Home » “මේකප් කළත් නොකළත් ඇය හරිම ලස්සනයි”

“මේකප් කළත් නොකළත් ඇය හරිම ලස්සනයි”

අව­සන් ගම­න­ටද මාලි­නි­යගේ වත කමල සැරසූ ධනූ කියන කතාව

by Mahesh Lakehouse
May 31, 2025 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

හැමදාමත් මම ඇය සුන්දර රැජනක ලෙස සැරසූයෙමි. එහෙයින් ඇය අවසන් ගමනද යා යුත්තේ රැජනක ලෙසය. ඇය සුන්දර නින්දකට වැටී තිබිණි. මම ඇය සැරසූයේ ඇය නිඳා සිටින බව මෙනෙහි කරමිනි. එහෙත් සියල්ල සිදු වූයේ වෙනදා මෙන් නොවන බව මට පසක් වූයේ ඇයගේ චිතකයේ ගිනි දැල්ද නිවී ගිය පසුය. එදා වෙනදා මෙන් ඇය මා සමඟ සිනාසී ‘ස්තුතියි ධනූ’ කීවේ නැත. මම ඇයට සමු දුනිමි.’

එසේය. ඇය එදා ඔහුට වෙනදා මෙන් ස්තුතියි කීවේ නැත. එහෙත් ඔහු ඇයට සමු දුන්නේය. ඒ, නැවතත් කිසිදා තමා හමුවට ස්තුතියි ධනූ කියා පවසන්නට මාලිනියක නොපැමිණෙන බව ඔහු සහතිකයෙන්ම දන්නා නිසාය.

“හැමදාමත් රැජනක විදියට ලස්සනට සැරසුවා. ලස්සනට සැරසිලා රැජනක විදියට ඇය මෙහෙන් පිටව යනවා. ‘ගන්න මල්ලි ෆොටෝ එකක්,’ ඇය පිටව යන්නට පෙර පවසනවා. ඒ මට තියාගන්න. නැවතත් දවසක ඇය එනවා. එදාට වෙනදාටත් වැඩිය ලස්සනට ඇය සරසනවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා මූණේ ලස්සන හිනාවක් පුරවාගෙන ‘ස්තුතියි ධනූ… එහෙනම් මම ගිහින් එන්නම්,’ කියනවා.”

දැන් ඒ සියලු මතක ධනූගේ සැමරුම් ගොන්නට එක් වී ඇත්තේය.

ලාංකේය සිනමාවේ ලලනා පෞරුෂය මාලිනීය. ඇය අප අතරින් වෙන්ව ගොස් සතියක් ඉක්ම යමින් ඇත්තේය. මේ සුන්දර ආකාස කුසුම මිලින වී යන මොහොතේ සුන්දර රාජිනියක මෙන් ඇයගේ වතකමල සැරසීමේ දුෂ්කරම අභියෝගයට මුහුණ දුන්නේ ඔහුය. ඔහු නමින් ධනුෂ්ක කුමාර්ය. වෘත්තියෙන් වේශ නිරූපණ ශිල්පියකු වන හෙතෙම ‘Danushka of Shimmer’ සැලෝනයේ අධිපතිය. ඔහු හා මාලිනිය අතර පැවති මිතුදමට ඇත්තේ වසර 10ක තරම් වූ අතීතයකි. ආදරණීය සහෝදර බැඳීමක් මෙන්ම මාතෘත්වයේ උතුම් හැඟීමක්ද ඒ මිතු දම තුළ විය. පසුගිය දස වසරක කාලයේ මේ කුසුම රැජනක ලෙස සරසන්නට ඔහුට හැර වෙන කෙනෙක් සිටියේද යන්න සැක සහිතය. ධනුෂ්ක සිය වේදනාබරිත අතීතය දිගහරිමින් සිළුමිණ සමඟ දොඩමලු වූයේ මේ ආකාරයටය:

ධනුෂ්කට මාලනිය හමු වන්නේ අහම්බෙනි. එක් වතාවත් ගංගාරාම විහාරස්ථානයේ පින්කමකට ධනුෂ්ක සහභාගි වී සිටි අවස්ථාවේ ඔහුට මේ නිළි රැජන දැකගන්න අවස්ථාව හිමි වූයේ අහම්බෙනි. ඔහු ඇය සමඟ සෙල්ෆියක්ද ගන්නට අමතක නොකළේය.

