Home » වසර ගණනාවක් තිස්සේ සමාගමේ ලොක්කන් ලුණු කෑ හැටි!

වසර ගණනාවක් තිස්සේ සමාගමේ ලොක්කන් ලුණු කෑ හැටි!

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

– සමහර ආදායම් ආ-ගිය අතක් නෑ
– 2020දී පලටුපාන ලේවායේ මෙ.ටො. 16.27ක් වසර 3ක් තිස්සේ වේදිකාවල ඔහේ ගොඩගහලා
– චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නිලධාරීන් 402කට කෝටි 3ක දීමනා ගෙවලා
– 2022දී සුපර් ග්‍රේඩ් ලුණු මෙ.ටො. 569.25ක් පොල්අතුවලින් වහලා තියාගෙන; පාඩුව කෝටි 3ක්

ශ්‍රී ලංකාව වටේටම මහමුහුදය. ඒ මහමුහුදින් නොමිලයේම ලැබෙන මුහුදු ජලයෙන් ලුණු නිපදවන්නට අපට වැය වන්නේ ඉතා සුළු මුදලකි. භූතානය වැනි රටවල ලුණු කුඩු කි.ග්‍රෑ. 1 ක මිල ඉන්දීය රුපියල් 285ක් පමණ වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රු. 1000ක් පමණ වන්නේය. එහෙත් අපේ රටේ රු. 50කටත් අඩු මුදලකට අයඩින් මිශ්‍රිත ලුණු කුඩු ග්‍රෑම් 100 පැකට්ටුවක් මිලට ගත හැකි විය. එය රුපියල් 80ක් 100ක් දක්වා මිල ඉහළ ගියේ මෑතකදීය. දශක ගණනාවක් පුරා අපට ලුණුවලින් කිසිදු ගැටලුවක් වූයේ නැත. රටවල් රැසකට අපේ ලුණු අපනයනය කරන්න හැකි වූයේද ඒ අනුවය.

අලිමංකඩ ලුණු ලේවාය ත්‍රස්තවාදි කලබල සමයේ ක්‍රියාත්මක නොවුණද මෙරට කිසිදු ලුණු හිඟයක් ඇති නොවීය.

එහෙත් පසුගිය වසරකට ආසන්න කාලයක් තුළ එක්වරම මෙරට ලුණු හිඟයක් ඇති වන්නට විය. එයට එක් එක් කතා ඇසෙන්න විය. අධික වර්ෂාව ලුණු නිපැයුමට බාධාවක් බව එක් තැනක කියවිණි. විශේෂයෙන්ම මාධ්‍යයට ලැබුණු තොරතුරු අනුව දැක්වුණේ මෙරට වසරක ලුණු අවශ්‍යතාව මෙ.ටො. 180,000ක් බවත්, පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය මෙ.ටො. 120,000 දක්වා පහත වැටීම නිසා ලුණු හිඟයක් හටගත් බවත්ය. ඒ ලුණු නිෂ්පාදනයට සම්බන්ධ වගකිව යුත්තන්ගේ කතාවන්ය.

කාලගුණ බලපෑම්හි සත්‍යයක් ඇත. එහෙත් අපට මතු වන ගැටලුවක් ඇත. ඇත්තෙන්ම මීට පෙර ගංවතුර ඇති නොවූයේද? එවැනි අයහපත් කාලගුණික තත්ත්වයන් ඇති නොවූයේද? ඇත්තෙන්ම හොඳින් අවධානය යොමු කර බැලුව හොත් සුනාමිය මඟින් රටම හැඬවූ වසරේ පවා අපට කිසිදු ලුණු හිඟයක් ඇති නොවීය. කොවිඩ් සමයේ පවා ලුණු හිඟයක් ඇති වූයේ නැත. එසේ නම් එක්වරම මේ හිඟයට හේතුව කුමක්ද? එය කාලගුණයට භාර දී අතපිසදාගැනීම නම් කිසිසේත්ම පිළිතුර නොවන බව මේ කරුණු අනුව අපට පැහැදිලිය.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙරද මේ තත්ත්වය උදා විය. එසේ නම් මේ වෙනුවෙන් ප්‍රබල හේතුවක් තිබිය යුතුමය. ඒ ගැන ගැඹුරින් අප අවධානය යොමු කළ හොත් මිස, මේ කතාන්දරයේ නිසි අග-මුල සොයා ගැන්මට හැකි නොවනු ඇත.

