Home » ඔලිම්පික් කමිටුව දූෂිතයන්ගෙන් බේරාගන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය අවශ්‍යමයි

ඔලිම්පික් කමිටුව දූෂිතයන්ගෙන් බේරාගන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය අවශ්‍යමයි

සභාපති සුරේෂ් සුබ්‍රමනියම්

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ස්ථාපිත අන්තර්ජාතික මට්ටමේ ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතනය ලෙස සැලකෙන ජාතික ඔලිම්පික් කමිටුව (එන්ඕසී) අලුත්වැඩියා කොට යළි ශක්තිමත් කිරීමට පෙර එම ආයතනය පිරිසුදු කළ යුතුව ඇති බැවින් අද වන විට එම පිරිසුදු කිරීමේ කර්තව්‍යයට අතගසා ඇත්තේ වත්මන් එන්ඕසී සභාපතිවරයාය. එන්ඕසීය පිරිසුදු කළ යුතුයැයි සභාපතිවරයා විසින් කරන ලද යෝජනාවට එම විධායක සභාවේ වැඩිදෙනාගේ කැමැත්ත මුලදී නොලැබුණද එම ආයතනය වැඩිපුරම අපිරිසුදු කළ පුද්ගලයා හෙවත් ලේකම්වරයා ඉවත් කිරීමෙන් පසුව දැන් සභාපතිවරයාට බහුතරයකගේ ආශීර්වාදය ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා එන්ඕසී ඉතිහාසයේ ප්‍රධාන ලේකම්වරයකු ඉවත් කරන්නට එහි සභාපතිවරයකු පොල්ල අතට ගත් පළමු අවස්ථාව ලෙසද එම සිදුවීම ඉතිහාසයට එක් වනු ඇත.

ඒ අනුව එඩිතරව මෙහෙයවූ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත රටේ ක්‍රීඩාවටම යහපතක් වූ බව විශ්වාස කරන නිසාම අපි ක්‍රීඩාවට ළැදි කාගෙ-කාගෙත් දැනගැනීම සඳහා එන්ඕසී සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හමු වී මේ කතාවේ සියලු තොරතුරු විපරම් කර බැලුවෙමු.

“2018 ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදි ඔබ සභාපති තනතුරට යෝජනා කරලා පත් කරගත්තෙ ඔබත් එක්කම මෙතෙක් කාලයක් හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා නේද? එහෙම යාළුකමට ඉඳලා, ඇයි මෙහෙම දෙන්නා ඇද වුණේ?” යන පැනය මුලින්ම සුබුමනියම්ට යොමු කළෙමි.

“ඔව්, ඇත්ත. එයාගෙ ආශීර්වාදයෙන් ආවෙ. එහෙත් මම කවදාවත් යාළුකම්, හිතවත්කම් මත රාජකාරි කරන කෙනෙක් නොවෙයි. සභාපතිකමට මම ගෙනාව නම්, ඒගොල්ල හිතන්නෙ එයාලට මම උදවු කරලා, එයාලා කියන හැම දේටම හරි කියන්න ඕනෑ කියලයි. එහෙම බැහැ. ඒ ගොල්ල වැරැද්දක්, වංචාවක් කරනවා නම් මම ඒක කරන්න දෙන්නෙ නැහැ. මම ටෙනිස් සංගමයේ සහකාර ලේකම් වෙලා ඉන්න කොටත් මගේ වයස අවුරුදු 35ක් විතර කාලෙ, මේ වගේම දූෂිත වැඩවලට එරෙහි වුණා. මම එදත් සටන් කළේ මගේ තාත්තාටත් වඩා වයසක මිනිස්සු එක්කයි.

