Home » කෝපි විතකින් දිවිය රසගන්වන දිරිය තරුණයෙක්…

කෝපි විතකින් දිවිය රසගන්වන දිරිය තරුණයෙක්…

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
ඉෂානි මාරසිංහ

කෝපි… උදෑසනක පිබිදීමත්, සවස් යාමයක සැනසීමත් කැන්දාගෙන එන මිහිරි සුවඳ… එය හුදෙක් පානයක් පමණක් නොව, අපේ දවසේ ආරම්භයට ශක්තියක් වන, මිතුරන් හා පවුලේ අය සමඟ ගත කරන සුන්දර අවස්ථාවන්ට පණ පොවන උණුසුම් මිතුරෙකි. අනේක දුක් දොම්නස් අතුරින් ජීවිතය ජීවත් කරවන්නට අදිටන් කරගත් ධෛර්ය සම්පන්න තරුණයකුගේ දෑතින් සකස් වන ‘කැපචිනෝ’ විතක රසය ඊටත් වඩා සුවිශේෂ වන්නේ එහි ඇත්තේ කෝපි ඇටවල සුවඳත්, කිරි පෙණෙහි මෘදු බවත් පමණක් නොව, ඒ හදවතේ අප්‍රමාණ ධෛර්යයත් තිර අදිටනත් එකට මුසු වූ අත්දැකීමක් වන නිසාය.

“කැපචිනෝ ජීවිතයම කරගත්ත මට හිතෙනවා ඉතා කෙටි කාලයකින් මගේ ජීවිතයම වෙනස් පාරකට හැරවුණේ කෝපි කෝප්පයකින් කියලා. කෝපි පාට ජීවිත හරි සුන්දරයි…”

එසේ කියන්නේ කෝපි කෝප්පයෙන් මැවෙන අපූරු මැජික් සුවඳට පණ පෙවූ ඒ තරුණයාය. කැපචිනෝ සිය ආත්මයම කරගත් ඔහු රන්නුලු අසිත කුමාර ය. මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, බතීගම ගමේ ජීවත් වන ඔහු ඉගෙනීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි යොමු වන්නේ සිය ගම වෙරළ ආශ්‍රිතව පැවතීමත්, හිරිකැටිය, දික්වැල්ල, හුම්මානය ආදි සංචාරක කේන්ද්‍රස්ථාන බිහි වී තිබීමත් නිසාය. නොයෙක් අපහසුතා, බාධක, පසුබෑම් මධ්‍යයේ ඇතැම් විට ජීවිතය ගැන කලකිරීමට පවා පත් වූ ඔහු ඒ වන විට සිටියේ ආර්ථික මට්ටමින් ඉතා පහළම තැනකය. එවැනි පසුබිමක ඔහු සිය රැකියාව ලෙස තෝරාගත්තේ හෝටල් ක්ෂේත්‍රයයි.

මුල් කාලයේ තංගල්ලේ හෝටලයක වේටර්වරයකු ලෙස කටයුතු කළ රන්නුලු, ඉන් පසුව හිරිකැටිය ප්‍රදේශයේ හෝටලයේ වේටර්වරකු ලෙසත් සේවය කළේය. ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළුණේ එහිදීය. ඒ අතීතය ඔහු මෙසේ ආවර්ජනය කළේය.

“එතැනදී මගේ ජීවිතය කණපිට පෙරළෙන්න පටන් ගත්තා. දක්ෂ බැරිස්ටර් කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටිය කිංස්ලි අයියා මට හමු වුණේ එහිදීයි. කෝපි හදන මැෂින් එකේ ඉඳලා ඒ හැම දේම විතරක් නෙවෙයි, ආර්ට්වල හැම දෙයක්මත් අකුරක් නෑර මට කියලා දුන්නා.”

කිංස්ලිගෙන් ලද ආභාසයෙන් සහ සිය කැපවීමෙන් කෝපි කලාවේ දිගු ගමනක් යෑමට රන්නුලුට අවස්ථාව සැලසෙන්නේ ඒ අනුවය. ඒ අත්දැකීම් සහ පළපුරුද්දෙන් නිර්මාණය වන්නේ හුදෙක් කෝපි සාදන්නෙක් පමණක් නොවේ. උණුසුම් කෝපි කෝප්පයක සුවඳත්, සිත් ඇදගන්නා විසිතුරු කෝපි කෝප්පයත්, මිත්‍රශීලි සිනාවකින් මුව සරසාගත් ඔහුත් ඔබට හමු වන්නේ වැලිගම ‘ප්ලෑන් බී’ නම් කෝපි අවන්හලේදීය.

‘කැපචිනෝ’ යනු කලාවකි. එය ප්‍රගුණ කිරීම සඳහා ආශාව, උනන්දුව හා දක්ෂතාව එක සේ වැදගත් වේ. තමා උගත් දේ පිළිබඳ වැඩිදුරටත් හැදෑරීමට රන්නුලුට අවශ්‍ය විය. එනිසා Colombo Brew Master Academy යටතේ Barister Local & International Certificate සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් තමන්ගේ ගමන මනාව සකසා ගත්තේය. බාධක මැද්දේ පැමිණි ගමනේ තමා අද සිටින තැන ගැන ඔහු පවසන්නේ ඉතා සතුටෙනි.

“අද මට ගොඩක්ම සතුටුයි මං ඉන්න තැන ගැන. මොකද මට අත දුන්නට වඩා මං ළඟ හිටපු ගොඩක් අය මගෙ දියුණුව දැකලා මාව අයින් කළා. අද ඒ අයම අපේ කොෆි ෂොප්වලට ඇවිත් කෝපි බොනවා. වේටර් කෙනෙක් වෙලා හෝටල් ක්ෂේත්‍රයට ආවත් අද මං ඉන්නේ මැනේජර් කෙනෙක් වෙලා, hear barister කෙනෙක් වෙලා. මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.”

නුදුරු අනාගතයේදීම ‘ටීඑන් කොෆි ෂොප්’ නමින් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම රන්නුලුගේ බලපොරොත්තුවයි. සමාජයෙන් නැඟුණු නොයෙක් අවලාද, අභියෝග පසෙක ලා සිය අරමුණ වෙත ළඟා වූ මේ දිරිමත් තරුණයා ඒ පිළිබඳ පවසන මේ අදහස් තවත් අයෙකුට ආදර්ශයකි:

“ඕක කරලා ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද? ඔයාට බැහැ’ වගේ පසුගාමි අදහස් කියපු අයටත් කෝපිවල වටිනාකම පෙන්නන්න දික්වැල්ල මගේ පුංචි ගමේ කොපි ෂොප් එකක් ආරම්භ කරන එක මගේ ලොකුම හීනයක්. දැන් මාව ජීවත් කරවන්නෙත් කෝපි තමයි.” මේ වන විට අන්තර්ජාලය හා මුහුණුපොත ඔස්සේද ජනාදරයට පත්ව සිටින රන්නුලු පවසන්නේ තිර අදිටනිනි.

කොතරම් බාධක පැමිණියද ඒවාට නොසැලී මුහුණ දීමේ වටිනාකම ඔහු සිය ජීවිතයෙන් සනාථ කරමින් හිඳී. ඒ හැඟීම සිතට ගෙනදෙන්නේ විඩාබර මොහොතක ගත-සිත පුබුදන කෝපි කෝප්පයක් තරම්ම උණුසුම් හැඟීමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division