“මට සිනමාවේ දැවැන්තයෙක් වුණ මාලිනී අක්කව මුණගැසෙන්නේ මීට වසර දහයකට පෙර. එදා ඇය මගේ සැලෝන් එකට ආවා. මම හිතුවේ නැහැ කවදාවත් ඒ වගේ කෙනෙක් මෙතැනට එයි කියලා. මාලිනී අක්කා මුලින්ම මගේ සැලෝන් එකට ආවේ ‘සුබාසිරි’ වැඩ සටහනේ රෙකෝඩින් එකකට. එදා මේ ෂූටිං එක කරන්න තිබුණේ මගේ සැලෝන් එකේ. එත් එදා මාලිනී අක්කව මේකප් කළේ සිරිස ටීවී එකේ කට්ටිය. මට මේකප් කරන්න වුණේ නැහැ. මගේ සැලෝනයේ කාමරයක කණ්ණාඩිය ඉදිරිපිට ඇය මේකප් එක කරන හැටි බලාගෙන ඉඳලා මාලිනී අක්කව මේකප් කරන්නේ කොහොමද කියලා ඉගෙනගත්තා. මාලිනී අක්කා එයාව මේකප් කරන්න ඕනෑ විදිය කියමින් ඒ අයව හසුරුවනවා. ඇය කොහොමත් හරිම ලස්සනයි. ඒත් එයාට ඕනැ වුණේ මිනිස්සු එයාව දකින්න කැමැති විදියට හැඩ වෙන්න. ඒ නිසා මූණේ හැඩතල ගැන එයා විටින් විට උපදෙස් දෙනවා.

“ඊට පස්සේ දිනයකත් ‘සුබාසිරි’ ෂූටිං එකටම මාලිනී අක්කා මෙහාට ආවා. එදා ඇය ටිකක් කලින් ආවා. සාමාන්‍යයෙන් මාලිනී අක්කා එනකොට ගොඩාක් කට්ටිය මෙතැනට පිරෙනවා. මාලිනී අක්කා එදා එන බව කලින්ම දන්න නිසා මම මේකප් කරන අනිත් කාමරයේ මේකප් බඩු ලෑස්ති කරලා තිබ්බා, කෝකටත් කියලා. අද මම මේකප් එක කරන්න ඇහුවොත් එයා හා කියයිද කියන චකිතය තිබුණා. එයා වේලාසනින් ඇවිත් මගේ කාමරයේ වාඩි වෙලා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා: ‘අක්කේ… අද මම මේකප් එක දාන්නද?’ ඒත් ඇය කිසිම පිළිතුරක් දුන්නේ නැහැ. සුළු වේලාවකින් ‘හා එහෙනම්, ඔයා කරන්න…’ ඇය මට කිවුවා.”

ධනුෂ්ක මේ නිළි රැජන සරසන්න ආරම්භය ගත්තේ ඒ ආකාරයෙනි.

