Home » පශ්චාත් බ්‍රෙක්සිට් යුරෝපයේ නව උපායමාර්ගික ප්‍රවේශයක්ද?

පශ්චාත් බ්‍රෙක්සිට් යුරෝපයේ නව උපායමාර්ගික ප්‍රවේශයක්ද?

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

මැයි 19 දා, එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය පවතින අස්ථාවර ගෝලීය විෂයපතය තුළ වෙළෙඳාම, ආරක්ෂාව මත්ස්‍ය කර්මාන්තය, බලශක්ති හා ආහාර යන පුළුල් ක්ෂේත්‍ර අරබයා නව ආකාර උපායමාර්ගික ගිවිසුමකට එළඹි බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇත්ත වශයෙන්ම මේ ඔස්සේ, පශ්චාත් බ්‍රෙක්සිට් (Post-Brexit) සබඳතාවකට, එක්සත් රාජධානිය නැවත යොමු වීම තුළ යුරෝපා සංගමය සමග ගිවිසුම්ගත වීමක් එක්සත් රාජධානිය ඉටු කොට ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි. එක්සත් රාජධානියේ අගමැති සර්කියා ස්ටමර් හා යුරෝපීය සංගමයේ සභාපතිනිය වන වොන්ඩර් ලියෑන් ලන්ඩනයේදී මේ ආරක්ෂාව, වෙළෙඳාම හා මත්ස්‍ය කර්මාන්තය ප්‍රමුඛ වූ ගිවිසුමට අත්සන් තබා ඇත.

එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර එළඹුණු මේ ගිවිසුම ඔස්සේ, 2038 වර්ෂය වන තෙක්ම යුරෝපා සංගමයේ බෝට්ටු සඳහා එක්සත් රාජධානියේ සාගරික පහසුකම්වල ඉඩකඩ ලැබීම සුවිශේෂත්වයක් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. එක්සත් රාජධානියේ අගමැති සර්කියා ස්ටමර් ප්‍රකාශ කර ඇත්තේ මේ ඔස්සේ (Brexit reset) ආර්ථික වර්ධනයේ ඉහළ ප්‍රගතියක් අත්පත් කරගැනීමට හැකියාවක් ලැබෙන බවයි. පවුම් බිලියන 9කින් යුතු ආදායමකින් එක්සත් රාජධානියේ ආර්ථිකය වර්ධනය මෙම ගිවිසුම් ප්‍රකාරව සිදු වන බව වාර්තා වී ඇත. එහෙත් මේ (පශ්චාත්-බ්‍රෙක්සිට්) සබඳතාව පිළිබඳ එක්සත් රාජධානියේ දේශපාලන හා ආර්ථික සන්දර්භය තුළ ඉතා තදබල තීරණාත්මක කතිකාවක් ගොඩනැගී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.

මේ ඔස්සේ එක්සත් රාජධානියේ මත්ස්‍ය – අයිතීන් විකුණා දැමීමකට ලක් වන බව මතු වී ඇති ප්‍රබල විවේචනයකි. එහෙත් අගමැති සර්කියා ස්ටමර් නැවත එක් වූ (පශ්චාත්-බ්‍රෙක්සිට්) ගිවිසුම ඔස්සේ, බ්‍රිතාන්‍ය වැසියන්ට ආහාර හා මත්ස්‍ය සම්පත් පිළිබඳ සුවිශේෂ වූ වාසිසහගත තත්ත්වයන් උදා වන බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය කොන්සවේටිව් නායිකා කෙමී බෙඩිනොක් මෙම පිළිබඳ දරන ස්ථාවරය නම් මේ ඔස්සේ බ්‍රිතාන්‍ය, පසුබෑමකට රැගෙන යන බවයි.

