හෙළ සිනමා වංශකථාව පිළිබඳ ඉතිහාසය හාරාපාදා බැලීමේදී, එදා-මෙදාතුර බිහි වූ වඩාත් ආකර්ෂණීයම සිනමා තාරකාව වන්නේ මාලිනී ෆොන්සේකා යැයි පැවසීම ගැන කිසිවකුත් මා හා උරණ නොවනු ඇත. ඉකුත් 26 වැනිදා සිය නාමකාය ඉතිරි කර භෞතිකකායෙන් නික්මුණු මේ සඳවතිය ගැන බොහෝ කතා මේ වන විටත් ඔබ අසා දැක ඇතුවාට සැකයක් නැත. එහෙත් මා මේ කියන්නට යන්නේ ඇය මෙරටට නිළියක ලෙස රැගෙන ආ පළමු අන්තර්ජාතික අභිමානය ගැනය.
1975 වසරේ රුසියාවේ මොස්කව් නුවර ක්‍රෙම්ලින් පැලස් කොංග්‍රස් ශාලාවේදී අන්තර් ජාතික සිනමා උලෙළ (Moscow International Film Festival) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබිණි. ඒ සඳහා ආරාධනා ලැබූ ධර්මසේන පතිරාජයන් මාලිනියද කැටුව රුසියාව බලා ගියේ ඔහු විසින් මේ උලෙළ නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කළ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටයද මේ උෙලළේ අවසන් වටය සඳහා තෝරාගෙන තිබීම නිසාය.
උත්සවයට පෙර ඔවුහු රුසියාව බලා පිටත්ව ගියහ. රුසියාවට ගිය ඔවුන් නවාතැන් ගත්තේ එවක රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නන්දසේන සේනාරත්නගේ නිවෙසේය. මේ නන්දසේන සේනාරත්නගේ මිතුරුදමද හරි අපූරු කතාවකි.
වර්ෂ 1963දී කැලණි කල්‍යාණිය ලෙස කිරුළු පැලඳි අප කතානායිකාව රංගනයට සහජ දක්ෂතාවක් දැක්වූවාය. ඇය පාසල් වියේදීම පන්ති භාර ගුරුතුමියක වූ තිලකරත්න ගුරුතුමිය විසින් වාර අවසාන විවිධ ප්‍රසංගයකට තෝරාගෙන තිබිණි. ඒ ඉංග්‍රීසි කවියක් ඇසුරෙන් කළ පුංචි නාට්‍ය ජවනිකාවකටය. ඇය එහිදී රඟපෑවේ ප්‍රිටි මේඩ්ගේ චරිතයයි. අනතුරුව ගුරුකුලයේ නර්තනාචාර්යවරයා වූ එස්. මලල් සහ විල්මට් පෙරේරා යන ගුරුවරුන්ගේ ගුරුහරුකම් මත ඈ නර්තන ශිල්පිනියක ලෙස පාසල් වේදිකාවට ගොඩ වූවාය.
මෙලෙස වේදිකාවට බට ඈ පළමුවරට ප්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ 1963 වසරේ එච්.ඩී. වීරසිරි නිෂ්පාදනය කළ ‘නොරත රත’ වේදිකා නාට්‍යය ඔස්සේය. අනතුරුව එස්. කරුණාරත්න නිෂ්පාදනය කළ ‘ගුත්තිල’ ය. රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’, ‘නුවණ පොදිය’, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘බකතපස්’, ධර්මදාස ජයවීර, සුමන ආලෝක බණ්ඩාරගේ ‘අකල් වැස්ස’ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ මාලිනිය 1965 රාජ්‍ය නාට්‍ය උලෙළේ දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන අබිසෙස් ලැබුවාය. පසුව ඈ රංජිත් ධර්මකීර්තිගේ ‘මළවුන්ගෙන්’, එස්. කරුණාරත්නගේ ‘හිරු අවරට ගියාදෝ’, සුනන්ද මහේන්ද්‍රගේ ‘සයුරෙන් ආ ළඳ’(පසුව ගුවන්විදුලි නාට්‍යයක් බවට පත් මෙම නාට්‍යයේ හඬනළුව සඳහා ද ඈ දායක වූවාය), බී. රත්නායකගේ ‘අමල් බිසෝ’, ගුණසේන ගලප්පත්තිගේ ‘ලියතඹරා’, සෑම් පෙරේරාගේ ‘ඉවබව නැති ලොව’, ප්‍රේමකුමාර එපිටවලගේ ‘නුවණ පොදිය’, සුමන ආලෝක බණ්ඩාරගේ ‘නිදිකුම්බා මල්’ මාලිනී රඟපෑ තවත් වේදිකා නාට්‍ය කිහිපයකි. මෙලෙස වේදිකා නාට්‍ය නිළියක ලෙස මහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි මේ යුවතියට තවත් වේදිකා නාට්‍ය නළුවෝ දෙදෙනෙක් හමු වූහ. ඒ, නන්දසේන සේනාරත්න හා විජය ධර්ම ශ්‍රී ය. රුසියාව බලා යන ගමනේ නවාතැන වූයේ මේ නන්දසේන සේනාරත්නගේ නිවෙසය. ඒ වන විට ධර්මසේන පතිරාජද නාට්‍ය රචකයකු ලෙස ප්‍රකටව සිටි අතර, ‘සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ නමින් හේ සිය විශ්වවිද්‍යාල නිබන්ධනය ලියා තබිණි. මේ නිසා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉතා ඉහළ පිළිගැනීමක් මේ දෙදෙනාට විය.