“එදා ඇයගේ මුහුණ අල්ලමින් මේකප් කරද්දි මගේ අත ගැහෙන්න පටන් ගත්තා. රූපවාහිනී වැඩසටහනකට නිසා ඉදිරියට පේන විදියට කොණ්ඩය පමණයි හදන්න තිබුණේ. සුළු මේකප් එකක් දුන්නා. පුරුදු නැති නිසා අත් වෙව්ලනවා. ඒ නිසා එදා ටිකක් වෙලා ගියා. මාලනී අක්කා කිසිම තැනකට පරක්කු වෙන්නේ නැහැ. ඒත් මම නිසා පරක්කු වුණා. එදා මගේ මේකප් එක ගැන එයා සතුටු වුණා. කිසිම වැරුද්දක් කිවුවෙ නෑ. මාලනී අක්කගේ හිනාවෙන්ම මම තේරුම් ගත්තා මගේ මේකප් එකෙන් ඇය සතුටු වුණා කියලා. එදා දින දෙකකට යන රෙකෝඩින් එකක් තිබුණේ. ඒ නිසා වෙන ඇඳුමක් ඇන්දා. ඒකටත් මේකප් ටිකක් ටච් කරලා ලිප්ස්ටික් ටිකක් ගෑවා. නිළි රැජනක්ව මේකප් කිරීම මගේ වෘත්තීය ජීවිතයේදී මට ලේසියෙන් හම්බ වෙන චාන්ස් එකක් නෙමෙයි කියලා මම දැනගත්තා. ඒ නිසා ඉවර වුණාම මාලිනී අක්කත් එක්ක සෙල්ෆියක් ගැහුවා.”

ධනුෂ්ක සිය වෘත්තීය ජීවිතයේදී මාලිනිය හමු වීම සැලකුවේ මහත් භාග්‍යයක් ලෙසිනි. ඔහු ඒ වගකීම ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඉටු කිරීම නිසා මාලිනිය ඔහු කෙරේ තැබුවේ විශ්වාසයකි. ඇය නැවතත් සිය සැලෝනයට පැමිණේවියැයි ඔහු තුළ විස්වාසයක් නොතිබුණද ඇයගේ නිරහංකාරකම ඒ සියල්ල වෙනස් කරන්නට සමත් විය.

“මම හිතුවෙ නැහැ එයා ආයිත් එයි කියලා. ඒත් මාලිනී අක්කා මට එපොයින්මන්ට් එකක් දාලා මේකප් කරන්න තවත් දවසක එන්න ඇහුවා. මාලිනී අක්කා රටක් අගය කරන කාන්තාවක්. ඒ නිසා ඇයට තෑග්ගක් දෙන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ දවස්වල මම පොඩියට සාරි ෂොප් එකක් දාලා තිබුණා. ඒකේ තියෙන වටිනාම සාරිය වගේම මම ආසම කරන රතුපාට සාරිය මාලිනී අක්කට තෑගි දුන්නා. ‘හරිම ලස්සනයි! මම හොය-හොය හිටපු සාරියක් නේ…’ ඇය එය හරියට අගය කළා. ‘මේකට තියෙන්නේ මම ආසම ඩිසයින් එකක්,’ කියලා ඇයම ඒ සාරිය මෙහේ තියලා ගියා. ‘ඔයාම ඔය සාරිය හදලා තියන්න. උත්සවයකට යන්න ආවහම මට මේක අන්දවන්න…’ ඒ වගේම ඇය ඒ සාරිය උත්සවයකට යන්න මට කියලා අන්දවාගත්තා.

“පස්සෙ මාලිනී අක්කා අපට යාළුවෙක් වුණා. සතියකට දෙ-තුන් පාරක් සැලෝන් එකට එනවා. අපි සැලෝන් එකේ නැති නම් පාණදුරේට හරි එනවා. සමහර වෙලාවට මේ හරහා යද්දි මාලිනී අක්කා මාව බලලා යන්න විතරක් එනවා. අපි එකතු වෙලා විනෝද ගමන් ගියා. මාලිනී අක්කා ඇඳුම් ගන්න යනකොට මට අඬගහනවා. සමහර වෙලාවට එයා දන්නෙත් නැතුව මම ඇගේ ඇඳුම් සකස් කරනවා. ඉන්දියාවේ කේරලයේ කාන්තා දිනයට මාලිනී අක්කත් එක්ක ඉන්දියාවට යන්න මට අවස්ථාව හිමි වුණා. එදා ඒ උත්සවයේදි ඇයට සම්මානයක් හිමි වුණා. ඒකටත් යන්න කලින් ඇයගේ ඇඳුම් ඩිසයින් කරලයි අපි ගියේ. විනෝදයට සාරි ගේන්න ඉන්දියාවේ පවා ගියා. මගේ සැලෝන් එකේ වජිරත් එක්කත් හරිම යාළුයි. මම ෆෝන් ආන්සර් කළේ නැති වුණාම වජිරට කතා කරලා මම කෝ කියල අහනවා. එයා අම්මෙක් වගේ අපේ පිටිපස්සේ සිටියා…”