“ඒ කාලෙ එතැන හිටපු පරණ නිලධාරීන් යෝජනාවලියක් සකස් කරලා තිබුණා ටෙනිස් සංගම් පිටියෙ මැද ප්‍රේක්ෂකාගාරයක් හදන්න. මේ යෝජනාවලිය එවකට ක්‍රීඩා ඇමැති එස්.බී. දිසානායකට භාර දීල තිබුණා. එස්බී ඇමැතිතුමත් ඒකට කැමති වෙලා, ඒ ප්‍රොජෙක්ට් එක කරන්න සල්ලි දෙන්නම් කියලා. එතකොට ඒ එක්කම අපේ ටෙනිස් එකේ කට්ටිය එස්බීට කියලා තිබුණා මෙතැන ‘සුරේෂ් කියල මිනිහෙක් ඉන්නවා, ඌත් එක්ක එක වැඩක් වත් කරන්න බැහැ,’ කියල. ඇමැති මාව දැකලවත් නැහැ. මට අපේ කට්ටිය කිවුවා ‘මීටිමක් තියෙනවා එස්බී එක්ක ලබන සඳුදා, ඔක්කොටම එන්න කිවුවා,’ කියල. මම එතකොට සහකාර ලේකම්. මේ 1997/98 වගේ කාලෙක. මම දැනගත්තා වැඩේ මේක තමයි කියල. මම ගියා සඳුදා මීටිමට. මම එස්බී මහත්තයට කිවුවා, ‘ඔය ටෙනිස් සංගම් පිටියෙ තියෙන්නෙ අක්කර 5යි. මේ අපේ අයගේ යෝජනාව අනුව එකේ කෝට් එකක් හදලා නරඹන්නන්ට ලොකු ප්‍රේක්ෂකාගාරයක් මැද ගැහැවුවාම තිබුණ කෝට්ස් 40ක් විතර එකකට අඩු වෙනවා. අනෙක: මම කිවුවා වැඩිම වුණොත් ටෙනිස් බලන්න එන්නෙ 100 – 200යි. මෙයාල මේ සල්ලි හොයන වැඩක් කරන්න හදන්නෙ. සර්, මේ මහත්වරු කවදාවත් ටෙනිස් ගහලා නැහැ. මම මේ රටට ටෙනිස් ගහපු මිනිහෙක්, කැප්ටන් කරපු මිනිහෙක්. මෙයාල කොහොමද මට උගන්වන්න එන්නෙ?,’ කියලා මම කිවුව ගමන් එස්බී ඇමැතිට තේරුණා මේ ගොල්ල එන්නෙ වෙන ගේමකට කියල. ඒ මොහොතෙම ඇමැති හොඳ සිංහලෙන්ම කියලා අපේ කට්ටිය එළවලාම දැම්මා. එදායින් පස්සෙ තමයි මම ටෙනිස් එකේ පාලනය මගේ අතට ගත්තෙ. 1999 – 2001 උප සභාපති විදිහට හිටියා. ඊට පස්සෙ 2002-2007 කාලෙ සභාපති තනතුරෙත් කටයුතු කළා. අද වන තුරු කිසි ප්‍රශ්නයක් නැහැ. 2006 සිට 2015 දක්වා මම ආසියානු ටෙනිස් සංගමයෙත් ප්‍රධාන ලේකම්වරයා විදිහටත් ගොඩාක් දේවල් කළා.

“2018දි මම එන්ඕසීයට යනකොට අවුරුදු 9ක් තිස්සෙම එහි විගණනයක් කරලා නෑ; වාර්ෂික මහා සභා රැස්වීම් තියලත් නැහැ. ඉතිං කොහොමද මේක දුවන්නෙ? මම සම්බන්ධ වුණාට පස්සෙ තමයි දැනගත්තෙ එතැන කුණු ගොඩක් කියල. එතකොට විධායක සභාවෙත් වැඩි පිරිස එයාලත් එක්ක හිටියෙ. මම ඡන්දෙන් දිනලා 2018දි එතැනට ගියාම මම සාමාජිකත්වයට පොරොන්දු වුණා, වෙලා තිබුණ අඩුපාඩු හදලා දෙන්නම් කියලා. මුලින්ම කළේ පරණ විගණන වාර්තා නිසි පරිදි සකස් කිරීමයි. 2022-23 වෙන කොට තමයි පරණ වර්ෂවලට අදාළ විගණකාධිපතිගෙ වාර්තා ආවෙ. ඒ වගේ ප්‍රශ්න තිබෙන බව මට තේරුණා. ඒවා ගැන ප්‍රශ්න කළත් ඒවට ලේකම් හැටියට මැක්ස්වෙල් කුමක් හෝ උත්තරයක් දීලා ෂේප් වුණා. එයාට මීඩියා එකෙන් ගහන කොට පවා මම එයාව ආරක්ෂා කළා. මම එහෙම කළේ මැක්ස්වෙල්ව විශ්වාස කළ නිසයි.”

