Home » දිළිඳුබව තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ඇත්තේ අපටයි

දිළිඳුබව තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ඇත්තේ අපටයි

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
රසික කොටුදුරගේ

ග්‍රාමීය ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් ඔබ අමාත්‍යාංශය මේ වන විට ගෙන ඇති පියවර මොනවාද?

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී රජය ප්‍රධාන වශයෙන් හඳුනාගත් තේමා තුනක් ඔස්සේ කටයුතු කරමින් තිබෙනවා. ඒ ග්‍රාමීය සංවර්ධනය හා ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම, ඩිජිටල්කරණය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ. මේ ප්‍රධාන තේමා තුන ඔස්සේ තමයි අපේ රජය කටයුතු කරමින් තිබෙන්නේ. මෑත කාලයේ ග්‍රාම සංවර්ධනය පිළිබඳ වෙනම අමාත්‍යාංශයක් ජාතික මට්ටමින් තිබුණේ නැහැ. විශේෂයෙන්ම 1987දී හඳුන්වා දුන් 13 වැනි සංශෝධනයෙන් පසුව ග්‍රාම සංවර්ධනය පළාත් සභාවලට අයත් විෂයයක් ලෙසයි පැවතුණේ. ඒ අනුව ග්‍රාම සංවර්ධන නිලධාරිනුත් පළාත් සභාවලට අනුයුක්තවයි කටයුතු කරන්නේ. අපේ රටේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් ග්‍රාමීය දිළිඳු බව ඒ නිසා එය තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළ කෙරෙහි විශේෂ අවදානය යොමු කරමින් ජාතික මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව අපේ රජය කල්පනා කළා. මේ අමාත්‍යාංශයට ග්‍රාම සංවර්ධනය කියන කොටස එකතු කර තිබෙන්නේ ඒ අනුවයි.

ඒ සඳහා ඔබ අමාත්‍යාංශය මැදිහත් වූ ආකාරය පැහැදිලි කළොත්…

අප බලයට පත් වූ වහාම අපේ අමාත්‍යාංශය යටතේ ග්‍රාම සංවර්ධන කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තා. ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම සංවර්ධන කාර්යාංශයත් පෙර පැවති ග්‍රාම සංවර්ධන පර්යේෂණ සහ පුහුණු ආයතනය යන ආයතන දෙකම ඒකාබද්ධ කරමින් ග්‍රාම සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ කටයුතු ක්‍රියාත්මකයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමයි. ඒ වගේම ග්‍රාම සංවර්ධනය කියපුවාම ඒක එක අමාත්‍යාංශයකට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය පුළුල් විෂයපථයක්. එහි විශාල කාර්යභාරයක් අපේ අමාත්‍යාංශයටත්, පළාත් සභාවටත් ඒ වගේම පළාත් පාලන ආයතනවලටත් පැවරී තිබෙනවා. මෙහිදී අපේ කාර්යය වන්නේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම හා මූලික සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමයි.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ඉටු කළ යුතු වැදගත් කාර්යය ලෙස හඳුනාගෙන ඇති කාරණා මොනවාද? ඒ සඳහා ඔබ අමාත්‍යාංශය මැදිහත් වන්නේ කොහොමද?