මාලිනිය පිළිබඳ ධනුෂ්ක තුළ ඇත්තේ උපරිම ගෞරවයකි. විටක ඔහු ඇය සිය මවට පමණක් දෙවැනි කොට සලකන්නේය. ඇයගෙන් ඔහු බොහෝ දේ උගත්තා පමණක් නොව, ඒ උපදෙස් ජීවිතයටද එක් කරගත්තේය.

මාලිනිය යනු සියල්ලට වඩා බෙහෙවින් වෙනස් කෙනෙකි. ඒ, ඇය සතු සුවිශේෂ ගුණාංග නිසාය. ඒ වෙනස තේරුම් ගත්තෝ බොහෝය. ධනුෂ්කද එවන් කෙනෙකි…

“අක්කා මගේ සැලෝන් එකට ඇවිත් මේකප් කරලා යන කොට මගේ කැටයම් කරපු දොර උළුවස්ස ළඟ හිටගෙන ෆොටෝ එකක් ගන්නවා. ‘කොල්ලො! ෆොටෝ එකක් ගන්න. ඒක ඔයාට වටිනවා,’ කියලා අක්කා කියන්නේ මට. අක්කගේ මේ වගේ ගත්තු හැම ෆොටෝ එකක්ම මගේ ෆෝන් එකේ වෙනමම ෆෝල්ඩර් එකක තියෙනවා.”

ජීවිතේ බොහෝ දේ සිදු වන්නේ පතන අයුරින්ම නොවේ. නිළි රැජනක වූ ඇය පසුගිය කාලයේ බොහෝ සෙයින් රෝගාතුර වූයේ ජීවිත කාලයේ අපට උරුම වන සදාතනික උරුමයන්ට මුහුණ දෙමිනි. එසේ වුවත් ගතින් ශක්තිමත් වූ ඇය සිතින්ද බොහෝ ශක්තිමත් කාන්තාවක වී ඊට මුහුණ දුන්නාය.

“පසුගිය කාලයේ ඇය ගොඩාක් අසනීප වුණා. එහෙත් ඇය හිටියේ හොඳ සිහියෙන්. ශක්තිමත්ව හිටියා. අවසාන කාලයේ මාලිනී අක්කා අසනීපයෙන් සිටි නිසා නිතර නිතර රෝහලට ගියා. ඒ යන කොට ලස්සනට යන්න ඕනෑ කියන හැඟීම එයාට වගේම අපටත් තිබුණා. ඒ නිසා කියන්නත් කලින්, එයාට ලස්සනට රෝහලට යන්න, සුදුසු ඇඳුම් ගිහින් දුන්නා. මාලිනී අක්කා අවුරුදු 70ක කෙනෙක් වුණත් මේකප් කෙරුවට පස්සේ වයස පෙනුණේ නැහැ. එයා හිතින් තරුණ කෙනෙක්; ලස්සනට ඇඳලා ඉන්න හරිම ආසයි. එයාට මේකප් ගැන හොඳ දැනුමක් තිබුණා. කම්මැළිකමට හරිම අකැමැතියි. සමහර විට මටත් උපදෙස් දෙනවා. මම එයාගෙන් ගොඩක් දේ ඉගෙනගත්තා. පස්සෙ පස්සේ මාලිනි අක්කගේ වයස නිසා ඇය මේකප් කිරීම ටිකක් අපහසු වුණා. ඒ වුණත්, මේකප් කළත් නොකළත් ඇය හරිම ලස්සනයි. අසනීප වුණත් ඒ බව පේන්නේ නැහැ…”

අවසන් වරට මාලිනිය ජන හදවත් තුළ කිඳාබැස්සේ ඇයගේ 78 වැනි උපන්දින සැමරුම නිසාය. එදාද අසනීප තත්ත්වයෙන් සිටි ඇය සරසන්නට ඇයගේ නිවෙසට ගියේ ධනුෂ්කය.

