කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවන්න උත්සාහ කළත්, එය අසාර්ථක වුණා නේද?
තාම බලය පිහිටුවීමේ වැඩසටහන සම්පූර්ණ වෙලා නැහැ. මේ මැතිවරණයේදී ජවිපෙ හෙලුව එළියට ඇවිල්ලා තියෙනවා. අනෙක් සියලු දේශපාලන කඳවුරු හොරු කියන තේමාව රටට විකුණලා බලයට ආවා. අද වෙද්දි බලය වෙනුවෙන් ඒ හොරු කිවුව අයත් එක්ක ඩීල් දාගෙන පළාත් පාලන ආයතන හදන්න උත්සාහ කරනවා. අපි හිතනවා අපි දිනුවා කියලා; නැත් නම් නගර සභාව ගත්තා හෝ නැතුවා හෝ, අපි රටට ඊට වඩා වැදගත් දෙයක් දායාදයක් කර තියෙනවා. එනම්: ජවිපෙ අමු පචකාරයෝ කියන දේ මෙවර මැතිවරණයේදී ඔප්පු කරලා තියෙනවා.
කෙසේ වුවත්, සජබට පළාත් පාලන ආයතන කිසිවක් තනිව ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ නේ?
ලෝකයේ විශාලතම රටවල් ගොඩක් ආණ්ඩු හදන්නේ, පක්ෂ කිහිපයක් එකතු වෙලා. බොහෝ තැන්වල එකතු වෙන පක්ෂවල ආකල්පමය, ප්‍රතිපත්තිමය වෙනස්කම් තිෙබනවා. ඒත් රටක් පාලනය කරන්න වෙන කොට සියල්ල අමතක කරලා වැඩ කළ යුතුයි. එය යුරෝපයේ වගේම ආසියාවෙත් වෙනවා. ඒ නිසා සජබ අරමුණ කොළඹ මහා නගර සභාවේ ස්ථාවර නගර සභාවක් හදාගන්න එකයි. ඒ සඳහා අත්දැකීම් ඇති කණ්ඩායම් එකතු කරගෙන යෑමටයි. මේ පක්ෂවල චින්තනය, ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. පත් වන මන්ත්‍රීවරුන් සමහර විට අපට ගැළපෙන්නේ නැති අය වෙන්න පුළුවන්. ඒත් අපි හරි නායකත්වයක් දුන්නොත් අපට පිරිසුදු පාලනයක් ඇති කරන්න පුළුවන්. සජබට ඒ නායකත්වය දෙන්න පුළුවන්.
මේ විපක්ෂයේ සියලු දෙනා එකතු කරගන්නා හවුලේ නායකත්වයට තෝරාගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාවද?
මෙහි කවුරුත් නායකත්වයක් ගැන කතා කරලා නැහැ. අපි යන්නේ පොදු අරමුණකටයි. දැන් ජවිපෙ මේ රටේ බලය ගත්තා; බොරුව සමාජගත කළා. ඉතා කෙටි කලකින් ජනතාවට කලකිරුණා. මේ මැතිවරණයෙන් එය දක්නට ලැබුණා. සජබට දේශපාලන හයියක් තියෙනවා කියලා මේ මැතිවරණයෙන් පෙන්වා දී තිබෙනවා.
මේ වසරේ දෙසැම්බර් වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනවා කියන ස්ථාවරයේ ඔබ තවමත් ඉන්නවාද?
ඔව්. මම තවමත් ඒ ස්ථාවරයේ ඉන්නවා. දෙසැම්බර් වන විට මේ අයට තවත් ඉදිරියට යන්න බෑ. ආණ්ඩුවට තවත් යන්න බැරි වෙන කොට කවුරුහරි ජනාධිපතිවරයා වෙන්න පුළුවන් නේ. මේ රට කරගෙන යන්න මේ ආණ්ඩුවට අමාරුයි. ආර්ථිකය ගැන නිසි සැලසුම් නැහැ. ඩිජිටල්කරණයක් ගැන කතා කරනවා; ඒත් කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ. රටේ ලුණු නැහැ.
සමහර පළාත් පාලන ආයතනවල ස්වාධීන කණ්ඩායම් ආණ්ඩුවට සහාය දෙන්න එකඟ වෙලා තිබෙනවා. ඒ නිසා සජබට බලය අල්ලන්න පුළුවන් කියලා හිතනවාද?
