අන්තර්ජාතික රීතීන් මත පදනම් වූ පර්යායක් පිළිබඳ ඔබ අසා තිබේද? අමෙරිකා එක්සත් ජනපදයට, යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට අනුව රුසියාව මෙන්ම චීනයද මේ රීතීන් උල්ලංඝනය කරන අතර, ඔවුන්ට දඬුවම් කළ යුතුය. ගෝලීය සන්සුන්භාවය අවුල් කරමින් කවරකු හෝ පිළිගත් රීතීන් උල්ලංඝනය කරන්නේ නම්, නිසැක වශයෙන්ම ඔවුන්ට දඬුවම් කළ යුතු ය. කුමක්ද මේ අන්තර්ජාතික රීතීන් මත පදනම් වූ පර්යාය? වර්තමාන ගෝලීය සන්දර්භය තුළ එවන්වූ පර්යායකට ඇති වලංගුභාවය කුමක්ද? ගාසා තීරයේ වත්මන් මානුෂවාදි අර්බුදය තුළ මේ රීතීන් එක් එක් පාර්ශ්වයට අදාළ වන්නේ කෙසේද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
1945 වසරේ සිට, එක්සත් ජනපදය විවිධ සන්ධාන, ආර්ථික ආයතන, ආරක්ෂක සංවිධාන, දේශපාලන සහ ලිබරල් සම්මතයන් සහ අනෙකුත් මෙවලම් ගොඩනඟා ගනිමින් සහ පවත්වාගෙන යමින් තම ගෝලීය වුවමනා-එපාකම් සපුරාගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියා කලාපය – බොහෝ විට සාමූහිකව ගත් කළ – ‘අන්තර්ජාතික පර්යාය’ ලෙස හැඳින්වේ.
අන්තර්ජාතික පර්යායක් ගොඩනැඟීම අවම වශයෙන් 1940 ගණන්වල පමණ සිට එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ විධිමත් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ අතරම, එය අමෙරිකානු ජාතියේ බිහි වීමේ පටන් පැවති අභිලාෂකාමි ඉලක්කයකි. පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ එහි නිර්මාපකයන්ට අනුව, මේ අන්තර්ජාතික පර්යාය මඟින් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පරමාදර්ශ ඉටු කරලමින් – එක්සත් ජනපදය මෙන් – ලොව සෙසු රටවලට ද සමෘද්ධිමත් විය හැකි පරිසරයක් පවත්වාගෙන යෑමට ඉඩප්‍රස්තාව සලසයි. රීතීන් මත පදනම් වූ මේ පර්යාය ගොඩනැඟීම සඳහා වොෂිංටනය තම අසීමිත යුද ශක්තිය මෙන්ම අන්‍යොන්‍ය වුවමනා එපාකම් පිළිබඳ පරමාදර්ශි සංකල්ප යන දෙකම භාවිත කර ඇත. මේ අර්ථයෙන් ගත් කළ, එම පර්යාය ගොඩනැඟීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය තම දෘඪ බලය සහ මෘදු බලය යන දෙකම භාවිත කොට ඇත.
ඒ අනුව, මෙම ඊනියා අන්තර්ජාතික පර්යාය යනු මූලික වශයෙන් එක්සත් ජනපදය විසින් සකසන රීති පද්ධතියක් වන අතර, විදේශ රටක් ඊට අනුකූලව ක්‍රියා කරන්නේද නැතිද යන්න වොෂිංටනය විසින්ම අත්තනෝමතික ලෙස තීරණය කරයි. මෙම රීතීන් නිර්මාණය කර ඇත්තේ සෙසු රටවල් දඩමීමා කරගනිමින් එක්සත් ජනපද අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.
2025 මැයි වන විට ගාසා තීරයේ මානුෂවාදි ව්‍යසනය පෙර නොවූ-විරූ මට්ටමකට ළඟා වී තිබේ. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 50,000කට අධික පිරිසක් මරණයට පත් වූහ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය ළමයින් දහස් ගණනක්ද ඇතුළුව සාමාන්‍ය වැසියෝ වෙති. එහෙත්, එක්සත් ජනපදය සහ එහි බටහිර සහචරයෝ ඊනියා රීතීන් මත පදනම් වූ අන්තර්ජාතික පර්යාය තවදුරටත් උත්කර්ෂයට නංවමින් සිටිති.
සම්බාධක, මැදිහත් වීම් සහ ලොව සෙසු රටවලට එල්ල කෙරෙන රාජ්‍යතාන්ත්‍රික පීඩනය සාධාරණීකරණය කිරීම සඳහා බොහෝ විට ගණිකා වෘත්තියේ යොදවනු ලබන මෙම යෙදුම, දශක ගණනාවක් තිස්සේ පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වයට අදාළව කිසිදු ලෙසකින්වත් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. බටහිර රටවල් කොන්දේසි විරහිතව සහාය දක්වන ඊශ්‍රායලය විසින් සිදු කරන ලද පලස්තීන ප්‍රදේශ අත්පත් කරගැනීම, වර්ණභේදවාදි ප්‍රතිපත්ති සහ යළි යළිත් සිදු කරන යුද අපරාධ, මෙම ඊනියා අන්තර්ජාතික පර්යාය තුළ ඇති ගැඹුරු කුහකකමක් හෙළිදරවු කරයි.