මීට ප්‍රථම අන්තර්ජාතික මටිටමින් දිළිඳුබව පිටුදැකීමේ ප්‍රවේශ ගණනාවක් හඳුන්වා දී තිබුණා. මුලින්ම ‘සුභසාධන ප්‍රවේශය’ කියලා වැඩසටහනක් හඳුන්වා දී තිබුණා. ඒ කාලයේ මේ සුභසාධන වැඩසටහන මඟින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කළ හැකි බව ලොව පුරා ප්‍රචලිත වී තිබුණා. ඒ අනුවයි ලංකාවෙත් මේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ. ආධාර ලබාදීම මඟින් විශේෂයෙන්ම කූපන් පොත්, ආහාර මුද්දර ආදිය ලබාදී, එමඟින් මේ තත්ත්වය පිටු දැකිය හැකි බව ඔවුන් කල්පනා කර තිබුණා. නමුත් මේ සුභසාධන ක්‍රම මඟින් පමණක් දිළිඳුකම තුරන් කළ නොහැකි බව විවිධ පර්යේෂණ මඟින් පසුකාලීනව ඔප්පු වුණා. ඒ අනුව යමින් දිළිඳ­ුකමට එරෙහි ප්‍රවේශය, කාර්යක්ෂමතා ප්‍රවේශය, බලසතුකරණ ප්‍රවේශය ආදි ප්‍රවේශ ගණනාවක් හඳුන්වා දුන්නා. මේ වැඩසටහන් එක්ක දශක හතකට ආසන්න කාලයක් මේ රට පාලනය කරපු උදවිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. උදාහරණ ලෙස: 80 දශකයේ හඳුන්වා දුන් ‘ජනසවිය’ , 95දී පමණ හඳුන්වාදුන් ‘සමෘද්ධි’ , 2022දී ආරම්භ කළ ‘අස්වැසුම’ ආදි වැඩසටහන් හඳුන්වා දෙන්න පුළුවන්.

මේවායේ යම් යම් පැතිකඩයන් තිබුණත් වැඩිපුරම සිදු කෙරුණේ නොයෙකුත් ආධාර දීමයි. මේ සුභසාධනයෙන් පමණක් ග්‍රාමීය දිළිඳුබව තුරන් කළ නොහැකි බව අපේ අදහසයි. සුභසාධනය අත්‍යවශ්‍ය අයට සුභසාධනය සලසන ගමන් ඔවුන්ගේම හැකියා සහ විභවයන් හඳුනාගෙන, බලසතුකරණ ප්‍රවේශය යොදා ගනිමින් සාමාන්‍ය ජන ප්‍රජාව අනෙකුත් අය මත යැපීම වෙනුවට, ඔවුන් ඒ යැපුම් මානසිකත්වයෙන් මුදාගෙන ස්වාධීනව නැඟීසිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි. එමඟින් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් හා සංස්කෘතික වශයෙන් ඔවුන් පරිවර්තනය කිරීමේ කාර්යය සඳහා අප මේ වන විට මැදිහත් වී සිටිනවා.

මේ කාර්ය ක්‍රියාවට නැංවෙන්නේ කවරාකාරයෙන්ද?

ග්‍රාමීය ප්‍රජාවගේම ශක්තියෙන් හා ඔවුන්ගේම සැලසුම්කරණ ක්‍රියාවලියක් ඔස්සේ අප එය සිදු කරනවා. ඔවුන් ඉදිරිපත් කරන සැලසුම් අධ්‍යයනය කර ඒවා ක්‍රියාවට නැංවීම මඟින් එහි ප්‍රතිඵල ඔවුන්ටම භුක්ති විඳීමට හැකි වන අයුරින් ඔවුන් සවිබලගැන්වීම අපේ අරමුණයි. මේ වන විට ග්‍රාම සංවර්ධන කාර්යංශය ඒ සඳහා මැදිහත් වී සිටිනවා.

ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

මේ වන විට ග්‍රාම සංවර්ධන කාර්යාංශය හා ග්‍රාම සංවර්ධන පර්යේෂණ සහ පුහුණු ආයතනයත් එක්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් මට්ටමේ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය මූලික දැනුම දීලා; ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අවශ්‍ය දැනුම ලබා දීලා ලංකාවේ තිබෙන ග්‍රාම නිලධාරි වසම් 14,008ම ජනතාව සම්බන්ධ කරගෙන මහජන කේන්ද්‍රීය ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. බොහෝ දිස්ත්‍රික්කවල මේ වන විටත් මේ කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ සැලසුම් හරහා ගමටත් එහි වෙසෙන ප්‍රජාවටත් සුවිශේෂ ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කර, ඔවුන් ආර්ථිකවත් සමාජීයවත් සංස්කෘතිකවත් සවිබල ගැන්වීමෙන් සුභසාධනය මත රඳා පැවතුණ ග්‍රාමීය ජනතාව දෙපයින් සිටුවීමට කටයුතු කරමින් තිබෙනවා. එවැනි සැලසුම් ව්‍යාපෘති 61ක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. මේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය හැකි ආකාරය රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදා ගෙන සොයා බලා ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දී තිබෙනවා. ඒවා කුඩා ව්‍යාපෘති වුවත් ඒවා ඔවුන් විසින් ඉදිරිපත් කළ ගමේ සංවර්ධනය ඉලක්ක කරගත් ඒවා.

