මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වූ දිගින් වැඩිම වඳුරු පටිපණුවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදි අංශය මඟින් සොයාගෙන ඇත. මේ වඳුරු පටිපණුවාගේ දිග සෙ.මී. 70කට වඩා වැඩි වේ. මෙම පටිපණුවා සොයාගැනුණේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවකුගේ ශරීරය තුළිනි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගලගේ අධීක්ෂණය යටතේ පරපෝෂිතවේදි අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ විසින් මේ පර්යේෂණය සිදු කොට ඇත. වඳුරු පටිපණුවන් ගණයට අයත් වුවද එම විශේෂය තහවුරු කරගැනීම අණුක ජීව විද්‍යාව ආශ්‍රයෙන් ඉදිරියේදී සිදු කෙරෙයි.
මේ පටිපණු විශේෂය ව්‍යාප්ත වන්නේ වඳුරන් මාර්ගයෙනි. වඳුරාගේ මලපහ සමඟ පටිපණු බිත්තරය පසට මිශ්‍ර වන අතර, පසේ සිටින මයිටාවකු විසින් මේ බිත්තර ගිලීම සිදු වේ. එවිට පටිපණුවාගේ කීට අවස්ථාව ඇති වේ. පලතුරු, කීර වැනි ආහාර සේදීමෙන් තොරව ආහාරයට ගැනීමෙන් හෝ නියපොතුවලට පස් ඇතුළු වී තිබී ශරීරගත වීමෙන් පසු එම මයිටා විනාශ වී පටිපණුවා වැඩීම සිදු වේ. වැඩිහිටි පටිපණුවාට අවුරුදු දෙකක් පමණ මිනිස් කුඩා අන්ත්‍රයේ ජීවත් විය හැකියි.
වඳුරු පටිපණුවකු ශරීරගත වී ඇත්නම් කඩින් කඩ ඇති වන පාචනය, උදර වේදනාව, අධෝමුඛ ප්‍රදේශය කැසීම, කාන්සාව, බර අඩු වීම වැනි රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනකුට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. දින දෙකකට හෝ තුනකට වරක් පිටවන හතරැස්, ඍජුකෝණාස්‍රාකාර, දිගටි සුදු පැහැති පණු කොටස් දැකිය හැකි වේ. වඳුරන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, නිතර යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වඳුරු පටිපණුවන් ශරීරගත වීම වළක්වාගත හැකි බව තුෂාරා තන්තිරිගේ පැවසුවාය.