවිශේෂීය. ඒ වීරකැටිය ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමයි. වීරකැටිය අතුබොදේ නිෙවසක සිදු ෙකරන ලද එම වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 101ක් සහ ග්‍රෑම් 400 පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුකර ගැනීමට වීරකැටිය පොලීසියේ නිලධරයනට හැකිවිය. එම පොලීසියේ බුද්ධි අංශ නිලධරයකුට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළ අතර අල්ලාගන්නා ලද පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 24ක් සහ 25 හැවිරිදි අය බවට ද තොරතුරු හෙළිවිය. 24 හැවිරිදි පුද්ගලයා වලස්මුල්ල, ජඹුරාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. 25 හැවිරිදි තැනැත්තා වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ නිවෙසේ පොහොර උරයක සැඟවූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට වීරකැටිය පොලීසියේ බුද්ධි නිලධාරීන්ට මුලින්ම ලද තොරතුරු අනුව වැටලීම සිදුකෙරිණි. පොලීසිය අදාළ නිෙවස පරික්ෂා කළ අවස්ථාවේ හෙරොයින් තොගය පොහොර උරයක බහා නිවෙසේ ටකරන් ගොඩක් යට සඟවා තිබුණ අයුරු නිරීක්ෂණය විය. කඩුවෙල සිට ලොරියකින් මෙම හෙරොයින් තොගය අදාළ නිෙවසට ගෙනැවිත් ඇති බව සැකකරුවන් පොලීසියට පවසා ඇතත් ඒ පිළිබඳව මේ වනවිටත් දීර්ඝ විමර්ශනයන් පැවැත්වෙයි. එලෙස සොයා ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ නියම වටිනාකම මෙතෙක් අනාවරණය වී නැතත් ඒවා රුපියල් කෝටි 200 ඉක්මවූ වටිනාකමකින් යුක්ත බවට සැක කැරේ. එලෙස අල්ලා ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් බේකරිකරුවෙකි. අනෙක් තැනැත්තා වෑද්දුම් ශිල්පියෙකි.
අදාළ ලොරියේ බඳෙහි රහස් කුටියක සඟවා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරන 92ක් වීරකැටියේ නිවෙසට ගෙනැවිත් ඇති බවට තොරතුරු මේ වනවිට හෙළිවී ඇත. එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ලොරියේ රහස් කුටියක සඟවා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් එක් සැකකරුවකුගේ ජංගම දුරකතනයේ සටහන්වී තිබූ අතර එම ඡායාරූපය ද පොලිස් නිලධරයෙක් විසින් සොයාගෙන තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය වීරකැටියේ අදාළ නිවෙසට ලොරියකින් ගෙන ආ අවස්ථාවේදී ඩුබායි සුද්දා ඒ පිළිබඳ සැකකරුවකුට කිහිප වරක් දුරකතනයෙන් අමතා ඇති බවද හෙළි විය.
වීරකැටියෙන් එසේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ උණුසුම යන්නටත් මත්තෙන් නාවික හමුදාව දකුණු මුහුදේ මෙහෙයුමක් කළ අතර එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින යාත්‍රා දෙකක තිබී රුපියල් කෝටි දහසක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 778ක් සමඟ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. මේ පුද්ගලයෝ දෙවුන්දර සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මේ මත්ද්‍රව්‍ය අයත් බවට සැක කැරේ. එම ජාවාරම්කරුවන් ද දකුණු පළාතේ පදිංචිකරුවෝය. රාජ්‍ය බුද්ධි සේවය, මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව එක්ව මේ වැටලීම සිදුකරන ලදී.
දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකෙරුණ බව රහසක් නොවේ. සමහර බහුදින යාත්‍රා සේවකයෝ ද මේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් වී සිටිති. ඩුබායි ඇතුළු විදේශ රටවල සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දකුණු පළාත මුල්කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන අතර කුඩාවැල්ල ප්‍රදේශයේ දියඹේදී සහ කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව සිදු කරන ලද මත් ද්‍රව්‍ය ජාවාරම් වැටලීම්වලින් රුපියල් කෝටි තුන්දහසකට වැඩි මත්ද්‍රව්‍ය මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබීම ද සුවිශේෂීය.
පොලීසිය රටපුරා මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය කරන මෙහෙයුම පසුගියදා ආරම්භ කරන අවස්ථාව වන විටද රටපුරා සිදු කරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අල්ලාගෙන තිබුණි. මේ වසරේ ජනවාරි 01 සිට මැයි මාසයේ 18 දක්වා සිදු කරන ලද වැටලීම්වලින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 1කට වැඩි ප්‍රමාණයක්, ගංජා ටොන් 07ක් පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 66,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි සහ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 66,000කට විරුද්ධව නීතිමය කටයුතු මේ වන විට ක්‍රියාත්මකය.
