Home » පිටකොටුවේ ලුණු නැති තොග කඩයක් සොයා ගියෙමි

පිටකොටුවේ ලුණු නැති තොග කඩයක් සොයා ගියෙමි

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
වජිර ලියනගේ

ලුණු නැති නිසා සැලරිය ගෙවීම ප්‍රමාද විය හැකිය” යනුවෙන් බෝඩ් ලෑල්ලක් දැක්කොත් කවුරුත් සිනාසෙනු නියතය. ඒත් මේ ලුණු සහ සැලරිය නොහොත් වැටුප සමඟ ඇති සම්බන්ධය කුමක්ද? එය රෝම අධිරාජ්‍ය තෙක් විහිදී යන ඉතිහාසයකි. රෝම අධිරාජ්‍යයේ මුදල් වෙනුවට හුවමාරු මාධ්‍යයක් ලෙස ලුණු යොදා ගෙන ඇත. වැටුප නොහොත් සැලරිය යන ඉංග්‍රීසි පදය බිඳී ආවේ ලතින් වචනයකිනි. සැලරියම්, සැල් යන ලතින් වචනයේ තේරුම ලුණු (salt) යන්නය. රෝම අධිරාජ්‍යයේ හේවායන්ට ගෙවූ වේතනය කොටසක් ලෙස ලුණු ලබා දීම නිසා සැල් අන්තිමට ඉංගිරිසියෙන් සැලරි විය.

එමෙන්ම ලන්දේසීන් උඩරට අල්ලා ගැනීමට ගත් ප්‍රයත්නයේදී ප්‍රධාන උපක්‍රමයක් වූයේ උඩරට රාජධානියට වෙරළබඩ ප්‍රදේශවලින් ලුණු ගෙන ගිය මාර්ග අල්ලා ගැනීමට උගුල් ඇටවීමය.

“රට වටේම මුහුද ඒ වුණාට ලුණු නැති රටක්” මේ අද බොහෝ දෙනා කියන කියමනක් වුවත් රට වටේ මුහුද තිබුණා කියලා රට වටේම ලුණු ලේවායන් හැදිය නොහැකිය. ලංකාවේ ප්‍රධාන වශයෙන් ලුණු ලේවායන් ක්‍රියාත්මක වන්නේ හම්බන්තොට, පුත්තලම, මන්නාරම, යාපනය, කිළිනොච්චිය, නිලාවේලි හා මඩකලපුව වැනි ප්‍රදේශවලය. මේ අතර මීට වසර 16කට පෙර රයිගම් සමාගමට ලුණු නිපැයුමට ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දෙන්නේ ත්‍රිකුණාමලේය. ඒ සඳහා යොදාගත් භූමිය අක්කර 1800කි. එම අවස්ථාවේ ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 150,000ක් බවත් එයින් සියයට 25 – 30ත් අතර ප්‍රමාණයක් ආනයනය කරන බවය.

ඇත්තටම රට වටේට මුහුද තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ලුණු ලේවායන් ගොඩනැඟීමට අවශ්‍ය ප්‍රධාන සාධක හතරක් තිබේ. ඒ කියන්නේ මුහුද තිබුණා කියා ගෝල්ෆේස් පිටියේ, බම්බලපිටිය හෝ වැල්ලවත්තේ ලුණු ලේවායන් ගොඩනැඟිය නොහැකිය. ලුණු ලේවායන් ගොඩනැඟීමට ප්‍රධාන සාධක වන්නේ මුහුදු ජලය පහසුවෙන් ලබාගත හැකිවීම, අධික සුළං හා සූර්ය තාපය ඇති ජලය වාෂ්පීකරණ ප්‍රදේශයක් වීම, ලබාගන්නා මුහුදු ජලය පහසුවෙන් රඳවා තබාගත හැකි මැටි පසක් ඇති ප්‍රදේශයක් වීම සහ වර්ෂාව ඉතා අඩුවෙන් ඇති ප්‍රදේශයක් වීම ආදියයි. මෙරට ලුණු හිඟය සම්බන්ධයෙන් බොහෝ දෙනා අඳෝනා නඟන්නේ වැස්සෙන් හා ගංවතුරෙන් ලුණු පලදාව විනාශ වූ බවකි.