මේ ගිවිසුම ඔස්සේ එක්සත් රාජධානිය හා යුරෝපීය සංගමය අතර ඉදිරි වසර 12 උදෙසා, එක්සත් රාජධානියේ සාගරික ජල පහසුකම යුරෝපීය සංගමයට ලැබෙන බැවින්, ඊට හුවමාරුවක් ලෙස එක්සත් රාජධානියට විශාල වශයෙන් වෙළෙඳ පහසුකම් ලැබෙන බව වාර්තා වී ඇත. එහෙත් බ්‍රිතාන්‍ය අභ්‍යන්තරයේ, මේ ඔස්සේ බ්‍රිතාන්‍ය, ස්වෛරිත්වයට හා ප්‍රගමනයට යම් ආකාර බලපෑමක එල්ල වන බවටද විශාල වශයෙන් අදහස් පළ වී ඇත.

මේ වන විටත් එළඹ ඇති එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර මේ ගිවිසුම පදනම් කරගත් සමුළුවේදී යුරෝපීය සංගමයේ ප්‍රධානී උර්සුලා වෙන් ද ලියේං ප්‍රකාශ කර ඇත්තේ, මෙය ඓතිහාසික අවස්ථාවක් බවත්, මේ උදෙසා අගමැති සර්කියා ස්ටමර්ට ස්තුතිවන්ත විය යුතු බවත්ය. මේ ගනුදෙනුව ඔස්සේ යුරෝපීය සංගමයේ රාජ්‍යයන්ට මෙන්ම එක්සත් රාජධානියේ වැසියන්ටද සැබෑ වෙනසක් අත්කරදීම සිදු වන්නක් බවයි. එහෙත් මේ වන විටත් ලැබෙන වාර්තා ඔස්සේ පෙනී යන්නේ බ්‍රිතාන්‍යය අභ්‍යන්තරික දේශපාලන සංවාදය තුළ පශ්චාත්-බ්‍රෙක්සිට් යහපත් හා අයහපත් යන වර්ගීකරණයන් දෙකටම ග්‍රහණය වී ඇති ආකාරයකි.

පශ්චාත් – බ්‍රෙක්සිට් හා ගෝලීය මතවාද

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ සෙසු ස්වෛරි රාජ්‍ය උදෙසා පනවන තීරුබදු ප්‍රතිපත්ති හා අනතුරු ඇඟවීම් සමග යුරෝපය, ස්වකීය ආරක්ෂාව උදෙසා වැඩි වශයෙන් ඒකාබද්ධ විය යුතුය යන අදහස ඉතා තදින් එලබගැනීමට පටන්ගැනිණි. අනෙක් අතින් ලෝකයේ සෙසු රාජ්‍ය වෙළෙඳාම, ආරක්ෂාව හා සුරක්ෂිතභාවය අරබයා නැවත නැවතත් සිතිය යුතු බව හා ප්‍රතිපත්තිමය රාමු ඊට අනුගතව සම්පාදනය වීම කඩිනම් අවශ්‍යතාවක්ව පවතී. මෙවැනි සුවිශේෂ හා අනතුරුදායක පරිසරයක් පවතිද්දී එක්සත් රාජධානියේ අගමැති සර්කියා ස්ටමර් යුරෝපීය නායකත්වයන්ට වඩ වඩාත් සමීප වීමක් මෙම ගිවිසුම ඔස්සේ පළ වූ බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රික අදහස වී ඇත.

Brexit (බ්‍රෙක්සික්ට්) කවරක්ද?

2020දී එක්සත් රාජධානිය, එවකට පැවති යුරෝපීය ප්‍රජාව (European Council) වෙතින් ඉවත් වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ, 2016 ජූනි 23 බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයක් පදනම් කොටගෙන වන අතර, 2020දී මේ ඉවත් වීම තහවුරු වී ඇත. අද නැවතත් බ්‍රිතාන්‍ය අගමැති සර්කියා ස්ටමර් යුරෝපීය සංගමය සමග ඒකාබද්ධ වූයේ මෙම අවලංගු කළ බ්‍රෙක්සිට්හි පශ්චාත් බ්‍රෙක්සික්ට නැවත ජීවයක් දෙමිනි.

