අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය සැමරීමේ උත්සවය දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. පරිසර සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික ආහාර, තිරසර සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පැවති මේ සැමරුම ජෛවවිවිධත්වය සඳහා වූ අංශ කිහිපයකින් සමන්විත විය.
උත්සව සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ පරිසර පද්ධතිය මෙන්ම ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. එය සමස්ත ප්‍රජාවගේම වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ගෙවතු වගාව සහ මීමැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මීමැසි ජනපද සඳහා හිමිකම් ලබාදීමේ සහතික පත්‍රයක්ද අමාත්‍යවරයා විසින් ඊට සම්බන්ධ ප්‍රදේශවාසීන් වෙත පිරිනමනු ලැබිණි.
‘ශ්‍රී ලංකාවේ වර්තමාන ජෛව විවිධත්වය’ අලළා මහාචාර්ය සිරිල් විජේසුන්දර විසින්ද ‘ඌන භාවිත ආහාර බෝග ප්‍රවර්ධනය’ සම්බන්ධයෙන් මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර විසින් ද මෙහිදී දේශන පවත්වනු ලැබීය. දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී ශ්‍රී ලංකාවේ ඌන භාවිත ආහාර හා පලතුරු දැක්මක්ද පැවති අතර, එය නැරඹීමටද අමාත්‍යවරයා ඇතුළු පිරිස එක් වූහ.
ලොව ජෛව විවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටලු, අභියෝග මෙන්ම එහි වැදගත්කම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර, මෙවර එහි තේමාව වූයේ ‘සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය’ යන්නයි.