මම මේ අමාත්‍යාංශය භාරගන්න විට අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වී තිබුණා. ඒ සඳහා කටයුතු කරන 20,000කට ආසන්න සේවක පිරිසක් සිටිනවා. හැම ගමකම සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම සමෘද්ධි බැංකු 1087 පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ මහජනතාවගේ මුදල් සහ රජයේ මුදල් එකතුවෙලා රුපියල් බිලියන 250කට ආසන්න මුදලක් තිබෙනවා. මේ වැඩසටහන මඟින් ආධාර දීම වෙනුවට ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් මෙය යොදවන්න අපි කල්පනා කළා. ඒ අනුව අපි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කර ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කළා. මේ සවිබලගැන්වීමේ වැඩසටහන ආකාර කිහිපයකින් ක්‍රියත්මක වෙනවා. ප්‍රධාන ලෙස පුද්ගල වශයෙන් ආධාර ලබන පවුල් ලක්ෂ 20ක් වසර පහක් තුළ සවිබලගැන්වීම අපේ ඉලක්කය වී තිබෙන්නේ. මේ ක්‍රියාවලියේදී ඒ ඒ පවුල්වල පවතින තත්ත්වය ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන, මොන විදියහටද ඔවුන් සවිබලගන්වන්නේ කියන කාරණය කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. මානව සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ස්වයංරැකියා වශයෙන් වෙන්න පුළුවන්, නිසි වෘත්තීය පුහුණුවක් දී රැකියාවක් වෙත යොමු කිරීමෙන් වෙන්න පුළුවන්, වෘත්තීය පුහුණුවක් දී විදේශ රටක රැකියාවකට යොමු කිරීමකින් වෙන්න පුළුවන්, මේ ආකාරයට විවිධ ක්‍රම මඟින් ඔවුන් ආර්ථිකමය වශයෙන් වගේම ආකල්පමය වශයෙන් සවිමත් කිරීම මෙහි මූලික අරමුණයි.

ඊට අමතරව සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත යොමු කර, විශ්‍රාම දිවියට පිවිසෙන අයගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීමත් මේ වැඩපිළිවෙළේම කොටසක්. මෙහිදී රජයේ නොවන අවිධිමත් ක්ෂේත්‍රවල කටයුතු කරන පෙදරේරු, ත්‍රීවීල්, වඩු වැඩ වැනි අවිධිමත් ක්ෂේත්‍රවල කටයුතු කරන අයට විශ්‍රාම වැටුපක් සහ රක්ෂණාවරණයක් හිමි වනවා. ඒ වගේම දිළිඳු අයත් සමාජ ආරක්ෂණයේ කොටසක් ලෙස මෙයට ඇතුළත් වෙනවා. ඒ අනුව ක්‍රියාකාරකම් පහක් හඳුනාගෙන, ඒ ඔස්සේ ඔවුන් සෑම අතින්ම සවිබලගැන්වීම මෙමඟින් සිදු වනවා.

මේ සැලසුම් ආරම්භ කර දිස්ත්‍රික්ක 24 පුරාම ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරමින් තිබෙනවා. ඒ වගේම ගම්වලට ගොස් එහි සිටින දිළිඳුම ප්‍රජාව හඳුනාගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අයට ආර්ථික වශයෙන් ස්වයංරැකියාවක් වෙන්න පුළුවන්, කණ්ඩායම් (ගොවිපොළවල්) වශයෙන් වෙන්න පුළුවන්, කර්මාන්ත මට්ටමෙන් වෙන්න පුළුවන් මූල්‍යමය සහයෝගයක් අවශ්‍ය වුණොත් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය සහාය අපි දෙනවා. මේ අනුව බැලුවම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙවා.