ඊශ්‍රායලය ඉදිරි දින දෙක තුළ එහි මානුෂීය ආධාර අවහිරය ඉවත් කර, ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා විශාල ප්‍රමාණයක් ඇතුළු වීමට ඉඩ නොදුන හොත් ගාසා තීරයේ සිය ගණනක් ළදරුවන් මරණයට පත් වීමේ අවදානමට ලක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂවාදි ප්‍රධානියා ඉකුත් අඟහරුවාදා අනතුරු ඇඟවීය.
“අපට ඔවුන් වෙත ළඟා විය නොහැකි නම් ඉදිරි පැය 48 තුළ ළදරුවන් 14,000ක් මිය යනු ඇත,” එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් ටොම් ෆ්ලෙචර් බීබීසීය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය.
රීති මත පදනම් වූ අන්තර්ජාතික පර්යාය අදාළ වනුයේ බටහිර රටවල විරුද්ධවාදීන්ට මිස, එහි සහචරයන්ට නොවන බැව් සක්සුදක් සේ පැහැදිලි ය.
ජනමතය හැඩගැස්වීමෙහිලා බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍යයේ කාර්යභාරයද ඒ හා සමානව දෙබිඩි හැසිරීම් සහගතය. පලස්තීන ජනතාව ඊශ්‍රායලයේ සැහැසිකම්වලට දක්වන ප්‍රතිරෝධය ‘ත්‍රස්තවාදය’ ලෙස ලේබල් කර ඇති අතර, ඊශ්‍රායල ආක්‍රමණය ‘ආත්මාරක්ෂාව’ ලෙස හඳුන්වයි. ඒකපාර්ශ්විකව සිදු කෙරෙන ඊශ්‍රායල යුද ප්‍රහාරවල යථාර්ථය වසන් කිරීම සඳහා ‘ගැටුම්’ වැනි යෙදුම් නිරතුරුව භාවිත කරනු දක්නට ලැබේ. පලස්තීනුවන් අමානුෂීයකරණය සහ ඔවුන්ගේ දුක් වේදනා මාධ්‍ය වාර්තාකරණය තුළින් අකා මකා දැමීම මේ සදාචාරාත්මක ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මායාව පවත්වා ගැනීමේ ප්‍රධාන සංරචකයකි. මේ ආඛ්‍යාණයට අභියෝග කරන මාධ්‍ය භාවිතය බොහෝ විට එක්කෝ නිහඬ කරනු ලබයි; නැති නම් වාරණය කරනු ලබයි; එසේත් නැති නම් පක්ෂාග්‍රාහි බැව් පවසමින් බැහැර කරනු ලබයි.
ගාසා තීරයේ යුද ගැටුම තවදුරටත් මානුෂීය අර්බුදයක් පමණක් නොවේ. එය වර්තමානයේ අප ජීවත්වන ගෝලීය පද්ධතියේ සදාචාරාත්මක බංකොලොත්භාවය පිළිබිඹු කරන කැඩපතකි. කලක් බටහිර රටවල් විසින්ම ප්‍රවර්ධනය කරන ලද රීතීන් මත පදනම් වූ ලෝක පර්යාය, ඔවුන්ගේම ප්‍රතිවිරෝධතාවල බරට බිඳවැටෙමින් පවතී.
‘නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ’ යැයි සිංහල කියමනක් තිබේ. අන්තර්ජාතික නීතිය තෝරාබේරාගෙන ක්‍රියාත්මක කරන විට, ඇතැම් ජීවිතවලට වැඩි ලංසුවකුත්, තවත් ජීවිතවලට අඩු වටිනාකමකුත් හිමි වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අනුව, රීතීන් මත පදනම් වූ අන්තර්ජාතික පර්යාය තුළ අප දකින්නේ පර්යායකට වඩා අධිපතිවාදි ස්වරූපයකි. පලස්තීන ජනතාවට සාධාරණත්වය ඉටු කරලීම දේශපාලන කැමැත්ත අකමැත්ත පිළිබඳ ගැටලුවක් නොව, ගෝලීය සදාචාරාත්මක අවශ්‍යතාවකි. බටහිර ප්‍රජාවගේ සහ බටහිර මාධ්‍යයේ මේ දෙබිඩි බවට එරෙහිව අප නැඟී නොසිටින්නේ නම්, සාමය යන්න හුදෙක් පලස්තීන ජනතාවට පමණක් නොව, පොදුවේ මානව වර්ගයාටම හුදු සිහිනයක් පමණක් වනු ඇත.
විජය දිසානායක