Home » ජීවන තත්ත්වය ඔසවා තබන දර්ශක කෙරෙහි බැල්මක්…

ජීවන තත්ත්වය ඔසවා තබන දර්ශක කෙරෙහි බැල්මක්…

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

මේ විශ්වයේ සකල මන්දාකිනි, කළුකුහර, තාරකා, ග්‍රහලෝක ආදි සකලවිධ වස්තු සහ පද්ධති සෑදී ඇත්තේ අතිශය කුඩා පරමාණුක අංශු සමුදායක් එක් වීමෙනි. සේපියන්ස් ගොයියාද මේ විශ්වයේ දූවිලිවලටත් වඩා කුඩා එකී අංශුන්ගෙන් සමන්විත බව තරයේ පිළිගනිමි. නැතහොත්, විශ්වය සැදුම්ලත් ඉතා කුඩා අංශු, එකිනෙක විවිධ අනුපාත ඔස්සේ සංවිධානාත්මකව සැකසුණු ද්‍රව්‍ය විශ්වය විසින්, තාවකාලිකව තනා දුන් සිරුරක සේපියන්ස් ගොයියාත් වැඩ වසන බව මනාව වටහා ගෙන සිටී.

ඔබ ඔබේ අභ්‍යන්තරයෙන්ම, ජීවිතයේ යථාර්ථය හා බැඳුණු මරණය, ලෙඩ දුකට පත් වීම, විවිධ කරදර අපහසුතාවන්ට පත්ව විඳවන්නා වූ ජීවිත ස්වරූපය දෙස එකඑල්ලේ බැලිය යුතුය. එය එසේ නොවෙතැයි මතුපිටින් සිතා පලා යනවාට වඩා, එය පිළිගෙන, ඊටද හිස නමා වඩාත් ගැඹුරු සහ ප්‍රබල සිතිවිලි උත්පාදනය කරගත යුත්තේය. මක් නිසාද යත්: විශ්වය විසින් තනා යළි විසුරුවා හරින සේපියන්ස් ජීවිතයේ සැබෑ ස්වරූපය දැනගෙන මේ ඉන්නා ටිකේ යථාර්ථය ගැඹුරින් දැන, සතුටින් ජීවත් විය යුතුය. ඒ ගැන හඬා දොඩා නම් කිසිදු සුගතියක් නැත.

කෙසේ වෙතත්, කාලය සහ අවකාශය අතර ඇදෙන ඉපදීමේ සිට මරණය දක්වා වූ ජීවිත කතාව තුළ සවිඥානකව අප විසින් අත්විඳිය යුතු සහ කියවාගත යුතු බොහෝ දෑ තිබේ. ඒ අනුව මේ ලිපිය ඔස්සේ පෞද්ගලික හෝමෝ සේපියන්ස් ජීවිතයක ජීවන තත්ත්වය (Quality of Life), උසස් මට්ටමකින් පවත්වා ගනිමින්, ලැබුවා වූ මිනිසත් බව උපරිමයෙන් පාවිච්චි කරගැනීම සම්බන්ධව විමසා බලමු.

පෞද්ගලික ජීවිතයක ජීවන තත්ත්වය යනු පුද්ගලයකුගේ සමස්ත යහපැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ තෘප්තිය පිළිබඳ සමස්ත හැඟීමය. ඊට ශාරීරික හා මානසික සෞඛ්‍යය, සබඳතා, මූල්‍ය ස්ථාවරත්වය, ආරක්‍ෂාව සහ සම්පත් සහ අවස්ථා වෙත ප්‍රවේශය ඇතුළු විවිධ අංශ ඇතුළත් වේ. එකී මූලික අංග යටතේ පුද්ගල ජීවන තත්ත්වය පිළිබඳ සියුම්ව විමසා බැලිය යුතුය. එසේම එහිදී, පෞද්ගලික ජීවන තත්ත්වය වූකලි, ඔවුනොවුන්ගේ ජීවන අරමුණු සහ වටිනාකම් සම්බන්ධයෙන් වූ යථාර්ථය පිළිබඳ වූ, පුද්ගල සංජානනය හෙවත් දැක්ම, හැඟීම ආදි ලෙස හැඳින්වෙන ආත්මීය (Subjective) ඇගයීමකි.