ලුණු යනු නිවෙසක අනිවාර්යයෙන් තිබිය යුතු ද්‍රව්‍යයකි. නිවෙසකට ගෙවදින විට ගෙන යන දෑ අතර ලුණු ප්‍රධාන වේ. මංගල පෝරුවේදී ලුණු පිළිගන්වන්නේ ජීවිතයට ප්‍රාණවත් බවක් දෙන ජීව පදාර්ථයක් ලෙස එය ජ්‍යොතිෂයේ විග්‍රහ කොට ඇති නිසාය.

අප බොහෝ විට සිතා සිටින්නේ යල – මහ ගොවිතැන අදාළ වන්නේ වී ගොවිතැනට කියාය. එහෙත් ලුණු අස්වැන්නට ද යල – මහ අදාළය. ලුණු සඳහා යල කන්නය සැලකෙන්නේ පෙබරවාරි සිට සිංහල අවුරුදු සමය තෙක්ය. මහ කන්නය සැලකෙන්නේ ජුනි සිට ඔක්තෝබර් දක්වාය. එහෙත් වර්ෂාව නැතිව දැඩි වියළි කාලගුණයක් පැවතියහොත් දිගටම ලුණු නිෂ්පාදනය සිදු කරේ.

දැන් හැමෝම බලා සිටින්නේ ඉන්දියාවෙන් ලුණු තොග ලැබෙන තුරු වුවත් ලංකාව යනු මීට විසි වසරකට පෙර ලුණු අපනයනය කළ රටකි. 2005 දී ලංකා ලුණු සමාගම තම ලුණු අපනයනය කළේ එසේ මෙසේ රටකට නොවේ. ලංකාවේ නිෂ්පාදිත ‘සිඟිති ලුණු’ නම් වෙළෙඳ නාමය යටතේ ලුණු අපනයනය කරන ලද්දේ ජපානයටය. මෙම ලුණු විශේෂය සඳහා වෙනම පාත්ති සැකසිය යුතුවිය. ජපන් ජාතිකයන් ප්‍රිය කරන්නේ අප පරිභෝජනය කරන ලුණුවලට වඩා මැග්නීසියම් අඩංගු ලුණුවලටය. එම ලුණුවල විශේෂත්වය තරමක් තිත්ත රසයකින් යුතු වීමය.

ආහාර පිසීමට හැර අප ලුණු භාවිත කරන ප්‍රධාන අවස්ථාවක් වන්නේ කරවල වේළීමටය. 2002දී පෞද්ගලික වෙළෙඳුන්ට කරවල වේලීම වැනි කර්මාන්ත කටයුතු සඳහා ලුණු අලෙවි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය මඟින් තහනම් කරන ලදි. ඒ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කර්මාන්ත කටයුතුවල නිරත වූවන් අවශ්‍ය ලුණු කෙළින්ම ලුණු සංස්ථාවෙන් මිලදී ගත යුතු බවය. කර්මාන්ත කටයුතු සඳහා අඩු මිලට විකිණීමට බව පවසමින් ඇතැම් කූට වෙළෙඳුන් ඒවා වැඩි මිලට පාරිභෝගිකයන්ට අලෙවි කිරීම මෙම තහනමට හේතු විය. ලුණු යොදා ගන්නා ප්‍රධාන භෝගයක් නම් පොල් හා තැඹිලි වගාවන්ය. කොළඹ පොල් සඳහා ගන්නා ලුණු මිටි තොග අලෙවි වන්නේ ආදුරුප්පු වීදියේය. එහෙත් එම තොග කඩවල පොල්වලට දාන ලුණු ගෝණි නම් අපට නම් දැකගත හැකි නොවීය.

“මොනාද බොසා පොල්වලට දාන ලුණු කාලෙකින් ආවේ නැහැ. පොල්පෝර ටිකක් දාගන්න.” කඩහිමියා කීවේය.