ඔබ විසින් විධායක සභාව තුළ මෑතකදී කරන ලද පත්වීම් එන්ඕසී ව්‍යවස්ථාවට පටහැණි බව සාමාජිකත්වයේ විවේචනයට ලක් වී තිබෙනවා නේද?

“ඔව්. 2018 එන්ඕසී ව්‍යවස්ථාවට අනුව නම් එසේ නව පත් කිරීම් කළ හැක්කේ විශේෂ මහා සභා රැස්වීමකදී හෝ වාර්ෂික මහා සභා රැස්වීමකදී පමණයි. එහෙත් 2019, 2020 හා 2021 වසරවලදී ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (ඕසීඒ) සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) ව්‍යවස්ථාවන්ට අනුගත වෙමින් එන්ඕසී ව්‍යවස්ථාවේ කරන ලද සංශෝධනයන්ට අනුව දැන් සභාපතිවරයාට දී ඇති පුළුල් බලතල අනුව එවැනි පත්වීම් කරන්න මට පුළුවන්. ඒ බව යළිත් තහවුරු කරලා මේ මාසෙ 8 දා අයිඕසීයෙන් මට දන්වලා තිබෙනවා. අපේ විධායක සභාවෙ බොහෝ දෙනෙක් දඟලන්නේ එන්ඕසී ව්‍යවස්ථාව වත් හරියට කියවල නොවෙයි. දැක්කනේ පහුගිය දවස්වල මාධ්‍ය සාකච්ඡා තියාගෙන දෙන්නෙක් තුන්දෙනෙක් නටපු නාඩගම? ලෝයර්ස්ල වුණාට වැඩක් නැහැ ව්‍යවස්ථාවක් හරියට කියවාගන්න බැරි නම්. ඔය සමහරුන් හරි නම් අපේ විධායක සභාවට එන්නත් සුදුසු අය නොවෙයි.

“මෙයාල කරපු සෙල්ලම් නිසා අයිඕසීය 2023දි කිවුවා එන්ඕසී ස්වාධීන ආචාරධර්ම කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට ඒක නොකර, මැක්ස්වෙල් කළේ බහුතර බලය පාවිච්චි කරලා හිටපු ආචාරධර්ම කමිටුව මාරු කළා. අයිඕසීයට හොඳටම තරහ ගියා ඒ වැඩේට. ඒ දවස්වලම පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී කෙනෙක් මේ ප්‍රශ්න ඇද්දනේ. ඒ සියලු විස්තරත් මට ගොඩාක් දෙනෙක් එවුවා. ඒක විතරක් නෙවෙයි, ඒ මන්ත්‍රීවරයාගෙ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරලා අයිඕසී එකටත් යවලා තිබුණා. කවුද යැවුවෙ කියලා දන්නෙ නැහැ. අයිඕසී මට එවුවා. මම ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ඉල්ලාගත්තා. එතකොට අයිඕසී දැනගත්තා, මම ඕක හංගන මිනිහෙක් නෙවෙයි කියල‍. හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දුට ලියලා මම කිවුවා ඒ ගැන විමර්ශනයක් කරන්න කියල.”

