Home » පරිපූර්ණ සිනමා ආශ්වාදය අග්‍රගණ්‍ය වාලම්පුරි

පරිපූර්ණ සිනමා ආශ්වාදය අග්‍රගණ්‍ය වාලම්පුරි

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

හෙළ සිනමාවේ වර්තමානය අසිරිමත් ලෙස සරසන අලුත් අධ්‍යක්ෂවරයෙකු ක්ෂේත්‍රයට අවතීර්ණවී සිටී. හේ නමින් ලක්මාල් ධර්මරත්නයි. කූඹියෝ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ ‘ලකා‘ ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ‘වාලම්පුරි‘ නමින් දැන් තිරගත වන්නේ සිනමාහලකට මුදලක් ගෙවා ගොස් නරඹන ප්‍රේක්ෂකයාට උපරිම ආශ්වාදය ලබා දෙමිනි. ජාත්‍යන්තර තලයේ සිනමා ප්‍රක්ෂේපණයකදී රූපය රංගන ශබ්දය ඉදිරියට ඇවිත් ඇති කාල වකවානුවක මහා පසුගාමී තැනක පසුවන සිංහල චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුන්ට අළුත් අරමුණු මතක් කර දීමට වාලම්පුරි සමත් වී සිටීම සතුට දනවන නිමිත්තකි. දමිත් චන්ද්‍රසිරි මැවු කතාව අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න පත අට එකට සිදුවා චමත්කාර ජනක තිර රචනයක් නිමා කර ගැනීම මෙම චිත්‍රපටයේ ප්‍රථම අලංකාරයයි. බොහෝ දෙනෙකු දැක නොමැති දක්ෂිණාවෘත වාලම්පුරි පාදක කරගත් මෙම කතාව මේ යැයි කිව නොහැකි අන්දමටම මෙහි තිර රචනය ප්‍රශස්ථය. එම ප්‍රශස්ථ බව නිසාම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට කුමකින් කුමක් වේදෝයි යන කුතුහලය තුළ ප්‍රේක්ෂකයා රඳවා ගනී.

මෙහි ජීවන විවරණය අනුවේදනීය වුවද මේ තුළ හැසිරෙන චරිත ගෙන හැර දක්වන සමාජ යථාර්ථය සරල රීතියකින් ඉතා ප්‍රබලව මනස ගොදුරුකර ගනී.

ප්‍රබල රංග රටා සහිත රංගවේදීන් මුළු චිත්‍රපටය පුරාම නිර්මාණය කරන්නේ ආශ්වාදයයි. වෘත්තීය රංගනවේදීන් සිනමා රංගනය නිවැරදිව හඳුනාගෙන කරන මැවීම ඉන්ස්ටර්ග්‍රෑම් දුහුනන්ට සියලු නොහැකියාවන් අවබෝධකර දෙන අභ්‍යාසයකි.

ඉතාම අඩු ලයකින් රංගනයේ යෙදෙන ප්‍රධාන චරිතය මවන ප්‍රියන්ත සිරිකුමාර හා අභියෝගාත්මක රංගනයක යෙදෙන සරත් කොතලාවල, අන්ජන ප්‍රේමරත්න හා අශාන් ඩයස් එකිනෙකාට වෙනස් රංගන ශානරක් තුළින් ප්‍රේක්ෂකයා කුල්මත් කරයි.

වාලම්පුරි චිත්‍රපටයේ සමන් නම් පොලිස් නිලධාරියාගේ චරිතය රඟන වසන්ත මොරගොඩගේ මැවීම පොලිස් සේවයේ නියුතු අයට ඉතාම හුරු පුරුදු බවක් නම් ඇති කරනු නොඅනුමානයි. වාලම්පුරි චිත්‍රපටයේ වසන්ත මොරගොඩගේ රංගනය මේ වසර වෙනුවෙන් පවතින සම්මාන උළෙලවලදී හොඳම සහාය නළුවා ලෙස අබිසෙස් ගැන්වීමට බොහෝ අවස්ථා තිබුණද එහිම නිමලසිරි ලෙස රඟන සරත් කොතලාවල හා චින්තක ලෙස රඟන අන්ජන ප්‍රේමරත්න ඉඩ හසර ලබාදේදැයි ජුරිය විමසා බලනු ඇත. ඒ අභිමුව අප අතරින් වෙන් වු සාමිගේ චරිතය රඟන ධර්ශන් ධර්මාරාජ්ද පතාක යෝධයෙකු ලෙස නැගී සිටී. ධර්ශන් රඟන මේ අනගිබවනීය රංගනය දකින ප්‍රේක්ෂකයාට මනසට මිශ්‍ර හැඟීම් ඇති කරයි. කිං රත්නම්, නිරෝෂන් විජේසිංහ, තුමිදු දොඩන් තැන්න මෙහි රංගන අලංකරණයේ පිරිමි කොටස්කරුවෝය. ප්‍රබල රංගනයක යෙදෙන දිල්හානි අශෝකමාලා චිත්‍රපටය මැදදී අලුත් ආලෝකයක් ලබා දුන්නද මෙවැනි ධනවත් කාන්තාවක් රතු පැහැය සහිත එකම ඇඳුමක් මුළු චිත්‍රපටය පුරාම දින සති ගණන් ගෙවෙන කතාවේ භාවිතා කිරීම අභව්‍යය. එහි යම් සංඛේතාත්මක ප්‍රකාශනයක් දීමට ලක්මාල් ධර්මරත්න උත්සාහ කිරීමට ඉඩ ඇතිමුත් පොදු රසවින්දනයේදී ඕනෑම ප්‍රේක්ෂකයෙකුට මේ අඩුව නොදැනීම මනසට නැගේ. උදයක්ති කුලතුංග ලෙනාඩ්ගේ භාර්යාව ලෙස කලකට පසු ප්‍රේක්ෂකයා හමුවට එන්නේ හොඳ කෘතියක රංගන ඇරයුමට තමා හැම විටම සූදානම් බව දැනුම් දෙමිනි.