අද ප්‍රවෘත්තියක් ලෙස ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම ලොකු කර පෙන්වුවත් එය ඉතිහාසය දන්නා අයට නම් විමතියක් නොවේ. වසර 2003 පමණ වන විට ලංකාවේ ලුණු අතිරික්තයක් පවා තිබුණ අතර, මෑත යුගයේ මුළුමනින්ම ලුණු ආනයනය ආරම්භ වන්නේ සුනාමියෙන් පසුවය. ලුණු ලේවායන් බොහොමයක් මුහුදු ජලයෙන් විනාශ වීම මීට හේතුවය.

ආයුර්වේදයේ ලුණු වර්ග 8ක් ගැන සඳහන් වේ. සහිඳ ලුණු, සුවස ලුණු, කළු ලුණු, මුහුදු ලුණු, පාංශු ලුණු, බළල් ලුණු, උද්භිජ ලුණු, රෝමක ලුණු ඒවාය. ලුණු ගැන ලියන්නට ගියොත් මේ අතරින් ජනප්‍රියම ලුණු වර්ගය වන සහිඳ ලුණු ගැන පමණක් සඳහන් කරමි. මෙම ලුණු ගෙනැවිත් ඇත්තේ ඉන්දියාවේ සින්දු නම් ප්‍රදේශයකිනි. එම ලුණුවලට සින්දු ලවණ හෙවත් සහිඳ ලුණු ලෙස නම් කොට ඇත. එහෙත් අද එම ප්‍රදේශවල ලුණු සෑදීමක් සිදු නොවන නිසා බේත් කඩවල පෝරණු ලුණු, සහිඳ ලුණු ලෙස වංචාසහගතව විකිණීම සිදුවේ.

ඉකුත් මැයි 15 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ ලුණු ආනයනය කිරීමට අවසර දීමටය. ඒ අනුව ලබන ජුනි 10 දක්වා ලුණු ආනයනයට අවසර ලැබිණි.

පසුගිය සඳුදා පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණයට එක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කීවේ, ලුණු නිෂ්පාදනය කරන්නේ මාලිමා රජයේ වුවමනාවකට නොව ස්වාභාවික ක්‍රියාවලියක් මත බවත් තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරමින් දැනට තිබෙන ලුණු රටපුරා බෙදා දීමට කටයුතු කළ බවත්ය.

“අපි පසුගිය කාලය පුරාම රටපුරා රජයට අයත් ලුණු සමාගම්වල තිබූ ලුණු පාලනයක් සහිතව ලබා දීමට කටයුතු කළා. අවුරුදු සමයෙහි කිසිදු ලෙසකින් ලුණු හිඟයක් මතුවුණේ නැහැ. රට වටේටම මුහුද තිබුණත් ලුණු ඇටයක් හදා ගන්න බැහැ කියලා අපිට චෝදනා කරන අයට අපි කියන්නේ මුහුද වටේට තිබුණ පළියට මේ ලුණු නිෂ්පාදනය අපට වුවමනා ලෙස කරන්න බැහැ. එයට නිසි ලෙස අව් රශ්මිය පමණක් නොවෙයි සුළඟත් තිබිය යුතුයි. ඒ අනුව එහි පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තමා අපි ලුණු ආනයනය කරන්න කටයුතු කළේ. පසුගිය කාලයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතු වුණා ඉන්දියාවේ පැවති යුද තත්ත්වය මත. ඉන්දියාවේ හොඳම ලුණු තිබෙන්නේ ගුජරාට්වල. ගුජරාට් වරාය පසුගිය දින කිහිපයක් වසා තැබීම අපිට ගැටලුවක් වුණා. නමුත් ඉදිරියේදී මෙම තත්ත්වය මඟහැරී යයි. තව දින දෙකකින් ලංකාවට ලුණු තොගයක් එනවා.” යි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයාගේ මේ නිරීක්ෂණයේදී ලුණු අස්වැන්න අඩුවීම ගැන උත්තර බැන්දේ පුත්තලම ලුණු සමාගමේ පාලනාධිකාරිය විසිනි. ඒ පුත්තලමට ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයට වැඩිපුර තුන් ගුණයක වර්ෂාපතනයක් පසුගිය වසරවලදී ලැබීම හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාළ වූ බවය. ඒ සමඟම දින කිහිපයකින් මේ ලේවාවලින් ලැබීමට නියමිතව තිබූ ලුණු මෙට්‍රික්ටොන් සිය ගණනක අස්වැන්න නොසිතූ ලෙස ලැබුණ මහ වැසිත් සමඟ සම්පූර්ණයෙන් අහිමි වූ බව පාලනාධිකාරියේ අදහස වීය.