තමාගේ ඉල්ලීම අනුව ඇමැති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවත්, ඒ කමිටු වාර්තාව මඟින් හිටපු ලේකම් මැකස්වෙල් කර තිබූ වැරදි සියල්ල හෙළිදරවු කර තිබූ බවත් පැවසූ සභාපති සුබ්‍රමනියම්, ඒ වාර්තාව සඟවා කල්මැරුවත් 2024 පෙබරවාරියේදී එය එළියට දැමීමට සිදු වූ බවද කීය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,

“ඒක අනුව මට නිහඬව ඉන්න බැහැනේ. මැක්ස්වෙල් අයිඕසී එක නොමඟ යවන්න උත්සාහ කළා. එහෙම එයාට චෝදනා කළේ දේශපාලන බලපෑම් අනුවයි කියල එයා අයිඔසීයට ලිවුවා. මම අයිඕසීයට කිවුවා ඊට අදාළ පාර්ලිමේන්තු කතාවෙ වීඩීයෝ එක එවුවෙත් ඔයාලමනේ. මම ඉන්නකල් එහෙම දේශපාලන බලපෑම් කරන්න දෙන්නෙ නෑ කියලා. ඒ ගොල්ල දන්නවා මැක්ස්වෙල් කවුද කියලා.

“මම අයිඕසීයට ලිවුවා අර ඇමැතිගෙ තිපුද්ගල කමිටු වාර්තාව විමර්ශනය සඳහා දැනටම එන්ඕසී ආචාරධර්ම කමිටුවට දීලා තියෙන්න කියලා. එතකොට අයිඕසීය ඒක අනුමත කළා, ඒක තමයි හරි කියල. 2024 ජූලි මාසෙ තමයි මම ඒ වාර්තාව අපේ ආචාරධර්ම කමිටුවට දුන්නෙ. මම ඒ බව අපේ විධායක කමිටුවටත් දැන්වූවා. ආචාරධර්ම කමිටුවේ වාර්තාව අනුව මැක්ස්වෙල්ට තාවකාලික තහනමක් පනවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, රජයේ ආයතනයකින් (සීඅයිඩී වැනි) වැඩිදුර විමර්ශනයකුත් කළ යුතුයැයි නිර්දේශ කරලා තිබුණ. මම ඇවිල්ලා ඒ වාර්තාව එන්ඕසී විධායක සභාවෙ සභාගත කළාම, නැහැ නැහැ ඕව පිළිගන්න බැහැ කියලා විරුද්ධ වෙලා මැක්ස්වෙල් කට්ටියත් එක්ක එකතු වෙලා අයිඕසීයට ලිවුවා. අයිඕසීය කිවුවා වහාම එන්ඕසී ආචාරධර්ම කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. මමත් අයිඕසීයට කිවුවා මේ විධායක කමිටුවත් එක්ක මට වැඩ කරන්න බැහැ දූෂිතයන්ගෙන් පිරුණ තැනක් කියල.

ඊට පසුව අයිඕසී හදිසි රැස්වීමක් තියලා අපේ එන්ඕසීයට මුදල් දීම අත්හිටෙවුවා. ඒ අනුව මෙහේ ක්‍රීඩා ඇමැති විසිනුත් මැක්ස්වෙල්ගෙ ලේකම්කමට තහනමක් දැම්මෙ නැත් නම් අපට සම්පූර්ණ තහනමක් ඒමේ අවදානමකුත් තිබුණා. මැක්ස්වෙල් එකක් වත් නීතියට කරල නැහැ තනිකර බොරුමයි කරල තියෙන්නෙ.”

ලේකම්වරයා කරපු වැරදිවල හැටියට එන්ඕසීයෙන් වසර 5ක් තහනම් කරලා දීපු දඬුවමෙන් පසු තවත් දඬුවම් ලැබෙයි කියලද හිතන්නෙ?

“නැහැ. එයාට ලැබෙන්න තියෙන දඬුවම් ඉවර නැහැ. ඔහුට විරුද්ධව උසාවියෙ තවත් නඩු විභාග වෙමින් තියනවානෙ. අනෙක ඕසීඒ හා අයිඕසී පැත්තෙන් මෙයාට විරුද්ධව කරන්න තියෙන විමර්ශන තවම ඉවර නැහැ. බලන්න සල්ලි දෙන එක නැවැත්තුවෙ පහුගිය දෙසැම්බර්. තවම ඒ තහනම අයින් කළේ නැහැ. ඒත් අපේ පැත්තෙන් ඒකට කරන්න ඕනැ දේවල් ඔක්කොම කරල ඉවරයි. මම ඒ බව පහුගිය ඕසීඒ රැස්වීමෙදි මතක් කළා. එයාලගෙ ප්‍රතිචාරය වුණේ, තවත් වෝහාරික විගණන වාර්තාවක් අවශ්‍යයි කිවුවා. අපි දැන් එම වෝහාරික විගණන වාර්තාව සකස් කරගෙන යනවා.”