එකී පුද්ගලික ජීවන තත්ත්වය (Quality of Life) පිළිබඳ ප්‍රධාන අංග එකිනෙක ගෙන ඒවායේ ඇතුළතට එබී විමසා බලමු. එහිදී, ශාරීරික සෞඛ්‍ය (Physical Health) ගත් විට, කායික සුවය, නිදන්ගත රෝගවලින් නිදහස් වීම, දෛනික කටයුතුවල යෙදීමේ හැකියාව ඊට ඇතුළත් වේ. ‘ආරෝග්‍යා පරමාලාභා’ හෙවත් නීරෝගිකම උතුම්ම සැපත ලෙස බුදු දසුනේ දැක්වේ.

වර්තමානයේ ද පුද්ගල ජීවන තත්ත්වයේ අංක එකේ ප්‍රමුඛතාව දී ඇත්තේ නීරෝගි බවටය. ජීවිතයේ ඕනෑම අවස්ථාවක ලෙඩ වීමත් මරණයත් සිදු විය හැකිය. එහෙත්, ඕනෑම කායික හෝ මානසික ආබාධයක් ඇති වූ විට නිසි වෛද්‍ය ප්‍රතිකාර ගෙන පවතින තත්ත්වය යටතේ සතුටින් සිටින ක්‍රමවේදය දියුණු සේපියන්ස්ලා දනිති. වෛද්‍ය විද්‍යාවේදී ජෛව අත්‍යාවශ්‍ය සංඥා (Vital signs) යනු ශරීර උෂ්ණත්වය, හෘදය ස්පන්දන වේගය, ශ්වසන වේගය (හුස්ම ගැනීම) සහ රුධිර පීඩනය ඇතුළුව මූලික ශරීර ක්‍රියාකාරකම් මැන බලයි. ඒවාට නිශ්චිත සීමාවන් ලබා දී තිබේ. එකී ප්‍රශස්ත සීමාවෙන් එහා මෙහා වූ විට රෝගි බවට නිර්ණය කරයි. මේ මිනුම් පුද්ගලයෙකුගේ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම තක්සේරු කිරීමට භාවිත කරයි.  

වළක්වාගත හැකි රෝග වළක්වා ගැනීමට ව්‍යායාම ඇතුළු දිවි පැවතුම් සකස් කර ගැනීමත්, අවශ්‍ය නම් නියමිත ඔසු ගැනීමත්, වෛද්‍ය සහය නොපැකිළව ගැනීමත් වැදගත්ය. සමහර උදවිය, තමන්ට ලෙඩ නොවන බවටත්, ලෙඩක් වූ විට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමටත් පෙලඹී සිටිති. එවිට අදාළ ව්‍යාධිය විසින් ඔහුගේ ජීවන චක්‍රය සහමුලින්ම උඩුයටිකුරු කර සතුට පලවාහරියි. එය උදච්ච මෝඩකමකි. සමහර විට අධිතක්සේරුවකි. කෙටිකාලීන මානව ජීවිතය සුවපත්ව තබාගනිමින් ගත කිරීම තරම් සැපතක් වෙන කොයින්දැයි සේපියන්ස් ගොයියා නම් ටක්කෙටම දනී.

මානසික සෞඛ්‍යය (Mental Health) ගත් විට, චිත්තවේගීය යහපැවැත්ම, මානසික පැහැදිලිකම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇතුළත් වේ. ආතතිය (Depression) ඇතුළු බොහෝ මනෝ ව්‍යාධිවලින් සමාජයේ බොහෝ අය පීඩා විඳිති. සමහරු තමන්ට ඇත්තේ මානසික ගැටලුවක් බව වත් නොදැන නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගෙන තමනුත් සිය සමීපතමයින්ගේ ජීවිතත් අසතුටට හෙළති. “සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා” හෙවත් සියලු පෘතග්ජන මිනිසුන් කිසියම් වූ මානසික ආබාධයකින් පෙළෙතැයි බුදු වදනේද සඳහන් වෙයි.

