අතීතයේ පටන්ම විදෙස් ආකර්ෂණයට ලක් වූ මෙරටට ග්‍රීසිය, මැදපෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් විදේශිකයන් පැමිණි බවට සාක්ෂි පවතී.
ස්වභාව සෞන්දර්යෙන් අනූන වීම පමණක් නොව, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී ඇත. විදේශිකයන්ගේ ලංකාගමනය නූතනයේ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.
එහෙත් සංචාරකයා යන හැඳින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයකුම සංචාරකයකු නොවන බවයි. හිතකර දේශගුණය, ආධ්‍යාත්මික සුවය, සරල දිවි පෙවෙත, සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය හා ඓතිහාසික වටිනාකම ආදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් ලෙස හැඳින්විය හැකිය.
ආර්ථිකයට අඩු වැඩි තරමින් බලපෑම්
නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරය ඔස්සේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී. ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ 1960 දශකයේ සිටය.
ඉන් පසු එළඹි දශක කිහිපය තුළ විටෙක අඩාළ වෙමින්ද විටෙක වර්ධනය වෙමින්ද පැවති එය නූතනයේ ආර්ථිකයට අඩු වැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී තිබේ. 1963 වසරේදී රුපියල් දස ලක්ෂ 6ක පමණ අාදායමක් ලබාගත් අතර 1969 වසරේදී එය රුපියල් දස ලක්ෂ 17 දක්වා වර්ධනය වී තිබිණි.
1977 වසරෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘතභාවය සංචාරක ව්‍යාපාරයේ දියුණුවට බෙහෙවින් ඉවහල් විය. එමෙන්ම එය විදේශීය ආයෝජකයන්ටද ලැබුණු කදිම අවස්ථාවකි. සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් වූ එවැනි කරුණු හේතුවෙන් 1980 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 321,780ක් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දස ලක්ෂ 1,830කි. 1981 වසරේදී මෙය සියයට 39කින් වැඩි වී තිබිණි. 1992 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉපැයුම දස ලක්ෂ 18,500ක් විය. එමෙන්ම ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට විය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කොවිඩ් 19 වසංගත තත්ත්වය පමණක් නොව පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයද දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. එම තත්ත්වය තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටිණි.
කිසිදු විදේශීය සංචාරකයෙකු මෙරටට නොපැමිණි අවස්ථාද දක්නට ලැබිණි. පසුගිය 2020 වසරේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල කිසිදු විදේශීය සංචාරකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. රට පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් වසා දැමීම හා ගුවන්තොටුපොළ වසාදැමීමද මේ තත්ත්වයට බලපෑ හේතු විය.
කැපීපෙනෙන වර්ධනයක්
කෙසේ නමුත් මේ වසරේ (2025) මුල් මාස 4ක කාලයේදී විදෙස් සංචාරකයන් 896,884 දෙනකු මෙරටට පැමිණ තිබේ. එය පසුගිය වසරේ එම කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් 784,651ට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් සංචාරකයන් 174,608 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 148,867ට සාපේක්ෂව 17.3%ක වර්ධනයකි. මූලාශ්‍ර වෙළෙඳපොළවල් අතරින් මේ වසරේ අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම්වලින් වැඩිම පිරිසක් ඉන්දියාව විසින් වාර්තා කර තිබෙන අතර, එය මුළු සංචාරක පැමිණීම්වලින් 22.2%කි. සංචාරක සංඛ්‍යාව ගත් විට එය 38,744කි. ඊට අමතරව පසුගිය අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානියෙන් සංචාරකයන් 17,348ක්, රුසියාවෙන් 13,525ක්, ජර්මනියෙන් 11,654ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 10,744ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව මේ වසරේ මුල් මාස හතරක කාලයේදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 896,884 දෙනකු පැමිණ තිබෙන අතර, එයින් ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් සහ රුසියාවෙන් පැමිණ තිබීමද විශේෂත්වයකි. එමෙන්ම ඉන්දියාවෙන් සංචාරකයන් 157,059 දෙනකු සහ රුසියාවෙන් 107,093 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට අමතරව එක්සත් රාජධානිය (87,053), ජර්මනිය (61,855), ප්‍රංසය (51,642), චීනය (48,180), ඔස්ට්‍රේලියාව (38,097), එක්සත් ජනපදය (25,384), පෝලන්තය (23,863), නෙදර්ලන්තය (21,387) සහ බංග්ලාදේශය (20,029) වැනි රටලින්ද මෙරටට පැමිණ තිබේ.