හිටපු ලේකම්ගෙ ප්‍රශ්නය එහෙමයි. අපේ රටේ ප්‍රධානම ක්‍රීඩා පරිපාලන ආයතනයක් විදිහට එන්ඕසීයට තිබෙන බලපෑම මොන වගේද?

“අවුරුදු 20ක් විතර අපේ ක්‍රීඩාව විනාශ කළේ මැක්ස්වෙල් ද සිල්වා, චන්දන ලියනගේ, නිශාන්ත පියසේන. මේ තුන්දෙනා ප්‍රධානයි. ඊට පිටිපස්සෙන් ගාමිණි ජයසිංහ, සුරංජිත් ප්‍රේමදාස වගේ කට්ටිය ඉඳලා ඒ ගොල්ලන්ව තල්ලු කළා. මාසෙකට ඉස්සර වෙලා මට වාර්තාවක් ආවා මේ කිවුව විධායක සභිකයො පස්දෙනා සංචාර ගිහිල්ලා රුපියල් මිලියන 17ක් අරගෙන තියෙනවා දෛනික දීමනා කියලා. අවුරුදු 3ක් විතර කාලෙකට. අපි එක ක්‍රීඩකයකුටවත් ක්‍රීඩා සංගමයකටවත් ඔතරම් සල්ලි දීලා නැහැ. මේ ළඟදී නිෂාන්ත පියසේන කියනවා එයාවත් දන්නෙ නැතුව එන්ඕසී චෙක්ස් ඇවිල්ල තියෙනවලු එයාගෙ බැංකු ගිණුමට. කොහොමද එහෙම වෙන්නේ? දැන් එයා මාට්ටු වෙන හින්දා එහෙම කියනවා. හරි ආවා කියමුකො. ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තෙ. මෙහෙම තමයි ගේම් ගැහැවුවෙ. මොඩර්න් පෙන්ටතලන්, ෆෙන්සිං, ඩාන්ස්පෝට්, ටෙක්බෝල් ඒවත් එක්ක තමයි එයාලා ගේම් ගහන්නෙ.”

“ඔය කියන පුද්ගලයන් එන්ඕසී තනතුරු දරන ගමන් වෙනත් ක්‍රීඩා සංගමිවලත් තනතුරු දැරූ බවට ඔප්පු වුණා. ඒ ගැන ඔබලා ගත්ත පියවරයන් මොනවාද?”

“ඒකට විරුද්ධව මට කරන්න දෙයක් නැහැ. ඒක ක්‍රීඩා ඇමැතිවරයා කරන්න ඕනෑ. එක හොරකුටවත් දූෂිතයකුටවත් ක්‍රීඩා පරිපාලන සංගමයකට එන්න බැරි වෙන්න දැන් ඇමැති තීරණයක් ගන්න ඕන. මට පුළුවන් සීමාවෙ මම වැඩ කරගෙන යනවා. හිටපු ලේකම් ඉවත් කරලා දැන් එන්ඕසීයට නව ලේකම්වරයෙක් පත්කළා. හිටපු සහකාර ලේකම්වරයත් චන්දන ලියනගේත් තාවකාලික තහනමකට ලක් කළා.

එන්ඕසී විධායක සභාවට බොහෝ දෙනෙක් රිංගුවෙ ඔවුන්ගේ සාක්කුව බලාගන්න මිසක ක්‍රීඩාව බලාගැනීමට නොවේ,” යැයි පැවැසූ සභාපතිවරයා,

“එන්ඕසීයෙ ඉන්න පරණ අයගේ තරාතිරම මට වැඩක් නැහැ. එයාල වැරදි වැඩ කරනවා නම් අයින් කරලා ඒ තැන්වලට අලුත් අය පත් කරලා ආයතනය හරියට දුවවන්නයි මට ඕනැ. රටේ ක්‍රීඩාවෙ අනාගතය ගැන කතා කළොත්: දැන් තමයි ක්‍රීඩාව ඉහළට ඔසවන්න පුළුවන්. ජනගහනය අඩු රටවල් පවා ඔලිම්පික් මෙඩ්ල් ගන්නවා. අපේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවො ඉන්නවා. එහෙම නම් අපිට බැරි ඇයි?”

