Home » ආසියාව හෙල්ලූ එකම පවුලේ යකඩ කෙල්ලෝ

ආසියාව හෙල්ලූ එකම පවුලේ යකඩ කෙල්ලෝ

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

ගෙවී ගිය සති දෙකක පමණ කාලයක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රටවල් 24ක සහභාගිත්වයෙන් පැවති වයස 22න් පහළ සහ යොවුන් ආසියානු බොක්සිං ශූරතාවලිය පසුගිය සිකුරාදා (23) නිමාවට පත් විය.

එහෙත් අද අපේ මාතෘකාව වන්නේ ඒ තරගාවලියෙන් අපට උරුම වූ ජය හෝ පරාජයන් ගැන නොවෙයි. ඊට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනා අතර සිටි විශේෂ කාන්තා චරිත තුනක් ගැනයි. තවත් විදියකින් කිව හොත් එකම පවුලේ යකඩ කෙල්ලන් තිදෙනකු සම්බන්ධවයි. මේ කතාවේ තිබෙන තවත් සුවිශේෂත්වයක් තමයි මේ ක්‍රීඩිකාවො තුන්දෙනාගෙන් දෙදෙනෙක් නිවුන් සොහොයුරියන් වීම.

නමින් කිවුවොත් වැඩිමහල් නිවුන් සහෝදරියන් දෙදෙනාගෙන් අක්කා සචිනි රවින්දි ප්‍රනාන්දු, නංගි යෂිනි රවින්දි ප්‍රනාන්දු. බාලයා හිරුණි එරන්දිකා ප්‍රනාන්දු. වයස් පිළිවෙළ අනුව එහෙම අක්කාගෙ සිට නංගිට පහළට ගියාට බොක්සිං වළල්ලේ සටන් කරද්දි මේ තුන්දෙනාගෙ බර පන්ති සකස් කරගෙන තිබෙන්නෙ ඊට විරුද්ධ දිශාවටයි කිවුවොත් පාඨක ඔබත් පුදුම වෙයි.

ඒ කියන්නෙ බාලයා නංගි, හිරුණි තරග කරන්නේ කි.ග්‍රෑ. 54 බර පන්තිය යටතේයි. දෙවැනියා, යෂිනි තරග කරන්නේ කි.ග්‍රෑ. 52 බර පන්තිය යටතේ. ඊටත් වඩා කිලෝ 2ක් අඩුවෙන් තමයි අක්කා, සචිනි තරග කරන්නෙ. ඒ කියන්නෙ කි.ග්‍රෑ. 50 බර පන්තිය යටතේ.

මේ විස්තර කෙසේ වෙතත් අපේ සමාජයේ අසන්නට නොලැබෙන තරම් දුර්ලබ වූ මේ ක්‍රීඩිකාවන් ගැන සැල වූ විගස ඔවුන් ගැන විමසුවේ ඔවුන්ගේ පුහුණුකරු අමිල අරවින්දගෙනි. ඒ අනුව ඊට පසු දිනම පෙරවරුවේ ක්‍රීඩිකාවන් තිදෙනා නවාතැන් ගෙන සිටි හෝටලයටම ගොස් මේ ලියුම්කරුට ඔවුන් හමුවන්නට අමිල විසින් අවස්ථාව සලසා දෙන ලදි. ඇයි වෙන ක්‍රීඩාවකට නොගොස් බොක්සිං ක්‍රීඩාවම තෝරාගත්තෙ කියන මුල්ම ප්‍රශ්නය දැම්මෙ සචිනිටයි:

“අපි ඉස්කෝලෙ ගියේ කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයට. ක්‍රීඩාවලට අලුත් මැඩම් කෙනෙක් ආවට පස්සෙ මේ ක්‍රීඩාවට ආශා හිතුණා. ගෙදර කවුරුවත් බොක්සිං ක්‍රීඩාව කරන්නෙ නැහැ. පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි අපි තුන්දෙනයි.”

සචිනිගෙන් පසුව ඊළඟට අදහස් විමසුවේ දෙවැන්නා යෂිනිගෙනි: “අපි මුලින්ම කැඩෙට් කරමින් හිටියේ. ඊට පස්සෙ 2019 දී රශ්මිකා ඉලංගරත්න මැඩම් ක්‍රීඩා ගුරුතුමිය විදියට ඉස්කෝලෙට ආවාට පසුව තමයි බොක්සිං ක්‍රීඩාවට ආශා හිතුනෙ.” එම අදහස් දැක්වීමට සචිනිත් එක් වුණා.

“අපේ පළවෙනි මීට් එක වුණේ මාතර තිබුණ කනිෂ්ඨ බොක්සිං තරගාවලියක්. අපේ ඉස්කොලෙන් හතරදෙනෙක් ගියා. ඒකෙ රන් පදක්කම මට. මෙයා (යෂිනි) රිදී පදක්කම ගත්තා. 2019 ම තමයි නංගිත් බොක්සිං පටන් ගත්තෙ. ඒත් 2020 කොරොනා උවදුරත් සමඟ අපිට තරග අවස්ථා නැති වුණා. ඊට පස්සෙ 2022 එල්වී ජයවීර මිට් එකේ නංගි රිදී පදක්කම දිනා ගත්තා. ඊට පස්සෙ අපි සෙල්ලම් කරේ 2023 ස්ටබ් ෂීල්ඩ්. අපි ඉස්කෝලෙන් හතරදෙනෙක් සෙල්ලම් කරල රන් පදක්කම් දිනල කප් එක ගත්තා. ඒ අවුරුද්දෙම පාසැල් කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියෙ කප් එක ගත්තෙත් අපේ ඉස්කෝලෙ.