ලංකා ලුණු සමාගමේ 2023 විගණන වාර්තාවෙන් මේ බොහොමයක් පැනයන්ට පිළිතුරු සැපයෙනු ඇත. එහි සඳහන් අන්දමට 2023 වසරේ ලංකා ලුණු සමාගම ලුණු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය පරිදි හා අවශ්‍ය ප්‍රමාණයන් නිසි කලට ලබා නොදීම නිසා නිපදවන ලද ලුණු මෙ.ටො. 1816.19ක් විනාශයට පත්ව ඇත. එහි වටිනාකම රු. 6,5‍4,25,279කි. මේ ප්‍රමාණය කිලෝග්‍රෑම්වලින් නම් 1,816,190කි; එය ග්‍රෑ. 100 පැකට් ලෙස නම් 1,81,61,900කි. මේ ප්‍රමාණය මෙරට පවුල් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වැඩිය.

එමෙන්ම 2020 වසරේ පලටුපාන ලුණු ලේවායේ ලුණු මෙ.ටො. 16.27ක් වසර 3ක් තිස්සේ කිසිදු ආරක්ෂාවකින් තොරව වේදිකාවල තැන්පත් කර තැබීම හේතුවෙන් පැහැය වෙනස් වී, දිය වී ගොස් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එම ලුණු තොගයේ වටිනාකම රු. 520,640ක් බවද වාර්තා වී තිබේ.

මේ කතාව එතැනින් නතර වන්නේ නැත. කොවිඩ් සමයෙන් පසුව ලුණු නිෂ්පාදනය හොඳින් සිදු වීගෙන යද්දී, 2022 වසරේ සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙ.ටො. 569.25ක් නිසි පරිදි ආරක්ෂා නොකර පොලිතීන් හා පොල්අතු පමණක් යොදා ආවරණය කර දීර්ඝ කාලයක් තැබීම හේතුවෙන් පොලිතීන් හා පොල් අතු මිශ්‍ර වී ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. එහි වටිනාකම රුපියල් කෝටි 3කට ආසන්නය (රු. 2,73,24,000කි). මේ භාවිතයට ගත නොහැකි වී ඇත්තේ සාමාන්‍ය ලුණු නොව, සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු බව මතක තබාගත යුතුය.

එසේම බුන්දල ලුණු ලේවායේ 2016, 2018, 2019,2020 හා 2021 වසරවල නිෂ්පාදනය කළ ලුණු මෙ.ටො. 73.98ක් කාලයක් තිස්සේ ගොඩගසා අලෙවි නොකර තිබීමෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එහි වටිනාකම රු. 23,42,398කි.

මීට අමතරව, 2019 වසරේ ලුණු ප්‍රවාහනයෙන් ලංකා ලුණු සමාගමට හිමි විය යුතු රු. 7,579,030ක් අස්ථානගත වී ඇති බවද අනාවරණය වී තිබේ. එමෙන්ම, ප්‍රසම්පාසන කමිටුවේ කිසිදු අනුමැතියකින් තොරව ලුණු ඇසුරුම් මිලියන 2.5ක් පෞද්ගලික සමාගමකින් ලුණු සමාගම මිල දී ගෙන ඇත්තේ රුපියල් 2, 39,25,000ක් වැය කරමිනි. එය සම්පූර්ණයෙන්ම අක්‍රමිකතාවක් මෙන්ම මහාපරිමාණ දූෂණයක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද විගණන නිර්දේශයේ දක්වා ඇත.

මීට අමතරව, ලුණු සමාගම හා සම්බන්ධ මෑතකාලීනව සිදු වූ තවත් බොහෝ අක්‍රමිකතා රැසක් තිබේ. එයින් මුල් තැනක් ගෙන ඇති කරුණක් ලෙස පෙන්වා දිය හැක්කේ 2023/ 2024 වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරි සැලැස්ම ප්‍රධාන අරමුණු 8කට අදාළව උප-ක්‍රියාකාරකම් 30කින් සමන්විත වී තිබුණු නමුත්, ඉන් ක්‍රියාකාරකම් 7ක ප්‍රගතිය 0% වී ඇති බවයි. එමෙන්ම ක්‍රියාකාරකම් 5ක ප්‍රගතිය 20%ත් 50%ත් අතර පරාසයක පැවතිණි.

මේ සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම වී ඇත්තේ බොහෝ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබුණද ප්‍රමුඛතාව දීම් සහ පවතින අයවැය ප්‍රමාණය මත ඇතැම් ක්‍රියාකාරකම් වසර මැද භාගයේ අඩු කරන ලද බවයි. එහෙත් විගණනයේ නිර්දේශය වී ඇත්තේ ප්‍රායෝගික තත්ත්ව සලකා බලා සැලසුම් සකස් කළ යුතු අතර, සැලසුම් කළ පරිදි කාර්යයන් නිම කිරීමට කටයුතු කළ යුතු බවයි.