රෝගි සහ නීරෝගි මානසික තත්ත්වය යන කාරණාද එකිනෙකාට සාපේක්ෂය. ඒවායේ සීමාව කොතැන දැයි යන්නද විවාදාපන්නය. කෙසේ වෙතත්, තමන්ගේ මානසික ව්‍යාකුල බව විවිධ හේතු නිසා ඇති වේ. බොහෝ විට, ආදර බිඳවැටීම්, පවුල් ආරාවුල්, විභාග අසමත්වීම්, මූල්‍ය අලාභ ආදී බාහිර සාධක මත මානසික ව්‍යාධි ඇතිවේ. එවිට ඒවාට නිසි ප්‍රතිකාර සමඟ කළමනාකරණය නොවූ විට ජීවිත පවා විනාශ වේ.

කිසියම් කරදරයක් තමන්ට ආවිට, එය සිදු වූ ලොව ප්‍රථමයාත්, අන්තිමයාත් තමා නොවන බවත්, ලොව බොහෝ අයට ඒ හා සමානම ගැටලු මින් පෙර ඕනෑ තරම් ඇති වී ඇති බවත් අවබෝධ කරගන්නේ නම් හෝ, හිතවතකු විසින් සහකම්පනයෙන් යුක්තව කියා දෙන්නේ නම් දිවිනසා ගැනීම්ද අඩු වනු ඇත; එසේම මනෝ ආබාධ දුරු කරගැනීමේ මූලික විභවයද ඇති වෙයි.

කෙසේ වෙතත්, ලාංකේය ජන සමාජයේ තමන්ට මානසික ගැටලුසහගත තත්ත්වවලදී එය විශ්වසනීයව අසන්නට හෝ කියන්න කෙනකු නැති වීමත්, මනෝ ආබාධයක් කී විට “එයාට පිස්සු” යැයි කියමින් තවදුරටත් එම පුද්ගල ජීවිතය අනතුරට හෙළන ප්‍රාථමික ස්වරූපයක් දිස් වීමත් දැකිය හැකිය. දියුණු ජනසමාජවල පුද්ගලයන් තුළ අධ්‍යාපනය විසින් සහකම්පනයත්, අනෙකාගේ පුද්ගල සහ පෞරුෂ ගරුත්ව (Respect and Dignity) සුරකිමින් විශ්වසනීයව අදාළ සහයෝගය දීමේ උසස් සමාජ ගුණාංග ස්ථාපිත කර තිබේ. එය ස්ථාපිත සමාජයක සේපියන්ස්ලා මානසික සෞඛ්‍යයෙන් පිරිපුන්ය.

කෙසේ වෙතත්, අධ්‍යාපනය හෝ විභාග පීඩනයත්, පවතින අධික තරගය නිසා අධ්‍යාපනයේ ඉහළම ඉලක්කය ලෙස වෛද්‍ය ඉංජිනේරු වෘත්තීන් වෙතම දරුවන් බලහත්කාරයෙන් තල්ලු කරනු පෙනේ. මෙලෙස, තමන්ට ලබාගත නොහැකි වූ සමාජ ඉලක්ක සිය දරුවන් ලවා ළඟා කරගැනීමට තුන්වැනි ලෝකයේ පවතින අධික තරගය හමුවේ මවුපියන් පෙලඹීම නිසා සමස්ත සමාජයම මනෝ භ්‍රාන්තියක ගිලී පවතී.

සමාජය තුළ අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීම සහ රැකියා අවස්ථා සහ ඒවායේ ආදායම් යහපත් ජීවිතයක් පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කිරීම රටේ දේශපාලනයේ වගකීමකි.