තම පාසලේ බොක්සිං ක්‍රීඩිකාවන් 20ක් සිටින බව කී අක්ක-නගෝ තිදෙනා,

“අපේ ඉස්කෝලෙ මැඩම් ජාතික මට්ටමෙන් බොක්සිං කරපු ක්‍රීඩිකාවක්. විදෙස් තරගාවලිවලට පවා සහභාගී වෙලා තියෙනවා. මැඩම් තමයි මේ බොක්සිං ක්‍රීඩාව අපේ ඔළුවට දැම්මෙ. ඊට කලින් ජිමිනාස්ටික්, කරාතේ වගේ ස්පෝට්ස් මීට් එකට කරන්න පුළුවන් ඔක්කොම වගේ ක්‍රීඩා කළා. මේ ක්‍රීඩාව තෝරා ගන්න කොට යාළුවො මොනවත් කිවුවෙ නැහැ අපි කොහොමත් ඉස්කෝලෙ දඟලල කරල ඉන්න කට්ටිය නේ.”

ගෙදරින් ලැබෙන සහයෝගය පිළිබඳව ඇසූ විට: “අපේ අම්මා-තාත්තා ක්‍රීඩකයො නෙවෙයි ඒත් ක්‍රීඩාවට ළැදියි. ඒ දෙන්නම අපිට උපරිමයෙන්ම උදව් කරනවා. දිරිගන්වනවා.” යැයි කී ඔවුන් තිදෙනා,

“ අපේ පළවෙනි අන්තර්ජාතික තරගාවලිය වෙන්න තිබුණෙ මේ අවුරුද්දෙ ලෝක ශූරතා බොක්සිං තරගාවලිය. සර්බියාවට වීසා ගන්න බැරි වුණ නිසා යන්න බැරි වුණා. මේක තමයි අපේ පළමු අන්තර්ජාතික තරගාවලිය. මේක වෙන රටක තිබ්බා නම් අපේ වැඩි පිරිසකට සහභාගි වෙන්න ලැබෙන්නෙ නැහැ. ලංකාවෙ තිබ්බ එක අපට හොඳ අවස්ථාවක්. අපිට දැන් අන්තර්ජාතික මට්ටමේ පුහුණුවක් අවශ්‍ය නිසා හොරණ විද්‍යාරතන ක්ලබ් එකට සම්බන්ධ වෙලා ක්‍රීඩා කරනවා. අයියා කරාතේ ක්‍රීඩාව කළා. එයා දැන් යුද හමුදාවෙ සේවය කරන්නෙ,” යනුවෙන්ද පැවසීය.

ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂතා පෙන්වන සචිනි දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා උපාධිය හදාරන පළමු වසරේ ශිෂ්‍යාවක්. දෙවැනියා යෂිනි උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයට ඇතුළත් වීමට සූදානමින් සිටිනවා. නංගි හිරුණි 12 වසරේ ඉගෙනුම ලබනවා.මේ තරගාවලියේ දක්ෂතා ගැන කතා කළොත් මේ තිදෙනාම අවසන් පූර්ව වටයන්ට පැමිණ හොඳ සටනක් දුන්නත් අවසානයේදී ලෝකඩ පදක්කම්වලින් සෑහීමකට පත් වන්නට සිදු වුණා.

මේ බොක්සිං ක්‍රීඩිකාවන්

තුන්දෙනාටම

ජානවලින්ම එන

හැකියාවක් තිබෙනවා

– පුහුණුකරු අමිල අරවින්ද

.

නිමා වූ ආසියානු බොක්සිං තරගාවලියේ ජාතික පුහුණුකරුවා ලෙසත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන අමිල අරවින්ද කියා සිටියේ දැනට අවුරුදු එකහමාරකට පමණ පෙර ජාතික සංචිතයට එක් වූ මේ ක්‍රීඩිකාවන් දෙදෙනා අතුරින් සචිනි හා යෂිනි දෙදෙනා ක්ලිෆර්ඩ් තුසලාන හා ජාතික ශූරතා යන බොක්සිං තරගාවලියන්හි ශූරිය හා අනුශූරිය සම්මාන දෙකම දිනාගත් බවයි.

“මෙයාලා මගේ පුහුණුව යටතට ආවට පසුව ඔවුන් ක්‍රීඩා කරන බර පන්ති වෙනස් කළේ මමයි. මේ ළමයි තුන්දෙනාටම ඔවුන්ගේ ජානවලින්ම එන දක්ෂතාවන් පිහිටල තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කවද හරි දක්ෂ තැනකට එනවා,” යැයි තරු තුනේ සුදුසුකම් ලත් පුහුණුකරු අමිල පැවසීය.

lසටහන – සිරිනාම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division