වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව තුළ වසර ගණනක් තිස්සේ තම දක්ෂතා මනාව නිරූපණය කරමින් ගැමුණු මහරජ චිත්‍රපටයේ චත්ත සෙනෙවි, ගොවි තාත්තාහි මුදලාලි, දඬුබස්නාමානයේ ජාසොන්, උරුමයක අරගලයෙහි හීන්පොළ නිලමේ වැනි චරිත හරහා නොමඳ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ජයලත් සමඟයි අද අපේ කතාබහ.
“මම මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක් කරනවා. ඒකෙ නම පට බැඳි පාලිය. මම ගාමන්ට් එකක පරීක්ෂකවරයෙක් ලෙස එහි ප්‍රධාන චරිතයක් කරනවා. ජගත් බෙනරගමගේ ‘මා සහ ඔබ’ ටෙලි නාට්‍යයේ ‘කට්ටා‘ නමින් චරිතයක් කරනවා. තව ජයන්ත චන්ද්‍රසිරිගෙ අලුත්ම චිත්‍රපටය ‘සැඟවුණු නගරය’. ඒක අමෙරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිපුරම රූපගතකිරීම් කළේ. ලංකාවෙත් රූගත කිරීම් කළා. එය රිටිගල ජයසේන හා සම්බන්ධ කතාවක්. ඒකත් බොහොම ලස්සන චිත්‍රපටයක්. ගොවි තාත්තා චිත්‍රපටයේ ගමේ කඩේ මුදලාලිගෙ චරිතය රඟපෑවා. ඒක තාම ප්‍රදර්ශනය වෙනවා. මෑතකදී ජාතික රූපවාහිනියේ විකාශනය වුණු සිටුවර පුවත ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. තව නිර්මාණ කිහිපයක් ඉස්සරහට එන්න තියෙනවා.”
චිත්‍රපට හා ටෙලි නාට්‍යවලට අමතරව ඔහු වේදිකා නාට්‍යයටද බෙහෙවින් දස්කම් දක්වන්නෙකි. ඔහු විසින් නිර්මාණය කළ වේදිකා නාට්‍යයක් මේ දිනවල රට වටා ප්‍රදර්ශනය කෙරෙමින් පවතී. වර්තමාන ලෝකයට ඉතා වැදගත් තේමාවක් මුල් කරගෙන නිර්මාණය කර ඇති වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි.
“මං මේ දිනවල පාසල් නාට්‍යයක් කරනවා ‘නිල් අහසයි වහල අපේ’ නමින්. එය අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සභාවලින් අනුමත කළ නාට්‍යයක්. ඒකෙදි මම තේමා කරගෙන තියෙන්නෙ තවත් යුද්ධයක් අපිට එපා කියන තේමාව. ලෝකය මේ වෙලාවේ යුද්ධයක ඉන්නේ. අපිත් අවුරුදු තිහක යුද්ධයක හිටපු අය. ඊට පස්සේ ඊශ්‍රායල් ගාසා තීරයේ යුද්ධය, රුසියන් යුක්රේන් යුද්ධය, අලුතෙන්ම පටන් අරන් තියෙනවා ඉන්දියන් පාකිස්තාන් යුද්ධය. යුද්ධයෙන් වැඩිපුරම ඩැමේජ් වෙන්නේ කුඩා රටවල්වලට. ඒවායෙනුත් වැඩියෙන්ම ඒක බලපාන්නෙ ළමා පරපුරට. ගාසා තීරයෙත් වැඩිපුරම මැරෙන්නෙ ළමයි. අපේ අවුරුදු 30ක යුද්ධයෙන් ගොඩක්ම මැරුණෙත් ළමයි. ඒ නිසා ළමයි ඉල්ලීමක් කරනවා යුද්ධ කරන්න එපා කියලා.“
දැනට පාසල් 15ක පමණ මෙම වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය කර ඇති බවත් ඉදිරියෙත් පාසල් ගණනාවක ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන බවත් ගාමිණී පවසයි. මෙතෙක් පැමිණි දිගු කලා ගමනේ ආරම්භය පිළිබඳව ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.
“මම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. අපේ ඉස්කෝලෙ නාට්‍ය භාර ගුරුතුමා හේමකුමාර කරුණාරත්න. එතුමා තමයි මට මුලින්ම නාට්‍ය රඟපාන්න අවස්ථාව උදා කරලා දුන්නේ. ඒ එතුමාගේ ‘උදාව’ කියන නාට්‍යයෙන්. එහි මට රඟපාන්න ලැබුණේ දෙබස් නැති, මැෂිමක චරිතයක්. ඒක තමයි මුල්ම රංගනය. මම වේදිකා නාට්‍යවලට ආවේ පාසල් වේදිකාවෙන්. මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ අශෝක හඳගමගේ ‘මාඝාත’ නාට්‍යයෙන්. ඊට පස්සේ මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. මුලින්ම සම්බන්ධ වුණේ විමලරත්න අධිකාරිගෙ ‘සසර සෙවණැලි’ ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. බෝගල මිනිරන් පතල ඇතුළෙ තමයි රූගත කිරීම් කළේ. ඒකේදි මම කැමරාවක් දැක්කේ අඩි තිස්දාහක් පොළොව යටදී. ඇත්තටම මම පොළොව යටින් මතු වෙච්ච නළුවෙක්.