රුසියාවට පැමිණි දා සිට සේනාරත්නගේ නිවෙසේ නවාතැන් ගත් ඔවුහු දෙපළ අනතුරුව අන්තර්ජාතික මොස්කව් සිනමා උලෙළට සහභාගි වූහ. මේ සිනමා උලෙළ සඳහා රටවල් 98කින් චිත්‍රපට 320ක් ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යැවූ ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ තෙවැනි චිත්‍රපටය වූ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටය අවසන් සිනමාපට අතර විය. මේ සිනමාපටයට එහිදී විශිෂ්ට සම්මාන දෙකක් පිරිනැමුණු අතර, මාලිනිය එහි කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය ලෙස ඩිප්ලෝමා සහතිකයක් හිමි කරගත්තාය. ඒ අනුව අන්තර්ජාතික තලයේ සම්මානයක් හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස මාලිනිය ඉතිහාසගත විය.
ඒ වන විටත් සිනමා කලා මාධ්‍යයෙන් අන්තර්ජාතික වශයෙන් කිසිදු නිළියක ඇගයීමට පාත්‍ර වී නොතිබූ පසුබිමකය. මෙහිදී ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටයේ කතා රචකයා වූ කරුණාරත්න සපුතන්ත්‍රී සහ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජත් තුළ වූ කලාව හා ජීවිතය පිළිබඳ පුළුල් දර්ශනය නියමාකාරයෙන් සිය රංගනය මඟින් මූර්තිමත් කර දැක්වීමට මාලිනී ෆොන්සේකා දැක්වූ කුසලතාව ඔවුන්ගේ අවධානය දිනාගෙන තිබිණි.
මුල් කතාව තුළ පෙනෙන චරිතයේ සමාජ යථාර්ථය ප්‍රබලව ග්‍රහණය කරගනිමින් තම භාවයන් තුළින් ප්‍රේක්ෂකයාට එය ප්‍රබලව දැනවීමට මෙහිදී මාලිනී ෆොන්සේකා සමත් වූවාය. මේ ප්‍රබල රංගනය හරහා මානව සබඳතා හා ඒ තුළ පැන නඟින අනවරත අරගලය ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස යොමු කොට ගැනීමට ඕ සමත් වූවාය. මල්වර වූ අවස්ථාවේ සිට විවිධාකාර වූ අතොරක් නැති දුක්ඛදෝමනස්සයන්ට ඉතා නිර්භීතව මුහුණ දෙන අතරම ප්‍රීතියේ ප්රමෝදයේ උද්වේගකර අවස්ථාවන්ට ද එලෙසින්ම මුහුණ දෙන සුසිලා නම් තරුණියගේ චරිතය ඇය පණ පෙවූ චරිතයයි.
කුඩා කල පටන් සහෝදරත්වයෙන් වැඩුණු සිය ඥාති සොහොයුරා නැති නම් ඇවැස්ස මස්සිනා අතින් පාළු කනත්තකදී දූෂණයට ලක් වන ඇය මානසික වශයෙන් කඩාවැටුණු තම ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හළ කාන්තාවක බවට පත්ව සිටියි. අනතුරුව තමා මුහුණ දෙන ප්‍රශ්න දෙස විවෘතව හා විචාරශීලිව දකින්නට පෙලඹෙන ඈ ඒ මඟින් සිය මානසික සන්තුෂ්ටිය ළඟා කරගන්නා ආකාරයත් ඇය සිය රංග ප්‍රතිභාව තුළින් මැනැවින් ප්‍රකට කර ඇති බව මේ පිළිබඳ විචාරක මතය වී තිබේ.
එසේම චරිත නිරූපණයේදී මාලිනී දක්වා ඇති විශිෂ්ටත්වය මෙන්ම සමබරතාව රැකීමට ගන්නා ප්‍රයත්නයද අගය කර තිබිණි.