ලුණු අර්බුදයට හේතුව වැස්ස බව කිවුවත් ආණ්ඩුව කියන්නේ බොරු බවට විරෝධතාවක් එල්ල වූයේ ලංකා ජනතා ප්‍රගතිශීලි පෙරමුණෙනි.

වැස්ස නිසා ලුණු නැති වූ බව කීම පිළිගත නොහැකි බවත් මෙයට පෙර ද වැසි පතිත වුත් ලුණු නැති වුණේ නැති බවත් සමස්ත ලංකා ජනතා ප්‍රගතිශීලි පෙරමුණේ මහලේකම් රාජ් ප්‍රසාද් පවසන ලද්දේ හැටන්හි පිහිටි එම පෙරමුණ කාර්යාලයේදීය.

“මේ වන විට මේ රට තුළ ලුණු හිඟයක් පවතිනවා. ගෙදරක ලුණු නැති වෙනවා කියන්නේ ඒ ගෙදරට අපලයක් බවත් පැවසෙනවා. රටේ ලුණු නැති වෙනවා කියන්නේ රටට අපලයක් ද කියා සැකයක් ද මතු වෙනවා. මේ වන විට මෙම ප්‍රදේශයේ ලුණු කිලෝවක් රුපියල් 350ක් පමණ වෙනවා. කොළඹ පැත්තේ 400ක් පමණ වෙනවලු. මේ ලුණු මිල වැඩි වීමත් සමඟ හෝටල්වල, බේකරිවල නිෂ්පාදන ද ඉහළ යෑමේ අවදානමක් පවතිනවා.” යනුවෙන් රාජ් ප්‍රසාද් ලුණු අර්බුදය ගැන ‘ලුණු ඇඹුල්’ ඇතුව ප්‍රකාශ කළේ ඕං ඔහොමය.

මේ අතර මේ ලුණු අර්බුදය ගැන ප්‍රකාශයක් නිකුත් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයයි.

ආනයනික ලුණු තොග සාධාරණ මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් ලුණු තොග මෙරටට ලැබුණු පසුව මිල තීරණය කෙරෙන බවත්, මේ වන විට මෙරට තොග වෙළෙඳුන් ලුණු ආනයනය කිරීම සඳහා ඉන්දියාවේ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම සංගමය ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම ආනයනික ලුණු සඳහා මෙරට ප්‍රමිති සහතිකය (SLS) ලබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කළ බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

ආනයනකරුවන්ගේ සංගමයේ මතය පකිස්තානයට වඩා ඉන්දියාවෙන් ලුණු ආනයනය වඩාත් පහසු බවය. දකුණු ඉන්දියාවේ ලුණු නිෂ්පාදනයක් නොකෙරෙන අතර, ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ උතුරු ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිත ප්‍රදේශවලය.

කෙසේ නමුත් අප අවසානයේ තීරණය කළේ ‘ලුණු’ තොග වෙළෙඳපොළටම ගොස් ලුණු ගැන තත්ත්වය සොයා බැලීමටය. බෝගහ හන්දියේ සිට ගෑස්පහ හන්දිය තෙක් ඇති තොග කඩ ආරම්භ වන්නේ ඇපල් තොග කඩවලිනි.

මුලින්ම ඇති අත්‍යවශ්‍ය තොග කඩයෙන් ලුණු තියෙනවාදැයි ඇසූ විට කවුන්ටරයේ සිටි පුද්ගලයන් මවිතයට පත්විය. තොග කඩයට ඇතුළුවන තැන ඇති මේසයේ කිහිපදෙනෙකු තුණ්ඩු දැමීමට ගෙවීම් පරිගණක ගත කිරීමට සිටින අතර කුඩා සුදු යකඩ භාජනවල දැමූ හාල්, පරිප්පු, මුංඇට, කව්පි වැනි දේ අඩංගු භාජන 50ක් පමණ ඇත. එහි එක් දීසියක වූයේ කැට ලුණුය.

