ජාතික ජන බලවේග රජය බලයට පත් වීමෙන් පසු සතොස යළි පණ ලබා ඇති බව වාර්තාවීමත් සමඟ, ඒ පිළිබඳ දැනගැනීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමුවුණෙමු.
සතොස සතුටින් කියලා ආරංචියි. එක ඇත්තක්ද?
ඔව්, මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙද්දී ලංකා සතොස ඉතිහාසයේ වැඩිම දෛනික වෙළෙඳාම වාර්තා කළා. ඒ රුපියල් මිලියන 840ක්. ඒ වගේම ලංකා සතොසේ භාණ්ඩ මිල 23%කින් අඩු කිරීමටත්, නාස්තිය 27%කින්, පරිපාලන වියදම් 20%කින් සහ ප්‍රවාහන වියදම් 7% කින් අඩු කරගන්නත් අපට හැකියාව ලැබුණා. ඉතා කෙටි කාලයකින් සතොස මේ තත්ත්වයට ගේන්න නිලධාරීන් හා සේවකයන් මට අනගි සහායක් දුන්නා. වහලාදාන්න පිඹුරුපත් සකස් කරපු ආයතනයක් අද මේ වගේ තැනකට පත් කිරීමට ලැබීම ගැන මම වගේම ඔවුන් හැමෝමත් ඉන්නේ සතුටින්.
ඇමැතිතුමනි, එතකොට ලංකා සතොස හා සතොස කියන්නේ දෙකක්ද?
ඔව්, මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්: හුඟක් අය සතොස කියලා හඳුන්වන්නේ රතු පාට බෝඩ් එක තියෙන ලංකා සතොස වෙළෙඳසල් ජාලයයි. ඒත් සතොස කියන්නේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවයි. සතොස වසර 75ක පමණ ඉතිහාසයක් ඇති ලංකා රජය සතු, ප්‍රධාන වෙළෙඳ ආයතනයක්. සතොස ආරම්භ කිරීමේ අරමුණ වුණේ පෞද්ගලික වෙළෙඳ ඒකාධිකාරයට හසු නොවී, ජනතාවට සහන මිලට භාණ්ඩ සැපයීමයි. සතොස මවු ආයතනය මඟින් ඇරඹුණු තවත් ආයතන කිහිපයක් තියනවා. එයින් එකක් තමයි ලංකා සතොස කියන්නේ. ඊට අමතරව සතොස ආරක්ෂක පෞද්ගලික සමාගම හා සතොස ඉදි කිරීම් ආයතනයත් මේ යටතේ පවතිනවා.
එහෙම නම් සතොස කියන්නේ විශාල දේපළ හා සේවක පිරිසක් සිටින ආයතන ජාලයක්?
ඔව්. විශාල ඉඩම් ප්‍රමාණයක්, ගොඩනැඟිලි ප්‍රමාණයක්, රථ වාහන ප්‍රමාණයක් සතොස සතුව තිබුණා. එහෙත් පහුගිය කාලය පුරා විටින් විට බලයට පත් ආණ්ඩුවල ඇමැතිවරුන් ගිණුම් ශිල්පීය ක්‍රම භාවිත කරලා මේ අයතනය සොරාකෑවා. ලංකාව පුරා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සතොස සතුව තිබුණ විශාල වාහන ප්‍රමාණයක් අඩු මිල ගණන්වලට තක්සේරු කරලා විකුණලා දැම්මා. එහෙත් අප බලයට පත් වූ වහාම සතොස සතු දේපළ පිළිබඳ සොයා බලා, සතොස සතු ඉඩම් යළි සතොස සතු කරගැනීමටත්, ස්ථානීය තහවුරු කිරීම් සිදු කිරීමටත් මේ වන විට කටයුතු කරගෙන යනවා. පසුගිය ආණ්ඩු සතොස නැත්තට නැති කරලා තිබුණේ. කාලයක් විකුණන්න බඩු නැතුව පැය 24පුරා ලංකා සතොස වෙළෙඳසල් ඇරලා තිබුණා. විදුලි බිල්, වතුර බිල්, සේවක පඩිනඩි ගෙවාගන්න බැරිව වසාදමන තැනකට එය ගෙනාවා. ඒ කාලෙත් අපි යූනියන් එකක් විදියට මැදිහත්වෙලා වහන්න ගිය ලංකා සතොස බේර ගත්තා. ඔවුන්ගේ අරමුණ වුණේ කිසිම දෙයක් ගන්න නැති තැනක් බවට සතොස පත් කර; පෞද්ගලික වෙළෙඳපොළවලට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩ හැරීමයි. ඔවුන් තොග වෙළෙඳ සංස්ථාව නැත්තට නැති කරලා ලංකා සතොසට පවා භාණ්ඩ මිල දී ගෙන තිබුණේ පෞද්ගලික ආනයනික වෙළෙන්දන්ගෙන්.
මේ වන විට සතොස ආරක්ෂක සමාගමේ තත්ත්වය මොන වගේද?
