Home » යුද්ධයක අවසානය සාමය විය යුතුයි

යුද්ධයක අවසානය සාමය විය යුතුයි

එය විශ්වාස නොකරන්නා යක්ෂයා අදහන්නෙකි

by Mahesh Lakehouse
May 24, 2025 12:31 am 0 comment

මෙවර රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා කළ දෙසුම ශ්‍රී ලංකාවේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාව යළි ආරම්භ කළ හැකි වැදගත් ප්‍රවේශයක් ගැනීමක් ලෙස සැලකිය හැකිය.

මෙහිදී, ශ්‍රී ලංකාවේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ඡාව වාර්ගික යුද්ධය පැවති සමයේ සිදු වූ ආකාරය සහ පශ්චාත් යුද අවධියේ මෙරට පාලකයන් ඒ සඳහා ගත් පියවර කෙබඳුද යන්න විමසා බැලීම වැදගත්ය. පූර්ව යුද අවධියේදී ආණ්ඩු සතු සියලු නොහැකියාවන් යුද්ධය නමැති හේතුවට බැර කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ සමාජය සපුරාම සිතුවේ ආර්ථික, සමාජීය, අධ්‍යාපන හා සංස්කෘතිකමය වශයෙන් බිඳවැටුණු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ නොහැක්කේ අප රටක් ලෙස යුද්ධයට ගෙවන මිල අධික නිසා බවයි. එහි එක්තරා සත්‍යයක් තිබුණත්, පශ්චාත් යුද අවධියේ සිට රාජ්‍යය ප්‍රතිසංස්කරණය නොකෙරුණේ මන්ද යන ප්‍රශ්නය ඊට අනුයාතව විමසීමට සිදු වේ. රාජ්‍යය ප්‍රතිසංස්කරණය නොවූවා පමණක් නොව, රාජ්‍යය කෙමෙන් ගර්හිත රාජ්‍යයක් බවට පත් වී, 2022දී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට තෙමේම ප්‍රකාශ කරගැනීමේ ඛේදවාචකයට මුහුණ දුන්නේය.

වගකීම් පැහැර හැරීම

වාර්ගික යුද්ධය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් වැදගත්ය. එහෙත් ඕනෑම ජයග්‍රහණයක් ඵලදායක වන්නේ හුදු ජයග්‍රහණයෙන් නොව, ඒ පාදමෙහි කරන ගොඩනැඟීම මතය. යුද ජයග්‍රහණයේ අයිතිවාසිකම නියෝජනය කළ දේශපාලන නායකයා ජයග්‍රහණයෙන් පසු රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් රාශියක් තිබුණත්, ඒවා ඒ ආකාරයෙන්ම භාරගත්තේ නැත. යුද්ධය දිනීම යනු සතුරා පලවා හැර, එතෙක් ඔහු භුක්ති විඳි ඉඩකඩම් අත්පත් කරගැනීම නොවේ. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වුවත්, ඒ වන විට උතුරේත් දකුණේත් සමාජ ආර්ථික ශේෂ පත්‍රය එක සමාන විය. මුළු රටම මුහුණ පා සිටියේ නොපෙනෙන අනාගතයකටය. නායකයා පොළොව සිඹ දිය යුතුව තිබුණේ උතුරේත් දකුණේත් ජනයා එක සේම සුරැකීම මෙන්ම සමස්ත රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම මෙතැන් සිට අරඹනවා යන පණිවිඩයයි. ඒ වෙනුවට, දකුණේ දේශපාලන තන්ත්‍රය යුද උන්මාදය රට පුරා ව්‍යාප්ත කිරීමටත්, තවදුරටත් උතුරේ ජනයා වේදනාවට පත් කිරීමටත් ප්‍රෝත්සාහි වීම නිසා, වර්තමාන ජනාධිපතිවරයා රණවිරු සැමරුමේදී කී පරිදිම යුද ජයග්‍රහණය අර්ධ ජයග්‍රහණයක් බවට පත් වූයේ ය. ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදිම, මෙතැන් සිට ඇත්තේ එය සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත් කිරීමේ මහත් වගකීම්සහගත ක්‍රියාවලියයි.