යුරෝපීය සංගමයේ 50 වැනි වගන්තියට අනුව, ඕනෑම සාමාජික රාජ්‍යයකට යුරෝපීය සංගමය වෙතින් ඉවත් වීමේ හැකියාවක් පවතින අතර, එයට පූර්ව දැනුම්දීමක් සිදු කළ යුතුය.

අගමැති සර්කියා ස්ටමර්ගේ පශ්චාත්-බ්‍රෙක්සිට් ගිවිසුම හරහා බ්‍රිතාන්‍යයට පැහැදිලි වාසිසහගත උපායමාර්ගික තත්ත්වයන් පැවතියද එහි දේශපාලනික අනතුරක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර සර්කියා ස්ටමර් ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් රාජධානිය හා යුරෝපීය සංගමය අතර ගනුදෙනුව ඔස්සේ, ලෝක වේදිකාවේ ඔසවා තැබූ බවයි.

ඇත්ත වශයෙන්ම, බ්‍රිතාන්‍යය ඓතිහාසික වශයෙන්ද විවෘතභාවයෙන් හෙබි රාජ්‍යයක් ලෙස මෑත කාලීනව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වරින් වර මුදාහරින ලද තීරුබදු සමඟ ගෙනයනු ලබන ගෝලීය වෙළෙඳ යුද්ධය තුළ ලෝකයේ සෙසු රාජ්‍ය රැසක් සමඟ වෙළෙඳාම පිළිබඳ එකඟතාවලට එළඹීම නව ප්‍රවණතාවක් ලෙස දිස් වී ඇත. ඒ ඔස්සේ ගෝලීය වෙළෙඳාම තුළ එක්සත් රාජධානියේ රඳා පැවැත්ම වඩ වඩාත් තහවුරු කරගැනීමේ ප්‍රමුඛ අභිලාෂය අන්තර්ගතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මැයි 18 දා එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සමඟ එළඹි පශ්චාත් බ්‍රෙක්සිට් ගිවිසුමද මේ තත්ත්වයට කදිම නිදසුනක් සපයන අතරම, යුරෝපා මහාද්වීපයේ ආර්ථික ස්ථාවරත්වය හා සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමද සිදු වී ඇත.

යුරෝපීය සංගමය, එක්සත් රාජධානියේ විශාලතම අපනයන සගයා වන අතර, පශ්චාත්-බ්‍රෙක්සිට් ගනුදෙනුව එක්සත් රාජධානියේ අගමැති සර්කියා ස්ටමර් අර්ථගන්වා ඇත්තේ එය “Win Win ගනුදෙනුවක්”ලෙසිනි. මෙම නව ගිවිසුම ඔස්සේ එක්සත් රාජධානියට යුරෝ බිලියන 150ක වටිනා ආරක්ෂක අරමුදලක් හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර, බ්‍රිතාන්‍යයට, මත්ස්‍ය කර්මාන්තය උදෙසා දෙනු ලබන සාගරික සම්පත්වලට හුවමාරුවක් ලෙස වටිනා වෙළෙඳ අයිතියක් ආහාර හා කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

එක්සත් රාජධානිය අභ්‍යන්තරයේ පශ්චාත්-බෙක්සිට් සම්බන්ධයෙන් මේ ආකාරයේ මතවාද පැනනැඟුණද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අගමැති සර්කියා ස්ටමර්, මේ ගනුදෙනුව තුළ ප්‍රසාදයට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එක්සත් ජනපද නිව්ජර්සි ප්‍රධාන අමාත්‍යවරයා වූ ලින්ඩොන ෆාන්හැම් ලන්ඩනයේ ඩවුනින් ස්ට්‍රීට්හි අගමැති සර්කියා ස්ටමර් හමු වී, මෙම නව ගිවිසුම පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ, අගමැති සර්කියා ස්ටමර්ට මෙන්ම ඔහුගේ කැබිනට් අමාත්‍යවරුන්ට හා සෙසු යුරෝපීය සංගමයේ සාමාජිකයන්ට ඔවුන්ගේ උපරිම සහාය හා ප්‍රමුඛත්වය මේ උදෙසා නිසැකවම හිමි වන බවයි යන්න විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division