ඊට පස්සෙ මට චිත්‍රපටවල දොරගුළු ඇරුණේ ධර්ම ශ්‍රී ගමගේ මහතාගේ ‘පූජා’ සිනමා පටයෙන්. පුජා චිත්‍රපටයේ මම හිරකාරයෙක්ගෙ චරිතයක් කළේ.“
මේ වනවිට ටෙලි නාට්‍ය 400ක පමණත් චිත්‍රපට 50ක පමණ ප්‍රමාණයකත් රංගනයේ යෙදී ඇති ගාමිණී කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මාන උලෙළකදී කුසලතා සම්මානයක් ලබා ගත්තේ ඔහුගේ වෙනස්ම රංගන විලාසය නිසාවෙනි.
“ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ‘අග්නි දාහය’ චිත්‍රපටයේ මතක හිටින චරිතයක් තමයි කිකිළි අක්කාගෙ චරිතය. ඒක ගැහැනු කෙනෙක්ගෙ චරිතයක්. හරිම අභියෝගාත්මක චරිතයක් වුණා. ඒකෙන් පිරිමියෙක් වගේ ගැහැනු කෙනෙක් නිරූපණය වෙන්නේ. කිකිළි අක්කාගේ චරිතයට මං හරි කැමැතිය. ඇහි බැමි, පපුවේ රෝමකූප පවා ගලවලා තමයි මාව ඒ චරිතයට වෙස් ගැන්නුවේ. ඒ චරිතෙට මං ආසයි. ඒ වගේම මං කරපු හැම චරිතෙකටම මං ආසයි”
කලාවට පිවිසීම වර්තමානයේ පවතින තරම් අතීතයේදී සුවපහසු ගමනක් නොවේ. පාසල් වේදිකාවෙන් පැමිණ මෙම කලා ගමන තුළ විඳින්නට ලැබූ දේ පිළිබඳ ඔහු සිහි කළේය.
“ඒ කාලේ කලාවට එන්න අපිට අවස්ථා නෑ. අපි බොහොම දුක් මහන්සි වෙලා ආවේ. අතුගාලා, පෝස්ටර් ගහලා, කටේගුරු කටයුතු කරලා එහෙම තමයි වේදිකාවට ආවේ. ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට ආවෙත් එහෙමයි. අද එහෙම නෙවෙයි. අද හරි ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි අපි ඉක්මනින් ජනප්‍රිය නොවුණට බොහොම දැනුම්වත් වෙලා තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒකට මගෙ පුවත්පත් ජීවිතෙත් බලපෑවා. මට සාමාන්‍ය මාධ්‍යවේදියෙකුගේ සිට දිනමිණ ප්‍රධාන කර්තෘ ධූරයට දෙවරක් පත් වීම දක්වාම වාසනාව ලැබුණා.
මෙතරම් දුරක් සාර්ථක කලාකරුවෙකු ලෙස වැඩ කටයුතු කිරීමේදී පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය අමතක කළ නොහැකි කාරණයකැයි ඔහු පවසන්නේ සතුටෙනි.
“මගේ බිරිඳ ජීවනී දිරුක්ෂි, ලොකු දුව සහ පොඩි දුවගෙන් මගේ කලා ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ මුල්ම විචාරකයන් තමයි මගෙ බිරිඳ සහ දරුවො දෙන්නා. ඒ අය තමයි හොඳ නරක හැමදේම කියන්නෙ. අපි හරි සහයෝගයෙන් ගමනක් යනවා. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙකුට සමහර චරිත ලැබුණොත් සතුටු වෙනවා කියනවනෙ. මට එහෙම නෑ. මට ලැබෙන්නේ මොන චරිතයද මම ඒ චරිතය හොඳට කරනවා.“
කලාකරුවෙකුට වඩාත් වැදගත් වන්නේ තමා වටා එක්රොක් වී සිටින රසික පිරිසයි. ගාමිණිට ද රසික රසිකාවියන්ගෙන් නොමඳ ආදරය හිමි වන බව රහසක් නොවේ.
“මාව දැක්කම ගොඩක් අය කියනවා ඒ කාලෙ හොඳ චරිත කළා. අපිට අදටත් මතකයි කියලා. ඒ විදිහට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන චරිත හොඳින් කිරීම තමයි මගේ එකම අරමුණ. කලාවට තියෙන ආදරේ සහ ඇල්ම මැරෙන තුරුම ඒ විදිහටම තියෙනවා. මගේ පත්තර ජීවිතේ සහ රංගන කටයුතු මට මගේ දරුවො වගේ. ඒ දෙකට මං හරිම ආදරෙයි.”
කලාවේ විවිධ භූමිකාවන් නිරූපණය කරන ගාමිණි ජයලත් කලාවට දක්වන දායකත්වය අති මහත්ය.