එය සිදු නොවීමේ අර්බුදය

ජනාධිපතිවරයා රණවිරු සැමරුමේදී ප්‍රකාශ කළේ යුද්ධය විරාජිත කණ්ඩායම්වලට ආස්වාදයක් වුවත් පරාජිත කණ්ඩායම්වලට මතු නොව, පොදුවේ රටටත් ජනතාවටත් එය ඛේදවාචකයක් බවයි. 2005, 2010 සේම 2019 රෙජීම තනිකරම ගොඩනැඟුණේ ජාතිවාදය සහ ආගම්වාදය මතය. දෙමළ සහ මුස්ලිම් සතුරකු කාල්පනික බිල්ලකු බවට පත් කරමින් ක්‍රියාත්මක එකී දේශපාලනය බිහිසුණු අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකාවේ සමාජයට ශේෂ කර දුන්නේය. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක ස්වාභාවිකව මතු විය හැකි ප්‍රවණතාව වන්නේ ජාතිවාදය සහ ආගම්වාදය පහසුවෙන්ම අවුළුවාගත හැකි දෙයක් බවට පත්ව තිබීමය. ඊට ප්‍රතිපක්ෂව ජාතීන් අතර සහ ආගම් අතර සහයෝගිතාව ඇති කරගැනීම අසීරු කාර්යයක්ව තිබේ. දේශපාලන බලය අත් කරගැනීමේ ප්‍රධාන උපකරණය ජාතිවාදය බවට පත් කරගත් පක්ෂ අදටත් ඒ අවස්ථාව පාවිච්චි කරමින් පැරණි යල්පැනගිය මාර්ගයේම ගමන් කරනු පෙනේ. ජනාධිපතිවරයා රණවිරු සැමරුමේදී කීවේ කනගාටුවෙන් නමුත් උතුරේත් දකුණේත් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිළවීමට කටයුතු කරන බවයි. ඊට නිදර්ශනයක් සැපයිය හැකි සිදුවීමක් ඒ මොහොතේම වැල්ලවත්තේදී සිදු විය; දෙමළ ජනයාගේ සාමකාමි සැමරුමකට එරෙහිව සිංහල ජාතිවාදයේ තර්ජනාංගුලිය එසවිණි.

ඉකුත් ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද ජනාධිපතිවරයාට ලැබුණත් උතුරේ ජනතාව ඒ වන විට සිටියේ දේශපාලනික වශයෙන් තම තෝරාගැනීම් පිළිබඳ අතරමැදි තත්ත්වයකය. එහෙත් ජනාධිපතිවරයා වැඩ කරගෙන යන ආකාරය නිරීක්ෂණය කළ උතුරේ සහ නැඟෙනහිර ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය කෙරෙහි පූර්ණ විශ්වාසය පළ කළේ නිජබිම පිළිබඳ අනුකාරකවාදි අදහස් වපුළ ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ පවා පසුපසට තල්ලු කරමිනි. දකුණේ පරාජිත පක්ෂ අනුගමනය කරමින් සිටියේ සිංහල ජාතිවාදයත් ආගම්වාදයත් පදනම් කරගෙන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ ඛේදනීය උපාය මාර්ගයයි. එය මෙවර දකුණේදී සාර්ථක නොවූයේ සංකීර්ණතා මැද පවා වත්මන් ආණ්ඩුව දකුණේ ජන මනස තුළ නොසැලෙන විශ්වාසයක් මේ වන විටත් වගා-දිගා කර තිබීම නිසාය. විවිධ අවලාද මඟින් මේ තත්ත්වය වෙනස් කොට යළි දේශපාලන ව්‍යාකුලත්වයක් සමාජය තුළ ඇති කිරීමට විපක්ෂයේ ඇතැම් කොටස් උත්සාහ දරමින් සිටින අතර, එම අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් දේශපාලන යන්ත්‍රණයක් සකස් කරගැනීම කෙරෙහි ආණ්ඩුවද මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇත.