මෙරට සංවිධානාත්මක අපරාධ කුලී ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් ගණනාවක් විදෙස් රටවලට පලාගොස් එම රටවල සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම පොලීසිය මුහුණ පා සිටින ලොකු ගැටලුවක් වන අතර එම අපරාධකරුවන් අතරින් කිහිපදෙනෙකු මෙරටට මේ වනවිට ගෙන්වා විමර්ශන සිදුකෙරේ. තවත් පුද්ගලයන් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනීතිකව උපයා ගන්නා ලද ධනස්කන්දය යොදවා මිලදී ගන්නා ලද දේපොළ නීත්‍යනුකූලව සිදු කෙරෙන විමර්ශනවලින් අනතුරුව අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ආරම්භ වී තිබේ. වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ අධීක්ෂණය මත මේ ක්‍රියාදාමය සිදුකෙරේ. මෙරට පොලිස් වසම් 607ම ආවරණය වන පරිදි මේ සොයා බැලීම සිදුවන අතර පොලිස් ස්ථානාධිපතිවරුන් මේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ඇත.
සෑම පොලිස් බලප්‍රදේශයකම පදිංචිව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන් එලෙස අනීතිකව උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද දේපළ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන් මෙහිදී සොයා බැලීමට නියමිතය. වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ද මේ සමඟ ක්‍රියාත්මක කෙරේ.
මේ අතර පාතාලය සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කරන මෙහෙයුම් ද මේ වනවිට සක්‍රිය කර තිබීම ද සුවිශේෂීය. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, රහස් පොලීසිය සහ බුද්ධි අංහ ද මේ මෙහෙයුම්වලට අතගසා ඇත. අපරාධ වැඩි වශයෙන් සිදුවන බව කියන පොලිස් බලප්‍රදේශ 52ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ ආවරණය වන පරිදි එස්.ටී.එෆ්. කණ්ඩායම් 15ක් යොදා තිබීම ද විශේෂත්වයකි.
පසුගිය කාලයේ රටපුරා සිදුවූ වෙඩි තැබීම් 32ක විමර්ශන මේ වන විට අවසන් වී තිබීම ද විශේෂ කාරණයකි. එම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 216ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතන සිදු කරන ලද වෙඩික්කරුවන් 32ක් ඒ අතර සිටී. ටී 56 තුවක්කු, පිස්තෝල ඇතුළු ගිනිඅවි 16ක් ඝාතන සඳහා සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් මෝටර් බයිසිකල් 36ක්, කාර් 08, වෑන් 02, ත්‍රිරෝද රථ 02 මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. සමහර පුද්ගලයන් නීති විරෝධීව පරිහරණය කරන ලද තුවක්කු පිස්තෝල 1278ක් පොලසිය භාරයට ගෙන තිබීම ද සුවිශේෂීය. මේ වසරේ ජනවාරි 01 දා සිට මේ දක්වා රටේ ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් 49කින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට පත්වී ඇත.
හමුදා සේවයෙන් නීත්‍යනුකූල නොවන අන්දමින් ඉවත්ව ගිය සමහර පුද්ගලයන් ද මිනිස් ඝාතන ඇතුළු අපරාධවලට සම්බන්ධ බව රහසක් නොවේ. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ද වීමර්ශන සිදුකෙරෙන අතර පලාගිය සෙබළුන් 3000ක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
රටපුරාම ක්‍රියාත්මක වන සේ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම, පොලිස් මෙහෙයුම් වැඩි කිරීම, අපරාධකරුවන් සම්බන්ධ දත්ත යාවත්කාලීන කිරීම, විදේශගත පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම, අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධරයන් ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනීම සහ නාවික හමුදා මෙහෙයුම් මඟින් රටවටා ආරක්ෂාව තර කරන අතරේ මෙරටට මුහුදු මඟින් මත්ද්‍රව්‍ය ගෙන ඒම මුළුමනින්ම නැවතීමට කටයුතු කිරීම ආදි ක්‍රියාදාමයන්ට ‘වැඩි බරක්’ මේ වන විට තබමින් සිටින බවද පෙනෙන්නට ඇති කාරණයකි.
පාතාල කල්ලි කණ්ඩායම් 58කට අයත් සාමාජිකයන් 1400කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වීරකැටියේ ඇල්ලූ ලොරියේ රහස් කුටියේ මත්ද්‍රව්‍ය සඟවා තිබූ අයුරු