දැන් වසර 5ක් යන කල් හිටපු ලේකම්ට තහනම්. එවැනි පුද්ගලයන් මේ වගේ තනතුරුවලට යළි නොඑන්න ගත යුතු පියවර ගැන සඳහන් කරමින් අදහස් දැක්වූ සභාපති සුබ්‍රමනියම්:

“ඒවා වළක්වන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තදබල නීති පනවන්න ඕනෑ. දැන් බලන්න දොළවත්ත කියන පුද්ගලයා කරපු ක්‍රීඩාවක් නෑ. හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ එයාට ජිම්නාස්ටික් සභාපති වෙන්න ඉඩ දුන්නා. ඔබ හිතනවද ඔහු ක්‍රීඩාවට ආශ නිසා සභාපතිකමට ආවා කියල. නෑ. ඒ ගොල්ල වෙන දේවල්වලට ආවෙ. ක්‍රීඩා නීතියක් තියෙනවා නම්, ඒක හරියට ක්‍රියාත්මක කරන්න ඕනැ. එක එක්කෙනාගෙ මුහුණ බලල නීති වෙනස් කරන්න බැහැ. එන්ඕසීයට එන්නෙ අනෙක් ක්‍රීඩා පරිපාලන සංගම් හරහා නෙ. මම ඇමැතිතුමාට යෝජනාවක් කළා මේ ක්‍රීඩා සංගම් තනතුරුවලට එන අයගේ සුදුසුකම් සොයා බලා නිර්දේශ කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් දාන්න කියලා ඇමැතිතුමත් මගේ යෝජනාව ගැන සතුට පළ කළා.”

ලංකාවෙ ක්‍රීඩාව සම්බන්ධයෙන් එන්ඕසී එක ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්ද?

“ඔව් මීට පසුව එවැනි වැරදි කරන පුද්ගලයන්ට ඉඩක් නැති වෙන්න අපි එන්ඕසී ව්‍යවස්ථාවත් වෙනස් කරනවා. එම සංශෝධිත ව්‍යවස්ථාව මේ වසර අගදී මහා සභාව කැඳවල අනුමත කරගන්නවා. මම ගෙදර යන්නෙ මැක්ස්වෙල් වගේ මිනිස්සුන්ට එන්ඕසී එක ඇතුළට එන්න ඉඩ තියලා නොවෙයි. මට ඒ වැඩේ කරන්න ක්‍රීඩා අමාත්‍යායංශයේ උදවු ඕනෑ. හේතුව, එවැනි පුද්ගලයන් ඇතුළට එන්නෙ අපේ සාමාජිකත්වය ඇති අනෙක් ක්‍රීඩා හරහා නෙ.

“මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ: දැන් හරි මේ තැන්වලින් හොරුන්ව එළවලා දැම්මොත් අපට ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. මේකෙන් අපි දෙන්න ඕනෑ ලොකුම පාඩම තමයි: ‘හොරකම් කළොත් අනාගතයක් නැහැ’ කියන එක. අපේ ක්‍රීඩා කරන ළමයින්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ හැම සටනක්ම අපි කරන්නෙ. අපට ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන්. බලන්න අපේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා. මෑතක තිබුණ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියකදී අපේ ළමයි රන් පදක්කමයි තව රිදී ලෝකඩ පදක්කම් දිනුවා. අපේ කනිෂ්ඨ මට්ටම ඉතා හොඳයි. එහෙනම් ඇයි බැරි උඩට ගිහිල්ලා කරන්න. හේතුව උඩට යනකොට ඒ වගේ දූෂිත නිලධාරීන්ගේ කෙරුවාව බාධකයක් වෙලා තිබෙනවා,” යනුවෙන්ද සභාපති සුබ්‍රමනියම් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division