සමාජ සබඳතා (Social Relationships) නමැති අංගය සැලකූ විට, ශක්තිමත් සමාජ සම්බන්ධතා, ආධාරක සබඳතා සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීම ධනාත්මක ජීවන තත්ත්වයක් සඳහා ඉතා වැදගත් වේ.

මූල්‍ය ස්ථාවරත්වය (Financial Stability) නමැති අංගයට, මූල්‍ය සුරක්ෂිතභාවය, සැපපහසු ආදායමක් සහ මූලික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව තිබීම සමස්ත යහපැවැත්මට දායක වේ.

ආරක්ෂාව සහ රැකවරණය (Safety and Security) යන ජීවන තත්ත්ව අංගය සැලකූ විට, තම පරිසරයේ සහ ප්‍රජාව තුළ ආරක්‍ෂාව සහ රැකවරණය පිළිබඳ විශ්වසනීයව දැනීම යන කාරණා උසස් ජීවන තත්ත්වයක් සඳහා අත්‍යවශ්‍ය වේ.

එසේම, සම්පත් වෙත ප්‍රවේශය (Access to Resources) නමැති පුද්ගල ජීවන තත්ත්ව අංශය ගත් විට, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය ආදියට ඇති අවස්ථා සහ සෞඛ්‍යසම්පන්න පරිසරයක් සඳහා වූ ප්‍රවේශය මෙයට ඇතුළත් වේ. නැතහොත්, පුද්ගලයකු ලෙස එවැනි දෑ පහසුවෙන් පරිහරණය කරගැනීමේ විභවය මීට අයත්ය.

පෞද්ගලික වටිනාකම් සහ ඉලක්ක (Personal Values and Goals) යනු පෞද්ගලික ජීවන තත්ත්වයේ තවත් වැදගත් අංගයකි. මෙයට ඇතුළත්, පුද්ගලයකුගේ සාරධර්ම, අරමුණු සහ අභිලාෂයන් ආදි කාරණා, ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ, ඔවුන්ගේ සංජානනය හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නැතහොත් උසස් මානසික හැකියාවන්ගෙන් යුක්ත ජීවියකු නිෂ්පාදනයට ඒවා හේතු වෙයි.

ජීවිතයේ විවිධ අවධි තිබේ. ඒවායේ විවිධ අවශ්‍යතා තිබේ. ළමා කල මවුපියන්ගේ ආදරය රැකවරණය, අධ්‍යාපනය ආදි කාරණා තිබේ. වැඩිවියට පත් වන විට, උසස් අධ්‍යාපනය, රැකියාව, සහකරුවකු/ සහකාරියක සොයාගැනීම, විවාහය, ලිංගික අවශ්‍යතා ඇතුළු බෝහෝ දේ තිබේ.‍ පෞද්ගලික වටිනාකම් යටතේ එක් එක් පුද්ගලයාට මේවා යම් යම් වෙනස්කම් යටතේ වුවද පොදුවේ බලපායි. ඒවා නිසි පරිදි ඉටු කරගැනීමද සතුට ළඟා කරගැනීමකි.

කෙසේ වෙතත්, රටක පුද්ගල ජීවන තත්ත්වය අරබයා වන යටිතල පහසුකම, රටේ දේශපාලනික වැඩපිළිවෙළ මත රඳාපවතින්නක් බව පෙනේ. එහෙත්, මෙකී කාරණා ගැන අවබෝධයක් ඇති පුරවැසියන් සිය ජීවන තත්ත්වය ඉහළට ඔසවා ගැනීම පිණිස අදාළ දර්ශක කෙරෙහි අවධානය යොමු කරමින්, සිය ජීවිත තුළ එකී ඉලක්ක සපුරාගැනීමේ උත්සාහයන් ගැනීම අතිශය වැදගත් බව නම් සේපියන්ස් ගොයියා අවධාරණය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division