මේ සියළු රංගන අලංකාරය ප්‍රේක්ෂක මානයට පිඩාවකින් තොරව ලබා දෙන ප්‍රබල පුද්ගලයෝ රැසක් මෙහිදී මතක් කළ යුතුමය.

අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ඨ කැමරාකරණය යෙදෙන කාලිංග දේශප්‍රියගේ රූප රචනය සුමට හා ප්‍රබලව ජේදනය කළ වාලම්පුරි සංස්කරකා ශිල්පී තරිඳු කාරියවසම් එම ද්වයේම ප්‍රබල බව තුළින් මතුවන රංගනය මුවහත් කරන චින්තක ජයකොඩිගේ විශිෂ්ඨ සංගීතය ඒ ගමනට මුසුවු දිනිදු ජාගොඩගේ වර්ණ සංයෝජනය පමණක් නොව ලසන්ත උඩුකුඹුරගේ ඇඳුම් නිර්මාණයද ප්‍රියන්ත දිසානායකගේ වෙස් ගැන්වීමද වාලම්පුරි සම්මාන ඇගයුම් රාශියකට නිමිති ලබා දෙයි. එපමණකුදු නොව රූපයේ ප්‍රබල බව මැවෙන ශබ්ද මාධුර්ය මැනවින් සංකලනය කිරීම තුළින් අතුල ජයසිංහගේ දායකත්වයද ශ්‍රව්‍ය ආශ්වාදය වාලම්පුරියට එක් කරයි.

වාලම්පුරි ප්‍රවේශය සිංහල සිනමාවට ආශිර්වාදයකි. නළු නිළි කාර්මික ශිල්පී මෙහෙයුම තුළින් ලක්මාල් ධර්මරත්න පානා පරිනත බව හෙළ සිනමාවේ කුහකත්වයෙන් පිරිපුන් ඉහළ පත්‍රවන්ට ඊර්ෂ්‍යාව සහගත සිතුවිලි ඇති කරනු වැලැක්විය නොහැකිය. වාලම්පුරි චිත්‍රපටයේ ඇතැම් අවස්ථාවල රූප තුනක් එකිනෙකට ඡේදනය වෙද්දී ඊට තෝරා ගත යුතු ඡේදනයට ගැළපෙන රූප ත්‍රිත්වය ශබ්දය සමඟ ලක්මාල් වාලම්පුරියට එක් කරන අලංකරණය ජාත්‍යන්තර සිනමාවේ සාමාන්‍ය තත්ත්වයකි. එනමුදු එය අපේ බහුතර අධ්‍යක්ෂවරුන්ට ආගන්තුකය. ජාතක කතා තොරණ සිනමාවත් යාදිනි අඩෝවැඩියා සිනමාවත් තුළින් රටේ රසවින්දනය ඇදගෙන ගොස් අවසන ප්‍රේක්ෂකයා සිනමාහල් වෙතින් දුරස් වීමට පොළඹවාලුයේ මෙවැන්නෝය. ඇතැම් සිංහල සිනමා නරඹන්නෝ හාරලක්ෂය, වැලිකතර නරඹා අතීත ආශ්වාදය හදවතේ ගුලිකරගෙන සිනමාහල් වර්ජනය කොට සිටිති. එවැන්නන්ටද වාලම්පුරි නැරඹීම තුළින් තම වැළළුණු සිනමා සතුට යළි ලැබෙනු ඇත.

පද්මකුමා පී. මෙත්තසේන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division