“මාලිනී අක්කා මෑතකදී ගොඩාක් සතුටින් හිටියේ අප්‍රේල් 30 වැනිදා එයාගේ උපන්දින සැමරුම නවලෝක රෝහලේ තිබුණට පස්සේ. රෝහලේ කරන නිසාත්, සෞඛ්‍යාරක්ෂිතව කළ යුතු නිසාත් රෝහලෙන් නර්ස්ලා දෙන්නෙක් පවා එයාට සූදානම් කර දී තිබුණා. රෝහලේ තිබුණත් ඒ වෙන කොට මාලිනී අක්කා හිටියේ ගෙදර. මාලිනී අක්කගේ හොඳ යාළුවෙක් වෙන සන්ධ්‍යා ජයසූරිය තමයි එදා මාලිනී අක්කගේ කහපාට ඇඳුම නිර්මාණය කළේ. මම ඇඳුමක් හදන්නද කියලා ඇහුවම අක්කා කිවුවා ‘සන්ධ්‍යා හදනවා මල්ලී‍,’ කියලා.

“මාලිනී අක්කගේ බර්ත් ඩේ එක දවසේ උදේ මම ඇගේ ගෙදරට ගියේ ඇය ආසම කරන කහ ලිලී මල් පොකුරක් අරගෙන. ‘අක්කට මේක ගෙනාවේ. හැබැයි අතට ගන්න එපා,’ කියලා කිවුවේ ඇයගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. ‘අනේ කෝ දෙන්න. මම ආසම කරන මල් ලැබුණා,’ කියලා ඇය මගෙන් ඒක ඉල්ලුවා. එදා ඇගේ උපන් දිනයට ලැබුණු මල් පොකුරු ගොඩකින් ගෙදර පිරිලා තිබුණා.

“මම යනකොට ඇය ලස්සනට හැඳ-පැලඳගෙන, රෝද පුටුවට වෙලා ඉන්නවා. එදා ඇය උපන්දින උත්සවයට යන්න මම ඇයව මේකප් කළේ වීල් චෙයාර් එකේ තියාගෙන. එයා දන්නවා මට පුරුදු පැත්ත මොකක්ද කියාලා. ඒත් ඒ පැත්තේ මට ඉඩ නැහැ. ඒත් පස්සේ වීල් චෙයාර් එකේ ඉඳගෙනම මට ඒ ඉඩ හදලා දුන්නා.”

අසනීපයෙන් සිටියද මාලිනියගේ සුන්දරත්වය වචනයට පෙරළිය නොහැකිය. ඇය එතරම්ම සුන්දරව සිටියාය.

“මාලිනී අක්කා කොහොමත් ලස්සනයි. ඇය අසනීපයෙන් සිටියත්, එදත් ඒ වෙනස මුහුණෙ පෙනුණේ නැහැ. මම වෙනදා දාන ආකාරයෙන්ම මේකප් එක කළා. ඊට පසුවදා ඇය ඩයලසිස් කරන්න රෝහලට ගෙන ගියා. එදාත් මම ඇයව බලන්න රෝහලට ගියා. එදා ගොඩාක් සතුටින් හිටියේ. ඇය වෙනුවෙන් ඒ වගේ උත්සවයක් සංවිධානය කිරීම ගැන. ‘මගේ බර්ත්ඩේ එකට මාව බලන්න ආපු අය ළඟට මට යන්න ලැබුණේ නැහැ නේ ධනූ…’ කියලා ඇය වේදනාවට පත් වුණා. එයාට ඕනෑ වුණේ ආදරය කරන අය අතරට යන්න…