සතොස ගබඩා, සිල්ලර වෙළෙඳසල් සහ වාහන ආදිය ආරක්ෂා කිරීමට අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් බඳවාගැනීමේ අරමුණින් තමයි මෙම ආයතනය ආරම්භ කර තිබුණේ. එහෙත් පසුගිය රජයන් තම හිතමිතුරන්ට රැකියා දීමේ අවශ්‍යතාව මුදුන්පත් කරගැනීමේ අරමුණින් තමයි මෙය යොදා ගෙන තිබුණේ. මෙවැනි ආරක්ෂක ආයතනයක් සතොස සතුව තිබිලත් බිලියන 22ක් හොරාකාපු විදිහ හොයන්න අද අපටයි සිදු වෙලා තියෙන්නේ.
සතොස ඉදිකිරීම් සමාගම ගැන පැහැදිලි කිරීමක් කළොත්…
සතොසට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම් නඩත්තු කිරීම් ආදිය සඳහා තමයි ඒ මේ ආයතනය පිහිටුවලා තියෙන්නේ. විශාල සේවකයන් ප්‍රමාණයක් හිටපු සතොස ඉදිකිරීම් සමාගම අපට ලැබෙද්දී නමට පමණක් සීමා වී තිබුණා. මේ ආයතන මෙහෙම විනාශ කරලා තියෙන්නේ ඉදිකිරීම් තම හිත මිතුරු සමාගම්වලට දිලා කොමිස් ගහගන්න ඕනෑ වුණ නිසයි. අපි නැවතත් සතොස ඉදි කිරීම් සමාගමට පණ දුන්නා. ඒක සතොසට ලොකු හයියක් වී තිබෙනවා.
සතොස සේවය කරන අතිරික්ත සේවකයන්ට ඉවත් වෙන්න වෙයි කියන අදහස බොහෝ දෙනා තුළ මේ වන විට ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ ස්ථාවරය කුමක්ද?
දේශපාලකයන්ගේ පටු අරමුණු නිසා ආපු එම සේවකයන් අසරණ විය යුතු නෑ. ජාතික ජන බලවේග රජය දේශපාලන පළි ගැනීම් සිදු කරන්නේ නැහැ. කුමන පදනමකින් රැකියාව ලබා ගත්තත් ඔවුන්ගේ රැකියා අහිමි කරන්නේ නැහැ. අපට අවශ්‍ය අවංකව සේවය කිරීම පමණියි.
එහෙත් අතිරික්ත සේවක පිරිසක් නඩත්තු කරන එක ආයතනයට ගැටලුවක් නොවෙයිද?
ඔව්, ඒක බරපතළ ගැටලුවක්. මේ වන විට මාතර විතරක් අතිරික්ත සේවකයන් 86ක් ඉන්නවා; කොළඹ 269ක්. පසුගිය වසරේ පමණක් 850ක් බඳවාගෙන තිබෙනවා. ඡන්දෙට කලින් මාසේ පමණක් බඳවාගැනීම් 350ක්. දින පහෙන් ඒ රැකියා ස්ථිර කර තිබෙනවා. කුමන පදනමකින් ආවත් ඒ මිනිස්සු අසරණ කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.
මේ විදිහට කඩාවැටුණු ආයතනයක අතිරික්ත සේවක ප්‍රමාණයක් නඩත්තු කරමින් අනාගත අභියෝග ජය ගන්නේ කොහොමද?
අරමුණ පිරිසුදු නම්; සොරකමින් තොර නම් ඒ අභියෝග ජය ගන්න එක එච්චර ප්‍රශ්නයක් නොවෙයි. අපි විද්‍යාත්මක ක්‍රමවේදයකට වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් ලංකා සතොස ශාඛා ජාලය වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම සුපිරි වෙළෙඳසල් සමඟ තරගවදින්න පුළුවන් ආකාරයට පාරිභෝගිකයන් ආකර්ෂණය වන ආකාරයට ඒවා ආරම්භ කරනවා. රටේ ජනතාව දැන් අඩු වන බඩු මිලත් භාණ්ඩවල ගුණාත්මකභාවයත් සලකා ලංකා සතොස පිළිබඳ විශ්වාසය තබා ඒ වෙත සමීප වී තිබෙනවා.
සතොස සතොසින්ද කියලා අපි මේ සාකච්ඡාව නම් කිරීම සුදුසුයි කියලා මට හිතෙනවා…
ඔව්, සතොස කියන්නේ සන්තෝෂය, සතුට කියන එක නේ… අපට අවශ්‍ය රටම සතොසින් තියන්නයි. අප හඳුන්වා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමා පාඨය වුණේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’. වෙළෙඳ අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තු, ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් මට සතොස එක ආයතනයක් පමණයි. මේකේ බර දරන්නේ ඒ ආයතනවල සභාපතිවරුන්, සෙසු නිලධාරීන් ඇතුළු සේවක පිරිසයි. ඔවුන්ගේ කටයුතු හොඳින් කරගෙන ඉදිරියට යන්න ආණ්ඩුවක් විදිහට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යයය අප දෙනවා.