මෙරටට විදේශ විනිමය
මෙලෙස විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වීමෙන් වාර්ෂිකව මෙරටට විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 10,000ට වැඩි ප්‍රමාණයක් එක් වනු නිසැකය. ඒ අනුව එම කර්මාන්තයේ ප්‍රතිලාභ ඍජුව හා වක්‍රව කර්මාන්තයේ නියැළී සිටින ලක්ෂ තුනකට වැඩි පිරිසකට වාසිදායක තත්ත්වයක් වනු ඇත. සංචාරකයන් ගෙන්වාගැනීමේදී එම කර්මාන්තයේ දියුණුව අපේක්ෂා කරමින් යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙන අතර, අරුගම්බේ ඇතුළු සංචාරක කලාප හඳුනා ගනිමින් ඒවායේ සංවර්ධනය වේගවත් කිරීමට පියවර ගෙන තිබීම සංචාරක කර්මාන්තයේ හෙට දවස යහපත් කිරීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් වනු ඇත. සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද සහයෝගය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වත්මන් රජය විසින් ඉතා කෙටිකලක් තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. රටේ ප්‍රධාන සංචාරක නගර යා වන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, එකී මාර්ගවල සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීමට කටයුතු කෙරේ. සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේදී සිදු වන ප්‍රමාද සහ කොළඹ නගරයට පැමිණීම වළක්වා ගැනීම සඳහා සංචාරක නගරවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද කටයුතු කර තිබේ. එමෙන්ම සංචාරක ප්‍රදේශ, සංචාරක නගර, සංචාරක පාසල් සහ සංචාරක හෝටල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වා දෙන අතර මේ වන විට තිබෙන පාඨමාලාවලට අමතරව සාමාන්‍ය පෙළ සුදුසුකම් රහිත, එහෙත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන සහ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දු වන තරුණ තරුණියන්ට හැදෑරිය හැකි ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක්ද හඳුන්වා දෙනු ලැබේ.
ස්වයංක්‍රීය ඇතුළුවීමේ දොරටු
අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන් කිරීම, ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයන්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර සහ ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි වන ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සිය සංචාරක ස්ථාන සඳහා ස්වයංක්‍රිය ඇතුළු වීමේ දොරටු ක්‍රමයක්ද හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරයි. සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා නව සේවා හඳුන්වා දීම, සාප්පු සංකීර්ණ ඉදි කිරීම, අභ්‍යන්තර ගුවන්සේවා හා අනෙකුත් ප්‍රවාහන සේවා දියුණු කිරීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය තුළ පුහුණු හා නුපුහුණු සේවා සපයන්නන්ගේ ප්‍රමාණය දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කෙරේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා උපායමාර්ගික ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එවැනි වැඩසටහන් රැසක් මේ වන විටද ක්‍රියාත්මක කර තිබේ. එයින් අපේක්ෂා කරන්නේ රටේ සංවර්ධනය මෙන්ම වැඩි වශයෙන් විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම හරහා සංචාරක කර්මාන්තයේ නිරත වන්නන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමයි.
සංචාරක ආකර්ෂණීය ස්ථාන බහුල වශයෙන් පැවතීම, යටිතල පහසුකම් සංවර්ධනය, ගුවන්තොටුපොළ නවීකරණය හා කාර්යක්ෂම කිරීම, ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තයක් බවට අන්තර්ජාතික සංවිධාන හා සඟරා මඟින් පෙන්වා දීම ආදිය හේතුවෙන් අද වන විට සංචාරකයෝ මෙරටට විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. පසුගිය කාලයේදී කඩාවැටීමට ලක් වූ සංචාරක කර්මාන්තය අද වන විට සැනසිලිදායක මට්ටමට ළඟා වී ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට පමණක් නොව; සමස්ත රටවැසියන්ටම මෙය හිතකර තත්ත්වයක් වනු ඇත.