“ඇය නැවත රෝහල්ගත වුණේ නැති වෙන්න දින තුනකට පෙර. ඊට කලින් මට ඇය අවසානයට හමු වුණේ වෙසක් පොහෝ දින. මාලිනී අක්කගේ අසනීප තත්ත්වය නිසා ඇයට වතුර පවා දුන්නේ මැනලා. ඒත් ඒ ප්‍රමාණය ඇයට මදි වෙනවා. ඒ අවස්ථාවේ අපි ගොඩාක් අසරණ වුණා. මාලිනී අක්කා කවදාවත් ඇගේ මරණය ගැන කියලා තිබුණේ නැහැ. ඒත් මම මගේ මරණය ගැන ඇයත් එකක් කතා කළා. ඇය හරිම ශක්තිමත්. අවසන් කාලයේ ඇයට තිබුණේ වකුගඩු අමාරුව පමණයි. දවසක් මාලිනී අක්කා මට කිවුවා ‘මල්ලි, මට ඕනැ රෝද පුටුවෙන් බැහැලා, කකුල් දෙකෙන් ඇවිදගෙන ගිහින් බේත් ගන්න,’ කියලා. ඇය ඒ තරමට ඇයට සුව වෙයි කියන විශ්වාසය තබාගෙන තිබුණා. එයා හිතුවේ නෑ එතරම් ඉක්මනට එයාට යන්න වෙයි කියලා. වෙසක් දවසෙත් ඇය මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කර-කර හිටියා. ඒ වෙලාවෙත් කිවුවේ ‘බලන්න මම තනියම නැඟිටිනවා,’ කියලා මට නැඟිටලා පෙන්නුවා. ඊට කලින් ඇය ගෙදර ඇවිද්දේ වෝකර් එකෙන්. කරන්න පුළුවන් හොඳම විධියට එයාගෙ ප්‍රතිකාර සිදු වුණා…”

එදා සුන්දර සිනාවකින් මුව සරසාගත් මේ රැජන අවසන් වරට සිය අවසන් ගමනට යන්නට සරසා ගත්තේද ධනුෂ්කගෙනි. අදටත් එය ඔහුට වේදනාබර මතකයකි.

‘… මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැප වූ අයෙක්මි. වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි. සම්මාන උත්සව, විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබ ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරි වූයේ ඔබ මට දරුවකුට මෙන් ආදරය කළ නිසාය. ඉතිං… මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද?’ ඒ ධනුෂ්ක මට නොකියූ සමාජ මාධ්‍යයට එක් කළ සටහනක කොටසකි.

ධනුෂ්ක පසුගියදා ජයරත්න මල් ශාලාවට ගොඩවැදුණේ තමා වසර 10ක් පුරා රැජනක බවට පත් කළ, සදාකාලික සුව නින්දකට වැටී සිටි මිලින වී ගිය ආකාස කුසුම නැති නම් සීත අරණේ සුපුල් නාමල අවසන් වරට හැඩගන්වන්නය. ධනුෂ්කගේ වචනයෙන් පවසනවා නම්… ඇය මියගොස් නැත. මේ සිටින්නේ තද නින්දකය.