මේ ආකාරයට කෙනකුට තම ව්‍යාපාරයක් සඳහා යම් මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම්, එය ලබා දෙන්නේ කොහොමද?

මේ මුදල් ලබා දෙන්නේ ආධාර වශයෙන් නෙමෙයි; ආදායම් උත්පාදන වැඩසටහන්වලට යොමු කිරීම සඳහායි. මෙහිදී ආකාර දෙකකින් මූල්‍ය පහසුකම් දීමට අප සැලසුම් කර තිබෙනවා. අපගේ අධ්‍යයනයන්ට අදාළව ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ­ායක්ද තාක්ෂණික සහායක්ද යන්න සොයා බලනවා. ඒ අනුව මූල්‍යමය සහායක් අවශ්‍ය නම් රජයේ මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයක් සිදු කර, එය දීමට කටයුතු කරනවා. ඒ අනුව අපි මේ වසර සඳහා රු.මි 55,000ක් වෙන් කර තිබෙනවා. එමඟින් ලක්ෂ පහ දක්වා ණය ලබා ගත හැකියි. මේ ලබා ගන්නා ණය මුදල සඳහා යම් සහන කාලයක් හා 5%කට අඩු පොලියක් යටතේ එය දීමට කටයුතු කරනවා. මේ සියල්ල සිදු වන්නේ අධීක්ෂණයකට යටත්වයි.

පසුගිය කාලයේ මේ ආධාර මුදල් දී තිබුණේ දේශපාලන හිතවත්කම් මතයි. ඔවුන් මේ මුදල් වැය කර තිබුණේ කෑම-බීම සඳහා නැත් නම් මත් වතුර සඳහා? මේ රජය කොහොමද මේ අය වෙන් කර හඳුනාගෙන හරි මාර්ගයේ මේ අය රැගෙන යන්නේ?

අපේ රටේ මූල්‍ය සාක්ෂරතාව නොමැතිවීම දිළිඳුකමට හේතුවක් වී තිබෙනවා. තමන් ලබා ගන්නා ණය මුදල මොන ආකාරයටද වියදම් කරන්නේ කියන කාරණය පිළිබඳ නිසි අවබෝධයක් ඔවුන්ට නෑ. එය දිළිඳු අයට වගේම අපේ සාමාන්‍ය ජනතාව තුළත් තිබෙන ප්‍රශ්නයක්. මේ මුදල් ලබාගෙන 100%ක් නිවැරදිව අදාළ කටයුත්තේ යොදවනවාද කියා සොයා බැලීමට යම් කාලයක් ගත වේවි. පවුල් ඒකකයෙන් ඒකකයට ඒ ඒ සුවිශේෂ තත්ත්වයන්ට අනුව නිරන්තරයෙන් පසු විපරමක් අවශ්‍යයි. නැති නම් වෙන්නේ ණයක් දීලා ඔහේ බලන් ඉන්නයි. අපි ණයක් දෙනවා නම් ඒ ණය ලබා දෙන්නේ ඒ මුදලින් ඉපයීමක් සිදු කර ගෙවන්න පුළුවන් ව්‍යාපෘති යෝජනාවක් එක්කයි. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේදීත් රාජ්‍ය නිලධාරීන්, ප්‍රධාන වශයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවන්, ඒවගේම රේඛීය අමාත්‍යාංශවල ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කෘෂිකාර්මික උපදේශකවරුන්… මේ අය හරහා නිරන්තර පසු විපරමකට ලක් කෙරෙනවා. ඒ අනුවයි අපට මේ කටයුත්ත සාර්ථක කරගත හැකි වන්නේ. ඒ අනුව මේ කටයුත්ත පියවරෙන් පියවර ඉදිරියට යන පසු විපරමක් සහිත ක්‍රියාවලියක්.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division