කෘතියේ එන සුසිලා පිළිබඳ ඛේදවාචකය ගැඹුරින් ඉෂ්මතු කර දක්වන්නට පතිරාජ තුළ වූ අපේක්ෂාව මැනැවින් ඔප්නැංවී පෙනුණේ මාලිනී ෆොන්සේකාගේ රංගනයෙහි වූ බහුටි බව නිසාමය. මෙහිදී සුසිලාගේ ජීවිතයේ දුක්ඛදායක අවස්ථා ගැඹුරින් ඉස්මතු කර දැන්වීමට අධ්‍යක්ෂවරයා විසින් යොදාගන්නා තාක්ෂණික උපක්‍රම හා අවබෝධයද මහත් සේ ඉවහල් වී තිබේ.
මේ අවස්ථාවේදී උත්සව සභාවේ සිටි ලෝ ප්‍රකට සිනමා විචාරකයකු අධ්‍යක්ෂවරයා වූ පතිරාජගෙන් විමසා තිබුණේ “ඔබේ රටේ නළු නිළියන් පුහුණු කරන ආයතනයෙන් බිහි වූ දක්ෂතම හා හොඳම නිළිය මාලිනියද?” යනුවෙනි.
තම රටේ නළු නිළියන් පුහුණු කරන ආයතනයක් නැති බවත්, මාලනී මේ දස්කම් දක්වන්නේ ඇයගේ කැප වීම හා අධ්‍යයනය මත ගොඩනඟාගත් ස්වෝත්සාහයෙන්ම බවත් පතී පිළිතුරු වශයෙන් පවසා තිබිණි.
එය ඇසූ හෙතෙම පුදුමයට පත් වූ බව පසු කලෙක පතිරාජ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය. මාලිනිය එතරම්ම දක්ෂ නිළියක ලෙස ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වී තිබුණේය.
පතිරාජ විසින් මාලිනී යළි සොයාගනු ලැබීම ඇගේ නිළි ජීවිතයේ සන්ධිස්ථානයකියි ජයදේව උයන්ගොඩ පවසා තිබිණි.
“පතිරාජගේ අධ්‍යක්ෂණයක් වන ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේ කටුවැල්ලේ ගෙදර සුසිලාවතීගේ චරිතයයි. එය ගැමි ආර්ථික පීඩනයෙන් මතු වූ චරිතයකි. පියාගේ මරණය, සහෝදරයා රිය අනතුරට ලක් වීම හා තමා ලිංගික අතවරයට ගොදුරු වීම ඇගේ ජීවිතය කෙරෙහි බරපතළ ලෙස බලපායි. සුසිලා කඳුළු අතරින් සිනාසෙන්නට උත්සාහ කරන චරිතයකි. මාලිනී මෙම චරිතයේ බාහිර ක්‍රියාකාරකම් පමණක් නොව අභ්‍යන්තර මනෝභාව ඉතා ගැඹුරින් නිරූපණය කරන්නට සමත් වූවාය.”
මහාචාර්ය සුචරිත ගම්ලත් ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව, මාලිනියට පවසා ඇත්තේ “අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ට ප්‍රතිභාව හැරුණු කොට මුළු චිත්‍රපටය පුරාම පෙනෙන්නේ ඔබේ රඟපෑමේ දෝංකාරයයි. කිසි ම විශ්වවිද්‍යාලයක හෝ රංග ශිල්ප ආයතනයක හෝ නූගත් ඔබව මේ හැකියාව සහජ වාසනාවෙන්ම ලැබුණා යයි සිතනවා.”
මෙතෙක් දෙස් විදෙස් වැඩිම සම්මාන රැසක් හිමිකරගත් මෙරට රංගවේදිනිය ඇය වන අතර ‘එයා දැන් ලොකු ළමයෙක්’ හි රඟපෑම වෙනුවෙන් මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ ඩිප්ලෝමා සම්මානයකට පාත්‍ර වෙමින් ප්‍රථම වරට ජගත් සම්මානයක් රංගනය උදෙසා ඇය හිමි කරගන්නා විට එම චිත්‍රපටය තේරූ විනිශ්චය මණ්ඩලයේ ඉන්දියාවේ මහා සිනමාකරු සත්‍යජිත් රායි ද විය. මෙය නළුවකු හෝ නිළියක විසින් එතෙක් ලබාගත් පළමු සම්මානය විය.
හෙළ සිනමාවේ මෙන්ම අන්තර් ජාතික සිනමාවේද කිත් යසස් කොපමණ ලැබුවද අව්‍යාජ ලෙස නිහතමානිත්වය නමැති කිරුළ සිය හිස මත තබාගත් ඇය මියයන තුරුම එය ‘පැලඳ’ සිටියාය.

මාලිනී, පතිරාජ සේනාරත්නගේ පවුලේ උදවිය සමඟ රුසියාවේදී…