(රෝගීන් වෙනුවෙන්) “ස්ටාෆ් උමතුවෙන් බැටකන අසරණ රෝගීන්ට පිළිසරණක් නැද්ද?” යන මැයෙන් සිළුමිණ 02-03-2025 පාඨක හඬ පිටුවේ පළ වු ලිපිය සම්බන්ධව රෝහල් බලධාරීන්ගේ අවධානය වහා යොමු වී ඊට නිසි විසදුම් ලබාදී ඇත. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ‘සිළුමිණ’ පුවත්පතට සහ එහි කතුමඬුල්ලට තුති මල් පුද දීමට කැමැත්තෙමු.
කොළඹ මහ රෝහල් පරිශ්‍රයෙහි පිහිටි ස්නායු වෛද්‍ය සායනය කාමර අංක 15 ප්‍රතිකාර පතා දිවයිනේ නන්දෙසින් පැමිණෙන අසරණ රෝගීන් දිගින් දිගටම මුහුණ දුන් එම සායනයට අරක්ගත් රෝහල් සේවිකාවකගේ අනිසි ක්‍රියා කලාපය සම්බන්ධව සිළුමිණ පුවත්පත මඟින් හෙළිකරන ලද සත්‍ය තොරතුරු පිළිබඳව එම රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය වහා යොමු කර නිසි ක්‍රමවේදයක් යටතේ එම සායනය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා අප සායනයට සහභාගි වීමට ගිය අවස්ථාවේ සායන කාමරය පවා පිළිවෙළකට සකස්කර තිබෙන අයුරු දක්නට ලැබුණි. කුඩා ඉඩකඩක රෝගීන් හත් අටදෙනා අඩුක්කර එකි රෝහල් සේවිකාව කටයුතු කළ ක්‍රමවේදයෙන් බැහැරව, වෛද්‍යතුමියන් දෙදෙනා හමුවට රෝගීන් දෙදෙනෙකු පමණක් සහභාගි කරවීම සිදු කෙරිණි. එයද අසරණ රෝගීන්ට මහත් අස්වැසිල්ලක් වී තිබුණි.
ස්ටාෆ් උමතුව ඉවක් බවක් නැතිව පොලීම් පැන අන් අය ඇතුළු කිරීමද දැන් සිදු නොවේ. එය වුව කිසියම් පිළිගත හැකි ක්‍රමවේදයකට සිදුවේ. මෙම සායනයට අරක්ගත් එකී සේවිකාව වහා ඉවත් කර රෝගීන්ටද වෛද්‍යවරුන්ටද ගරු සරුව ප්‍රිය මනාපව හැසිරෙන සේවක මහතකු දැන් පත් කර ඇත. එම සේවක මහතා කාටත් එක ලෙස එක සමානව කටයුතු කිරීමද ඇගයිය යුතුමය.
වෛද්‍ය සායනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට බලධාරීන් ගන්නා උත්සාහය සහ අවධානය අගේකොට සලකමු. එහි කොටස්කරුවකු වු ‘සිළුමිණ’ පුවත්පතටද අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටින්නෙමු.