“මාලිනී අක්කා නැති වෙලා තිබුණේ පාන්දර 1.00ට විතර. මම දැනගන්න කොට පාන්දර 2.00 වුණා. මාලනී අක්කව බලාගත්තු නිලූකා මට කතා කරලා කිවුවා ‘අපේ මැණික අපිව දාලා ගියා,’ කියලා. එදා එළිවෙනකම් මට නින්ද ගියේ නැහැ. උදේ 6.00ට මට එපොයින්මන්ට් එකක් තිබුණා. මම ලෑස්ති වෙලා ඒකට ගියා. ඒ අවස්ථාවේ මට මේකප් එක කරන්න තිබුණ කෙනාගේ මූණ පේන කොට මට පෙනුණේ මාලිනී අක්කා වාඩි වෙලා ඉන්නවා කියලා. මාලිනී අක්කගෙ පවුලෙ කෙනෙක් පස්සේ මට කතා කරලා ඇහුවා, ‘මල්ලි, අපි මොකක්ද අන්දවන්නෙ එයාට? එයා ආස කරන ඇඳුමක් ඔයාට මතකද?’ කියලා ඇහුවා. මම කිවුවා මාලිනී අක්කා කියන්නේ කවදාවත් ඇඳපු ඇඳුමක් ආයිත් අඳින කෙනෙක් නෙමේ නිසා අපි අලුත්ම ඇඳුමක් හදමු,’ කියලා. මම පොරොන්දු වුණා සාරියක් අරගෙන ලස්සනට හදන්නම් කියලා. පස්සේ මට තිබුණු වැඩ ඉක්මනට ඉවර කරලා, පාණදුරේ සිට කොළඹට ආවා.

“මාලිනී අක්කා ජීවත් වෙලා ඉන්න කාලයේ ලස්සනට ඇන්දා. ඒ වගේම ඇන්දේ වටිනා සාරි. කොච්චර වටින සාරියක් වුණත් අක්කා ඒක අදින්නේ එක පාරයි. එයාට ඕනෑ වුණා අලුත් සාරියක් හැම වෙලාවේම අඳින්න. ඒක එයාට ශක්තියක්. ඒ නිසා ඇයගේ අන්තිම ගමනටත් ලස්සනට අන්දවන්න ඕනෑ කියන අදහස මට තිබුණා. මාලිනී අක්කා සුදු සාරිවලට කැමැත්තක් තිබුණා. ඒ නිසා අපි සුදු සාරියක් තෝරගනිමු කියලා කතා වුණා. මම ලස්සන සාරියක් තෝරලා, අලුතින්ම ජැකට් එකක් මැස්සුවා. මම ඒවත් අරගෙන ජයරත්න මල් ශාලාවට ගියා. මොකද, ඒ අයම කතා කරලා, මේකප් කිරීම මට කරන්න කිවුවා. මමත් කිවුවා ඒක මමම කරන්නම් කියලා. මම යනකොට මාලිනී අක්කගේ එම්බාම් කටයුතු ඉවර කරලා, මගේ කොටස පමණක් ඉතිරි කරලා තිබුණා. ඒ කටයුතු කරන්නත් ඇයට ජයරත්න එකේ හොඳම වායු සමනය කළ ශාලාවක් දීලා තිබුණා. මම යන කොට ඇයව පෙට්ටියේ තියලා තිබුණා. ඇගේ ලස්සන කොණ්ඩය කඩා තිබුණා. ඒ කොණ්ඩය හැමදාමත් ලස්සනයි.”

මාලිනී අක්කගේ සුන්දරත්වය එලෙසින්ම තබා, නිළි රැජනක ආකාරයෙන්ම අවසන් ගමන් යවන්නට ධනුෂ්කට පැවැරුණේ එසේ මෙසේ අභියෝගයක් නොවේ.

“ඒත් මට එදා ඇයව වෙනදා වගේ ලස්සන කරන්න බැරි වුණා…” ධනුෂ්ක හැඟුම්බරව පවසන්නේ අවංකවමය.