වැරදි ප්‍රවාදයක්

රණවිරු සැමරුමට අදාළව ඊට පෙර සහ පසු වැරදි ප්‍රවාද දෙකක් සමාජගත කෙරිණි. පළමුවැන්න වූයේ ජනාධිපතිවරයා රණවිරු සැමරුමට නොපැමිණෙන බව ප්‍රචාරය කරහැරීමය. එහෙත් ජනාධිපතිවරයා රණවිරු සැමරුමට පැමිණ එතෙක් මෙතෙක් ජනාධිපතිවරයකු විසින් එකී සැමරුමේදී කළ වඩාත් බුද්ධිවාදීම ආමන්ත්‍රණය සිදු කිරීමෙන් පසු පළමු ප්‍රවාදය යටපත් විය. දෙවැනි ප්‍රවාදය වූයේ මෙවර සිදු වූයේ අවසන් යුද සැමරුමය යන්න සමාජගත කිරීමට ඇතැම් පරාජිත කොටස් යත්න දැරීමය. සැබැවින්ම අප සැමරිය යුත්තේ යුද්ධය නොව සාමය බව පැහැදිලිය. ආචීර්ණ කල්පික හා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන කණ්ඩායම්වලට තවදුරටත් අවශ්‍ය වී තිබෙන්නේ යුද්ධය අනෙකාට පීඩාවක් වන ආකාරයට සැමරීමටය. ජනාධිපතිවරයා කීවේ සෑම යුද සෙබළකුම සාමය වෙනුවෙන් යුද්ධයකට මැදිහත් වූවන් ලෙස සැලකිය යුතු බවය. සැබවින්ම එය යුද්ධයක යථාර්ථය විය යුතුය. යුද්ධ කරන්නේ යුද්ධය සඳහා නොවේ; එය ප්‍රහර්ෂයට පත් කරමින් චිරාත් කාලයක් බඩ වඩා ගැනීමටද නොවේ. යුද්ධයේ අවසානය සාමය මෙන්ම සහජීවනය බව විශ්වාස කරන්නේ නැති යම් කෙනෙක් වේද ඔහු යක්ෂයා අදහන්නෙක් විය යුතුය.

ඔබ අත තිබෙන බයිනේත්තු පත්තු නොකෙරෙනු ඇති බවට ප්‍රාර්ථනයත්, කිසිවකුගේ හෝ පපුවට තුවක්කුව එල්ල නොකළ යුතු සමාජයක් අප ඉදිරියේ යථාර්ථයක් වනු දැකීමත් මානව අපේක්ෂාව විය යුතු බවද කී ජනාධිපතිවරයා එකිනෙකා අතර වෛරය සහ පිටුදැකීම වෙනුවට මානව ප්‍රේමය රජයන සමාජයක් ස්ථාපිත කළ යුතුය, ඒ සඳහා යුහුසුලුව ක්‍රියා කළ යුතුය යන ශ්‍රේෂ්ඨතම සංකල්පය රණවිරු සැමරුමේදී ගෙනහැර පෑවේය. මේ අදහස යුදවාදයට මරු පහරක් වන විට මෙවර සමරනු ලැබුවේ අවසන් යුද සැමරුමයැයි ප්‍රවාදයක් මතු කිරීමේ යුදවාදීන්ගේ වෑයම තේරුම් ගතහැකිය.

රටේ ආරක්ෂක වැඩපිළිවෙළ

සරත් ෆොන්සේකා මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ආරක්ෂාව සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර තිබිණි. එකක් වන්නේ විශේෂිත ස්ථානවල කඳවුරු ඉවත් කිරීම සහ යාපනය පලාලි අධිආරක්ෂිත කඳවුරු හරහා මාර්ග විවෘත කිරීම අනුමත නොකළ හැකි බවයි. ඊළඟට ඔහු කියන්නේ හමුදාව කඳවුරු තුළට සීමා කර තැබීම අනතුරුදායක ක්‍රියාවක් බවයි. ඩයස්පෝරාවට අවශ්‍ය නම් යාපනය තුළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දස දෙනකු පහසුවෙන්ම බිහි කළ හැකි බවද කියන ඔහු සහරාන්ලා මෙන් එම ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් දියත් කළ හොත් නැවත සිය ගණනක් කඳවුරු ඇති කිරීමට සිදු වනු ඇති බවටද අනතුරු අඟවයි.