මීට අමතරව, 2024 පෙබරවාරි 28 දින විගණනය විසින් අලිමංකඩ ලුණු ලේවායේ සිදු කරන ලද තොග භෞතික පරීක්ෂාව අනුව ශේෂය හා එදිනට නිෂ්පාදන ලේඛන අනුව ශේෂය අතර රු. 13,548,600ක වටිනාකමැති මෙ.ටො. 408.4ක් (දළ වශයෙන්) තොග ඌනතාවක් නිරීක්ෂණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් කළමනාකාරිත්වය අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, අදාළ සේවකයන්ට දඬුවම් දී ඇති අතර ඌනතාව නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බවයි. විගණනයේ නිර්දේශය වන්නේ පවතින භෞතික තොගය හා එදිනට තොග ලේඛනයේ ශේෂය සැසඳීමේදී වෙනස්කම් ඇත්නම් ඒවාට අදාළ ගැළපීම් ද සිදුකළ යුතු බවයි.

එමෙන්ම, සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලද විශාල ගැටලු පැන නැඟී ඇත. ඒ අනුව රු. 19,302,311ක් වූ සමාලෝචිත වර්ෂයේ ආරම්භක තොගය රු.16,939,123ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබීමෙන් වර්ෂයේ ලාභය රු.2,363,188කින් අධිගණනය වී තිබිණි. එසේම, එම වර්ෂයට අදාළ ස්ථාවර තැන්පතු පොලී ආදායම රු.56,736,709ක් වුවද, එය රු. 58,216,559ක් ලෙස රු.1,479,850කින් වැඩියෙන් දැක්වීම නිසා වර්ෂයේ ලාභය එම අගයෙන් අධිගණනය වී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම වී ඇත්තේ එම දෝෂය 2024/ 25 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කරන බවයි.

එමෙන්ම, දේපළ පිරියත උපකරණ යටතේ දක්වා ඇති යටිතල පහසුකම් සංවර්ධන පිරිවැය සඳහා 15%ක් වූ ක්ෂය අනුපාතය 15.4%ක් ලෙස ගෙන, ක්ෂය ගණනය කිරීම හේතුවෙන් ක්ෂය වියදම රු.385,370කින් වැඩියෙන් හා වත්කම් එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබිණි.

මීට අමතරව, නීති-රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම් රැසක්ද වාර්තා වී ඇත. ඒ යටතේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් නව බඳවාගැනීම් ලෙස පත් නොකළ යුතු වුවද 2023 අප්‍රේල් 11 දින සිට සමාගමට විධායක අධ්‍යක්ෂවරයකු බඳවාගෙන ඔහුට රුපියල් 1,597,896ක වැටුප් හා දීමනා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවීමද වාර්තා වී ඇත.

එසේම සේවකයන්ට ඉතිරි නිවාඩු වෙනුවෙන් දීමනා ගෙවීමේදී භාණ්ඩාගාරයෙන් මුදල් නොගත යුතු වුවත්, එම කොන්දේසි කඩ කරමින් ස්ථිර සේවකයන් 59ක් සඳහා එසේ දීමනා ගෙවා ඇත.

එමෙන්ම භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නිලධාරීන් 402ක් සඳහා රුපියල් 28,510,500ක පැමිණීමේ දීමනාවක් හා සභාපතිවරයාගේ නවාතැන් පහසුකම් සඳහා රුපියල් 339,643ක වියදමක් දරා ඇත. ඒ සියල්ල චක්‍රලේඛ උල්ලංඝනය කිරීම්ය.

මේ අනුව අපට පැහැදිලි වන්නේ කාලගුණික විපර්යාස හෝ දේශගුණික විපර්යාස බලපවත්වන්නට ඇති වුවද, ලුණු සමාගමේ අකාර්යක්ෂමතාව හා සිදුව ඇති අක්‍රමිකතා හා නොසැලකිලිමත්කම් සියල්ල ද මේ ලුණු හිඟයට හේතු වී ඇති බවයි.

ඉදිරියේදීත් මේ තත්ත්වය ඇති වන්නට බොහෝ ඉඩකඩ තිබේ. ඒ වෙනුවෙන් අදම පියවර ගත යුතුය. එසේ නැත් නම් අපට ලුණුයි බතුයි කන්නට ලුණු බිඳක් හෝ සොයාගැන්මට නොහැකි වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division