අපට ඒ ගැන අමනාපයක් නෑ. ඕනෑම කෙනකුට පුළුවන් ස්වාධීනව හිතන්න. තමන්ගේ සහාය කාටද කියලා ඒ අයට තීන්දු කරන්න පුළුවන්. සමහර අය අපිත් එක්ක වැඩ කරන්න තීන්දු කරයි. සමහර අය ආණ්ඩුවත් සමඟ වැඩ කරයි. ඒ අය හිතනවා නම් ආණ්ඩුව විශ්වාසයි කියලා ඒ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව විවේචනය කරපු අය සහ ආණ්ඩුවේ මතයන්ට නොගැළපෙන අයම දැන් එකතු වෙන්න හදනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොකක්ද කියලා අපි අහන්නේ. ඔවුන් මේ ස්වාධීන කණ්ඩායම් පවා විවේචනය කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව දැන් ඒ අයගේ ප්‍රතිපත්ති කොහෙද කියලා අපට හිතාගන්න බැහැ. ඒ නිසා අප ප්‍රශ්න කරන්නේ ඒ අයගේ සදාචාරය කොහෙද කියලා. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නේ ඒ අය මිස, අපි නොවෙයි.
සජබ ඇතැම් අය කිවුවේ ආණ්ඩු පක්ෂයෙන් ඡන්දය ඉල්ලපු නැති සියල්ල විපක්ෂයේ කියලා. ඒත් මේ වන විට ස්වාධීන කණ්ඩායම් ආණ්ඩුවට පක්ෂ බව තහවුරු වෙලා ඉවරයි නේද?
ඒ ගැන අපේ කිසිදු අමනාපයක් නැහැ. ඒ අයට ප්‍රතිපත්තියක් නැති බවයි මෙයින් පේන්න තියෙන්නේ. විපක්ෂයේ ඉඳගෙන කෑගහන කාලයේ කියන එක ජනතාව පිළිගන්නවා. ඒ නිසා තව කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න කලින් දෙවරක් හිතන්න අවශ්‍යයි. තනතුරු තියාගෙන බොරු කියන එක හොඳ නැහැ. ජවිපෙ වැරදි හුඟාක් තිබුණා කියලා අපි ඒ අයට හොරු කියලා කියන්නේ නැහැ. එය කියන්න අපිට අයිතියක් නැහැ. හොඳ මිනිසුත් ඉන්නවා. ඒ වගේ අය හැම පක්ෂයකම හොඳ නරක දෙපාර්ශ්වයම ඉන්නවා.
මෙවර ස්වාධීන කණ්ඩායම් රැසකින් ඡන්දයට ඉදිරිපත් වෙලා තිබෙනවා. එයට හේතුව මේ රටේ පක්ෂ ගැන ජනතාවට විශ්වාසයක් නැතිකමද?
ගොඩක් අයට මේ රටේ පක්ෂ එපා වෙලා තියෙනවා. හොඳ මිනිසුන්, හොඳ වෘත්තිකයන්, දැනුම්වත් අය ස්වාධීනව ඡන්දය ඉල්ලලා තිබෙනවා. පක්ෂවලට වඩා වැඩියෙන් ඇතැම් අය ඡන්දය ගෙන තියෙනවා. ඒ ඔක්කොම හොරු නම්, ඡන්දය දීලා තියෙන මිනිසුන් සියලු දෙනාම හොරු කියල ද කියන්නේ? එය වැරදියි.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව ඡන්දය දුන් සමහර අය මෙවර ජවිපෙ බොරුවලට අහු වෙලා නැහැ. ඒ අය සජබට කැමැතියි කියලා එක පාරට අපිට කියන්න බැහැ. අපි දැනගන්න ඕනෑ අපේ පැත්තට ගන්න. අපි වෙනස් වෙන්නත් අවශ්‍යයි. අපේ ව්‍යූහය, චින්තනය, දැක්ම වෙනස් කරන්න අවශ්‍යයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මැතිවරණයට කලින් කිවුවා නේද කිසිදු දේශපාල පක්ෂයක් සමඟ එකතු වෙන්නේ නැහැ කියලා? ප්‍රාදේශීය සභාවල බලය වෙනුවෙන් එකතු වීමට දැන් සූදානම් ඔබේ පක්ෂයෙත් ප්‍රතිපත්තියක් නැති බවද පේන්නේ?.