සරත් ෆොන්සේකා තලියෙහි කිඹුලන් දකිනවා යනුවෙන් අපට එම අදහස් එක්විටම නිෂ්ප්‍රභ කළ නොහැකිය. එහෙත් ජනාධිපතිවරයා මතු කරන්නේ වැදගත් කාරණයකි. ඔහු කියන්නේ ජාතික ආරක්‍ෂාවෙහි මූල පදනම ජාතීන් අතර සංහිඳියාව බවයි. ජාතීන් තිරසරව සංහිඳියාවෙන්, මිත්‍රත්වයෙන්, විශ්වාසයෙන් හා සහෝදරත්වයෙන් බැඳී ගිය හොත් මරාගෙන මැරෙන සෙබළුන් බිහි විය හැකි පස අසාර වන්නේය; එහි මරාගෙන මැරෙන මානසික බීජ ප්‍රරෝහණය නොවන්නේය. ෆොන්සේකා කියන පරිදි තම අනෙකා දෙස ඇස ගසාගෙන සිටීමට හැකි වන තාක් අප සාපේක්ෂව ආරක්ෂිතයැයි සිතිය හැකිය. නිරීක්ෂණ ඇස මඳකට වැසුණ හොත් ආරක්ෂාව ඈලියාවට යයි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලොව අතිශය තීක්ෂණ ඔත්තු සේවාවකි. ආසන්න දවසක අයිඑස්අයිඑස් සංවිධානය හයිද්‍රාබාද් නගරයේ සැලසුම් කර තිබුණු ප්‍රහාරය කල් ඇතිව හෙළි කරගැනීමට ඔවුනට හැකි විය. ඒ රෝ ඇස හොඳින් විවර වී තිබුණු නිසාය. එහෙත් කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරය සිදු කෙරුණේ රෝ ඇසටත් වැලි ගසමිනි. මීට වසර කිහිපයකට පෙර බොම්බායේ සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයද ඉන්දියාවට ව්‍යර්ථ කරගත නොහැකි විය. එසේ බලන විට සතුරු දෙපාර්ශ්වයක් අතර වුව මිත්‍රත්වයේ විශ්වාසයෙන් ගොඩනැඟෙන සංහිඳියාව තිරසරය. අනෙකාගේ සතුරු ක්‍රියාව සදාතනිකව නිරීක්‍ෂණය කරනවාට වඩා එය විශ්වසනීයය. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ජාතීන් අතර ප්‍රශ්නයේදී ශ්‍රී ලාංකේය සමාජය මෙතැන් සිට එතැනට රූපාන්තරණය විය යුතු බවය. එනම්: අවිශ්වාසයේ සිට විශ්වාසයේ හදවත් විවර කරගැනීම දක්වා ගමන් කළ යුතු බවය.

යුද්ධයේ නාමයෙන් දකුණේ බොහෝ ජීවිත අහිමි වන විට අප කඳුළු හෙළූ පරිද්දෙන්ම උතුරේ ජීවිත අහිමි වන විටත් ඔවුන් කඳුළු හෙළූ යථාර්ථය ජනාධිපතිවරයා යුද සැමරුමේදී සිහිපත් කළේය. යුද ජයග්‍රහණය ගැන වාගාඩම්බරයෙන් ප්‍රකාශ නිකුත් කළ කිසිම නායකයෙක් පරාජිතයන් දෙස මෙතෙක් දයාර්ද්‍රව බැලුවේ නැත. එසේ නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතීතයට අයත්ව තිබුණු ඒ අවලස්සන ආකල්පය වෙනස් කළේය. යුදධය ආස්වාදයක් හෝ මිහිරි අත්දැකීමක් නොව, සෑම කල්හිම ඛේදවාචකයක්ය යන සත්‍යය මතවාදිව අසමමිතික පරිසරයක වුව නිර්භයව කීමට තරම් අනුර දිසානායක ජනාධිපතිවරයා විවෘත වීම ප්‍රශංසා කට යුතුය.