“උප්පු උප්පු ඉල්ලෙයි” දීසිය අතට ගත් සේවකයා පැවසීය.

ඒ කියන්නේ ලුණු නැති බවය.

“අයියෝ බොසා සිංහල අවුරුද්දෙන් පස්සේ ලුණු ආවේ නැහැ.”

වෙළෙන්දා ලුණු දීසිය ඉවත්කර ගත්තේය. තොග කඩ දෙක තුනකට ගොස් ‘ලුණු’ තිබේදැයි ඇසූවිට කඩයේ සිටි බිල් දාන පිරිස් අපි දෙස බැලුවේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි පිරිසක් දෙස බලන්නාක් මෙන්ය. අපට මුලින්ම ලුණු හමුවූ කඩයේ පෙනෙන්නට නම් ලුණු තිබුණත් ඒවා අසුරා තිබුණේ කිලෝ 50 පොලිතින් උරවලය.

“මාතියා කිලෝ 50 මල්ල රු. 15,000යි.”

“ඒ කියන්නේ කිලෝව රු.300ක් වෙනවා?”

“තුන්සීයට නෙමෙයි මහත්තයා ලුණු කිලෝව දාහටත් හොයාගන්න බැහැ.”

තවත් කඩ කිහිපයකට ගොඩවීමෙන් පසු ලුණු ඇති තවත් තොග කඩයක් සොයා ගැනීමට හැකිවිය.

“කිලෝ 8 පැකට් තියෙන්නේ රු.2700යි.”

“ඒ කියන්නේ කිලෝව රු. 337ක් වගේ නේද?” මම අසා සිටියෙමි.

“හැබැයි කිලෝ 8 ලුණු පැකට් එකක් දෙන්නේ අනික් බඩු රු.20,000ට වැඩියෙන් ගත්ත නම් විතරයි.”

අපට ඊළඟට සොයාගත් ලුණු ඇති කඩයේ කිලෝ 8 ලුණු පැකට් 1ක් මිල කෙරුණේ රු. 3200කටය. කඩේ මුදලාලි ලුණු මිල ගණන් ගැන අපට කිවුවේ රහසක් කියන්නාක් මෙන්ය.

ඊළඟ කඩෙන් කිවුවේ ග්‍රෑම් 400 ලුණු පැකට්ටුවේ මිල රු. 140 වුවත් තොගයට දුන්නේ රු. 160ට බවය.

පීපල්ස් පාක් අසල දුවනගිරි හෝටලයේ වෙළෙඳුන්ගෙන් ලුණු නැතිවීම ගැන ඇසුවෙමි.

“මොන පිස්සුද මහත්තයා, අද උදේ ලුණු කන්ටේනරයක් පුත්තල‍ෙමන් ආවා. ඔය ආපුවා ඔක්කොම හංඟලා. මහත්තයා ඔය ඉස්සරහ කඩේට යන්න, ඒගොල්ල තමයි හෝල්සේල් මාකට් එකේ පරණම ලුණු වෙළෙන්දා.”

අපි එම තොග කඩයට ගියත් ලුණු දක්නට නොවුණද කඩ හිමියා අප සමඟ කතාවට බැස්සේ දැඩි සුහදශීලිවය.

“මහත්තයෝ ලුණුවලට පාලන මිලක් තියෙනවා. ඔය කට්ටිය ලොකු ලොකු ගණන්වලට වික්කට පාරිභෝගික අධිකාරියෙන් එක දඩයයි උසාවි දාල ගහන්න ඕන. ලක්ෂ ගාණක දඩයක් වදින්නේ ඔක්කොම ලාභේ ඉවරයි. ඒකයි අපි ලුණු විකුණනේ නැත්තේ.” ඒ කතාව අසා අප මතකයට ආ කියමනකින් ලිපිය අවසන් කරමි.

පදමට රස දෙයි
වැඩි වුව වැරදෙයි
දියෙන්ම ඉපදෙයි
දියෙන්ම වැනසෙයි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division