Home » යුක්තිය පසිඳලන්නන්ට මල්මිටක්

යුක්තිය පසිඳලන්නන්ට මල්මිටක්

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment

‘කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්?’

නන්දා මාලිනිය විසින් එසේ ගයන ලද්දේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අධිකරණයට විලංගු ලා තිබූ අවිචාර සමයේ ය. නන්දා එසේ ප්‍රශ්න කළ ද, රටේ ජනතාව අධිකරණය කෙරෙහි විශ්වාසය අත්හළේ නැත. සියලු ආයතන වල්වදිද්දී, නීතිය පිළිබඳ අපේක්ෂාව පමණක් සිහින් හුයකින් ජනතා හදවතෙහි රැඳී පැවතියේ ය. නීතිය පිළිබඳ, අධිකරණය පිළිබඳ විශ්වාසය අත්හළ හොත් අන් සියල්ල නැති වී… නැති වී… යනු ඇතැයි ජනතාව බිය වූහ.

එහෙත් රටේ බහුතර ජනතාව ඒ නිගමනයට පැමිණියේ මන්දගාමි ලෙසය. මහජන දේපොළ සොරා කනවුන්ට තවත් දශකයක් දෙකක් අපතේ හරින්නට ශ්‍රී ලංකාවට සිදු විය. තරාදිය අතරැඳි, දෙනෙත රෙදිකඩකින් වසා දමනු ලැබූ යුක්තියේ කන්‍යාව තමන් ආරක්ෂා කරනු ඇතැයි යන විශ්වාසය සෙමෙන් සහ ස්ථිරසාර ලෙස ජනතා හදවතෙහි වැඩුණේ ය.

ශ්‍රී ලංකාවේ ජනතාව නීතිය පිළිබඳ උකටලිභාවයට පත් වූයේ පැහැදිලි ලෙසම නීතිය ප්‍රභූ පෙළැන්තියට එකක්

සහ දිළින්දන්ට එකක් වශයෙන් දෙයාකාරයකට ක්‍රියාත්මක වූ නිසා ය. ජනතාව 2024 දී අනුර කුමාර දිසානායකට රට භාර දුන්නේ යුක්තිගරුක, නීතිගරුක, විනයගරුක ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ය. ජනතා අපේක්ෂා මල්පල දරන බව පෙනෙන විට ශ්‍රී ලංකාවේ පුරවැසියෝ සොම්නසට පත් වෙති.

ගත වූ දිනවල රටේ ජනතාව කතා කළේ මහජන දේපොළ සොරාකෑ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණය ක්‍රියාත්මක වන අයුරු ඇස් ඉදිරිපිට දකින්න ලැබෙන බවකි. අප පසු කළේ අතිශය නිර්දය ලෙස නීතිය වංගුගැසූ අවධියකි. එකල සතියේ දිනවල අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ කටයුතු ආරම්භ වන්නට ප්‍රථම ඒ ඒ නඩු සඳහා දිය යුතු තීන්දු රැගෙන අරලියගහ මන්දිරයෙන් නියෝජිතයකු පැමිණි බව ප්‍රසිද්ධ රහසක් ව පැවතියේ ය.

2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීමේ මුවාවෙන් ජනාධිපති ධුරාපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද කාර්යාල සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් සතොස හරහා ආනයනය කරනු ලැබ තිබුණේ එවකට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. එය අතිශය දූෂිත ගනුදෙනුවකි. එහිදී කැරම්බෝඩ් 14,000ක් සහ දාම්බෝඩ් 10,000ක් සඳහා අනීතික ලෙස මුදල් යොදවා, රජයට මිලියන පනස්තුනක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට වසර 10ක සිරදඬුවමක් නියම කළේ ය. එකී දූෂණ ක්‍රියාවට ම වරදකරුවකු වූ සතොස සභාපති ධුරය දැරූ නලින් ප්‍රනාන්දුටද කොළඹ මහාධිකරණය වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.

ජාතික ජන බලවේග රජයක් බිහි නොවන්නට මෙවැනි නඩු තීන්දුවක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි ය. පැවති පාලන සමයන්හිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් නඩු පවරන ලද්දේ විත්තියට වාසි වන අන්දමට ය. එක් අවස්ථාවක අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩු 60කට ආසන්න සංඛ්‍යාවක් නඩු පැවරීමේදී සිදු කර ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් නිෂ්ප්‍රභ කරන්නට යෙදිණි.

මහජන දේපොළ සොරාකෑ තැනැත්තන් විසින් ඒවා දේශපාලන පළිගැනීම් වශයෙන් හුවා දැක්විණි. දැන් එවැනි අර්ථකථනයන් සැපයිය නොහැකි ය. දේශපාලනයෙන් දූෂණය තුරන් කර තිබේ. රාජ්‍ය ආයතනවලින් දූෂණය තුරන් කළ යුතුව තිබේ.

එළඹ තිබෙන්නේ ඒ සඳහා ජනතාව තියුණු ඇසින් අවදියෙන් සිටිය යුතු මොහොත ය. ‘මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන් කුමට ද?’ යන්න අප ඉදිරියේ සාක්ෂාත් වෙමින් තිබේ. යුක්තිය පසිඳලන්නට දායක වන සියල්ලන් හමුවේ අපි මල් මිටක් තබමු.

You may also like

Leave a Comment