නායකතුමා එහෙම කිවුවා කියලා ඇතැම් අය කියනවා. මගේ පෞද්ගලික මතය නම් පක්ෂ සමඟ එකතු වීමේ වරදක් නැහැ. දේශපාලන කරනවා නම්, රටක් පාලනය කරනවා, නම් අනෙකුත් විවිධ අදහස් තියෙන විවිධ මතවාද තියෙන කණ්ඩායම් සමඟ වැඩ කරන්න අවශ්‍යයි. විවිධ ජාති, ආගම්, කුල සමඟ වැඩ කරන්න අප හුරු වෙන්න අවශ්‍යයි. අප පක්ෂයක් ලෙස මේ මැතිවරණයට තනිවම මුහුණ දුන්නා. තනි පක්ෂයක් ලෙස අපට වැඩ කරන්න හැකි නම් වඩා වැදගත්. යහපාලන ආණ්ඩුව කාලයේදී ආණ්ඩුව කරගෙන යෑමේදී අපේ චින්තනයට විරුද්ධ කණ්ඩායම් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. අපි විවෘත ආර්ථිකය සහ අපනයනය පදනම් වූ ආර්ථීකයක් ගොඩනැඟීමට කැමැත්ත දක්වන පක්ෂයක්. අපි සමඟ එදා ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් හිටියා; ප්‍රශ්න හුගාක් තිබුණා. ඒ අනුව අපට යා යුතු ඉලක්කවලට යන්න බැරි වුණා. ඒත් අපට කාලය සම්පූර්ණ කරගෙන අපි ඒ වසර ගණන ගත කළා. අපි ඉගෙනගන්න අවශ්‍යයි. එකඟතාවන්ට ඇවිල්ලා කටයුතු කළ යුතුයි. අපට යම් කිසි හුරු වීමක් තියෙනවා. 2015දී එජාප මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කළාම ඔහු සුළුතර ආණ්ඩුවක් බලයට ගෙනැල්ලා හතළිස්පස් දෙනකු ඉන්න පාර්ලිමේන්තුවක කැබිනට් එකක් පත් කරගෙන සාර්ථකම දින සියයක ආණ්ඩුවක් මඟින් රටේ සාර්ථකම ආණ්ඩුකරණයක් කිරීමට හැකි වුණා. එදා පැවතියේ සුළුතර ආණ්ඩුවක්. සංඛ්‍යාව නොවෙයි අවශ්‍ය, ගුණාත්මක භාවයයි. අපේ ඉන්න සුළුතරය මේ ආණ්ඩුවේ ඉන්න 159ට වඩා හොඳින් වැඩ කරන්න පුළුවන්. අපේ අයට ආර්ථීකය පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා. අපට හොඳ පිරිසක් ඉන්නවා. ඒ නිසා අපට බහුතරයක් අවශ්‍ය නෑ. සුළුතර ආණ්ඩුවක් සමඟ අපි රට හොඳින් කරලා පුරුදු අය. දෙසැම්බර්වල අපට ආණ්ඩුව ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ නිසයි.
මේ ආණ්ඩුව බලයට පත් වෙලා තවම මාස හයක් පමණයි ගත වුණේ… ආණ්ඩුවට වැඩ කරන්න බැහැ කියලා දැන්ම තීරණය කරන්නෙ කොහොමද?