“මාලිනී අක්කා කියන්නේ රටටම එක්කෙනයි. මම එයාව හැමදාම සැරසුවේ රැජනක් විදියට. ඇයගේ අන්තිම ගමනටත් ඇයව රැජනක් කියන තැන තියන්න ඕනෑ. එදා මම ඇයව මේකප් කළේ ඇය නිඳාගෙන ඉන්නවා කියලා හිතාගෙන. එදා එයාව ලස්සන කරන්න එයා ශක්තියක් දුන්නා වගේ හැඟීමක් මට දැනුණා. ඒ වෙලාවේ මම හිතුවේ මගේ රාජකාරිය ගැන පමණයි. මට ඇයව සරසන්න පැය එකහමාරක් විතර ගියා. මාත් එක්ක මහල් රණසිංහ ඇන්ටි ආවා. එයා තමයි අක්කට සාරිය ඇන්දුවේ. හැරිස් අංකල් ඒ වෙලාවේ එතැනට ආවා. එය මට ශක්තියක් වුණා. හැමෝම හරිම කැමැත්තෙන් ආවේ. වෙනදා මාලිනී අක්කව ඩ්‍රෙස් කරන්නෙත් තුන් හතර දෙනෙක් එකතු වෙලා. ඇයගේ අවසන් ගමනටත් ඩ්‍රෙස් කරන්න තුන් හතර දෙනෙක් එකතු වුණා.

“වෙනදා අක්කගේ කොණ්ඩය හදන කොට අක්කා අතේ එක බ්‍රෂ් එකක් තියෙනවා. මගේ අතේ එක බ්‍රෂ් එකක්. මම අක්කගේ කොණ්ඩය හදන කොට අක්කා එයාගේ අතින් කොණ්ඩෙ ස්ටයිල් එකට ගන්නවා. ඒත් එදා අක්කගේ අත නැහැ. මම තනියම කොණ්ඩය හදලා, අක්කව රැජනක් වගේ ඇන්දුවා.

“හැමදාම මාලිනී අක්කාගේ මේකප් කරලා ඉවර වුණාම මම අහනවා ‘අක්කේ මලක් ගහමුද?’ කියලා. එතකොට ‘කනට යටින් මලක් ගහමු,’ කියනවා. එයාට මල ගහන්න පුරුදු වුණේ දකුණු පැත්තට. එදත් මම එයාගේ දේහයට දකුණු පැත්තට රෝස මලක් ගැහුවා. මලත් ගහලා සියල්ල ඉවර වුණාම මට හිතුණා මම එයාට වැඩ කරන අන්තිම වතාව මේක නේද කියලා. දරාගන්න බැරි වේදනාවක් ඇවිත් මම දුක නැති වෙනකං හොඳටම ඇඬුවා. මාලිනී අක්කගේ අවසාන ගමන මේ විධියට කරන්න කියලා ඇය කවදාවත් කියලා තිබුණේ නැහැ…” ධනුෂ්ක පවසන්නේ දෙනෙතේ කඳුළු පිසදමමිනි.

“මමත් කවදාවත් නැවතත් ඒ වගේ දෙයක් කරනෙ නැහැ…” ඔහු පවසයි.

සියලු කටයුතු අවසන් වූ පසු සිය සැලෝනය වෙත පැමිණි ධනුෂ්ක මෙනෙහි කරන්න වූයේ පසුගිය දින තුනේ සැබැවින්ම සිදු වූයේ කුමක්ද යන්නය.

“මාලිනී අක්කා නැති වුණා කියලා හරියටම තේරුණේ අද…” ඔහුගේ දෙනෙත් කඳුළින් බරය. වචන පෙළගැසෙන්නේ නැත.

“මාලිනී අක්කාගේ දේහය ගෙදර ගිහින් තියන කොට, තරංගනී ශාලාවේ තියන කොට, නිදහස් චත්‍රරශ්‍රයට ගේන කොට මම එතැන හිටියා… මිනිය වහලා ආයිත් අරින කොට මොනවා හරි වෙනස් වෙලා තියෙයි කියලා… එයා කතා කළේ නැති වුණත්, එයා අපි අතරේ හිටියා. අද තමයි එයා නැති වුණා කියලා හොඳින්ම තේරුණේ. දවස පටන් ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා…”

කියන්න බොහෝ දේ ඔහුට ඇත. අසන්නට බොහෝ දේ මටද ඇත. එහෙත් සියල්ල සිදු වී අහවරය. මාලිනිය අප අතර නැත. මිලින වි ගිය ඒ කුසුමේ සුවඳ තවමත් අප අතර නොනැසී ඉතිරිව ඇත්තේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division