එතෙකින් නවතිනු නොහැකිය

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් දශක ගණනාවක් තිස්සේ අවිධිමත්ව නමුත් සිදු වෙයි. ජනාධිපතිවරයා මහත් වැර වෑයමෙන් ගොඩනඟමින් සිටින උක්ත සංහිඳියා ප්‍රවේශය මඟින් ඒ සඳහා මඟ හෙළිපෙහෙළි කරගත හැකිය.

විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වර්තමාන රජයේ දිගුකාලීන හා ප්‍රමුඛ ප්‍රයත්නයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය වන අතර, එය රාජ්‍යයේ සංවිධාන ව්‍යූහයේ මූලික පදනමද වන්නේය. අනෙක් අතට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු පුරවැසියන්, තමන් පාලනය විය යුතු අන්දම පිළිබඳව මහජනයාගේම බලය සහිත රාජ්‍යය සමඟ ඇති කරගන්නා ගිවිසුම ලෙසද සැලකිය හැකිය. ජනාධිපතිවරයා කියූ රාජ්‍යයේ විචල්‍ය හා අස්ථාවර පැවැත්ම අවසන් කොට, ඒ වෙනුවට නවීන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට නම් එහි මූලික නීති රාමුවද සාධනීය අරුතකින් වෙනස් විය යුතුය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිමුඩියේ සම්පාදනය කළ නොහැකිය. ඒ සඳහා ව්‍යාවෘත වන්නන්ට හා ආණ්ඩුවට ප්‍රමාණවත් කාලයක් අදාළ කටයුතු සඳහා අවශ්‍යය. එකී ව්‍යවස්ථාව මහජනයාට බර තබන ව්‍යවස්ථා සම්පාදනයක් බවට පත් වීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම, රටේ සියලු ජන සංඝයන්හි අදහස් එහි සම්පිණ්ඩනය වීම වැදගත් වන අතර, ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැඟීමේ තීරණාත්මක සාධකය තෘප්ත කෙරෙන්නේ මහජනයාට කොතරම් දුරට එහි ක්‍රියාකාරි ඉඩ ප්‍රස්තාවක් හිමි වන්නේද යන්න මතය. රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව හා ක්‍රියාමාර්ග ඇත්තේ මේ ව්‍යවස්ථා රාමුවේ සක්‍රියභාවය තුළ බවද කිව හැකිය.

යුද සැමරුමේදී ජනාධිපතිවරයා යුදවාදයට විකල්පව සාමකාමිව සියලු ජන කොටස් වෙත ප්‍රවේශ විය හැකි මාර්ගයකට පිළිපන් බව පැහැදිලිවම දක්නට ලැබුණේ යුද්ධයෙන් ලැබූ අර්ධ ජයග්‍රහණය ලාංකේය ජාතියක් ගොඩනැඟීම දක්වා ගෙන යෑමේ ඥානාන්විත අරමුණ සිය අධ්‍යාත්මයෙන්ම ප්‍රදර්ශනය කිරීමෙනි. යුද සැමරුම නොවැදගත්යැයි අපි කිසිවෙක් නොකියමු. එහෙත් ඉන් එහා ඇති මහජන ගෝලයේ ප්‍රශ්න කන්දරාව ඊට වඩා බරපතළය; සංකීර්ණය. ඉතින් යුද්ධයේ ප්‍රහර්ෂය පසු කොට සාම මාවතේ ගොස්, ජාතීන් අතර ප්‍රශ්නය තිරසරව විසඳාගත යුතුව ඇත. දුර දකින නායකයකු ලෙස ජනාධිපතිවරයා දරන ඒ අනුල්ලංඝනීය ස්ථාවරය සැබවින්ම ප්‍රශස්තය.

විමලනාත් වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division