මේ අයට සැලසුම් නැහැ. මෙවර ජනතාව ඒක තේරුම් ගත්තා. ඒ නිසයි ලක්ෂ 22කට අධික සංඛ්‍යාවක් ඡන්දය අහිමි කරගත්තේ. ජනතාව මේ අය ගැන තියෙන විශ්වාසය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. වෙනත් රටවල උදාහරණ ගත් විට ජනාධිපතිවරුන් වැඩ කරලා පෙන්වන්නේ පළමු වැනි මාස කිහිපය තුළයි. ඒ රටවල දින සියයක් කියන වැඩපිළිවෙළක් තියෙනවා. ලංකාවේ වුණත් මෙය 2015දි සාර්ථක කරලා පෙන්නුවා. සාමාන්‍යයෙන් මගේ දිස්ත්‍රික්කය ගත් විටත් මම විශාල වැඩ කොටසක් කරන්න පටන් ගත්තා. මේ මාස හත තුළ මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති ටිකවත් කියලා දෙන්න බැරි වුණා නේ. මේ ක්‍රමවේදය වෙනස් කරන හැටි කියලා නැහැ. ක්‍රියාත්මක කිරීම තුළ කිසිම දෙයක් නැහැ. සාර්ථක ව්‍යාපෘතියක් පෙන්වා දීලා නැහැ. රනිල් මහත්තයා වැල් පාලමෙන් එගොඩට ගෙනත් දුන්නා. මේ අය තවමත් මේ වැල් පාලමේ හෙල්ලි හෙල්ලි හිර වෙලා යනවා. විදෙස් සංචිතය ඍණවල සිට ඩොලර් බිලියන 6කට වඩා වැඩි කරලා, උද්ධමනය 97% සිට 2 ½% දක්වා අඩු කර දුන්නා. පොලි අනුපාතය 2% සිට 12% දක්වා අඩු කරලා දුන්නා. ආදායම් බදු එකතු කිරීම 7%සිට 12% දක්වා වැඩි කර දුන්නා. එකම තැනයි මේ අය කැරකෙන්නේ.
විපක්ෂයේ විවේචනය මිස, කිසිදු සහයෝගයක් ආණ්ඩුවට නැති බවයි අපට නම් පේන්නේ…
සහයෝගය ගන්න ආණ්ඩුව දැනගන්න අවශ්‍යයි. විපක්ෂය විවේචනය කරන්න ආණ්ඩුවේ විවේචනාත්මක දේවල් තියෙන නිසා. ආණ්ඩුව කිව්ව කිසිදු දෙයක් කළේ නැහැ. ධනාත්මක විවේචන වගේම ඍණාත්මක විවේචනයන් තියෙනවා. පාර්ලිමේන්තුවේ දේශපාලනිකව ලකුණු දාගෙන වැඩක් නැහැ. විවේචනවලට මුහුණ දෙන්න අවශ්‍යයි. මේ රට බංකොලොත් වුණා. ඒ කාලේ අයවැය විවාදයේදී බැසිල් රාජපක්ෂගෙන් අපි ආයාචනය කළා වහාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යමු කියලා; ණය ප්‍රතිව්‍යූහගත කරමු කියලා. අප කිවුව දේ එදා ඇහුවේ නැහැ. එහෙම නොකළ නිසා අපි බංකොලොත් වුණා. අපේ ධනාත්මක විවේචනය අදටත් තියෙනවා. මේ ආණ්ඩුව විපක්ෂයේ යෝජනාවලට කිසිදු පිළිතුරක් නැහැ. අපට කරන්න තියෙන්නේ ජනතාව දැනුවත් කිරීම පමණයි.
දුෂිත දේශපාලනඥයන් අද වන විට නීතිය හමුවට පැමිණවීම අඛණ්ඩව සිදු කරනවා…
කාට වුණත් වැරදි නම්, තරාතිරම බලන්නෙ නැතුව දඬුවම් දිය යුතුයි කියන දේ හැමදාම අපි කිවුවා. මේ අය කරන්නේ යහපාලන ක්‍රමවේදයමයි. එක එක හාල්මැස්සො නොවෙයි; දේශපාලනඥයන්ට දඬුවම් දෙනවා වගේම ලොකු මාෆියාකාරයෝ ඉන්නවා. මේ රටේ ලොකුම ඩීල් දාලා වැරදි ව්‍යාපෘති ගෙනල්ලා, කෝටි ගණන් මේ රටට නැති කරලා, රටට අවුරුදු පනහක් සියයක් විතර පාඩු වෙන දේවල් කරන අය ඉන්නවා. රේගුවේ, හාල් මාෆියාව තෙල් මාෆියාව ඇල්ලුවේ නැහැ. පොඩි පොඩි දේවල් අල්ලනවා. කළ යුත්තේ රට බංකොලොත් වන තෙක් විනාශ කරපු අය අල්ලන එකයි. ඒ අය කිවුවානේ වාහන විකුණලා ණය ගෙවනවා කියලා. මිලියන 200කට වාහන විකුණලා ගෙවන්න පුළුවන් වුණාද? ඒ නිසයි මේ ආණ්ඩුවට කිසිදු අත්දැකීමක්, සැලසුමක් නැහැ කියලා අපි කියන්නේ.