– සද්දෙ දාගෙන පාරේ පිම්මේ ගිය අය කොටු වන්නේ බණ්ඩාරගම, පාණදුර සහ මාතරදීය
– වෙසක් දවස්වල පාරේ චණ්ඩිකම් පෙන්වූ මෝටර් බයිසිකල් 74ක් සහ පැදිකරුවෝ 74ක් අත්අඩංගුවට
ඉකුත් සතියේ සුවිශේෂී තොරතුරක් මාධ්‍ය මඟින් අනාවරණය කැරිණි. ඒ මේ වසරේ ජනවාරි 01 දා සිට ගතවූ දින 129ක් ඇතුළත රිය අනතුරුවලින් පුද්ගලයන් 914 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. රිය අනතුරු 874කදි මෙම මරණ ගණන සිදුවී ඇති බවද එහිදී හෙළිවිය. මේ කතාවේ තැති ගන්වනසුලු පුවත නම් රිය අනතුරුවලින් එම කාලය ඇතුළතදි මරණ 07ක් දෛනිකව වාර්තා වී ඇති බවයි. මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ වැඩිපුරම අනතුරුවලට ලක්වී ඇති වාහන වර්ග දෙක බවද අනාවරණය වී ඇත.
අපරික්ෂාකාරීව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, නොසැලකිල්ල, වාහනවල ඇති දෝෂ මේ අනතුරුවලට මූලික වී ඇති බවද එහිදී හෙළිවිය. මේ අතරින් මෝටර් බයිසිකල් අනතුරුවල ද යම් වැඩිවීමක් පෙනෙන්නට තිබීම ද සුවිශේෂීය. මෝටර් බයිසිකලය බොහෝ දෙනාට ලොකු මෙහෙයක් සිදුකරන වාහනයක් වුවත් දැන් දැන් එය විශේෂයෙන් සමහර තරුණ ප්‍රජාව අතර පරිහරණය වන්නේ ඉතා අධික වේගයෙන් ගමන් කිරීමේ තරග සහ මාරක විනෝදාංශ සඳහා යොදා ගන්නා වාහනයක් වශයෙනි.
විදේශ රටවලින් නීති විරෝධිව මෙරටට අධිබලැති මෝටර් බයිසිකල් කොටස් වශයෙන් ගෙවා මෙරටදී ඒවා එකලස් කර අධිබලැති එන්ජින් ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකල් ලෙස නිෂ්පාදනය කර මේ සඳහාම සැදී පැහැදී සිටින පුද්ගලයන්ට රුපියල් ලක්ෂ ගණන්වලට විකිණීමේ ජාවාරම් ක්‍රියාත්මක වන්නේ අද ඊයේක සිට නොවේ. පොලීසිය සහ වගකිව යුතු අංශ මෙවැනි ජාවාරම්කරුවන් රැසක් පසුගිය කාලයේදී කොටුකරගෙන තිබීම ද සුවිශේෂීය.
මෙලෙස නීති විරෝධීව එකලස්කරන අධිබලැති මෝටර් බයිසිකල් මෙරට මාර්ගවල ධාවනය මුළුමනින්ම තහනම් වුවත් ඒවාට ව්‍යාජ පොත්පත්, සහතික සහ ලියාපදිංචි අංක ද යොදාගෙන ධාවනය කැරද්දි පොලිසියට කොටුවූ අවස්ථා ද එමටයි. මුහුණුපොත ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලබන මෙම අධිබලැති ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකල් තරග ගැනද පසුගියදා වාර්තා වූ අතර පොලීසිය ඒවා වැටලීමට කටයුතු කර තිබුණි.
මෙලෙස අධිබලැති ධාරිතාවෙන් යුත් ඇන්ජින් සහිත මෝටර් බයිසිකල් ගැන කතාව අලුත් වටයකින් පසුගියදා කරළියට එන්නේ වෙසක් දිනවල මේ මෝටර් බයිසිකල්වලින් මහමඟ ගිය කල්ලි කණ්ඩායම් මහජනතාවට සිදුකරන ලද පීඩාව සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන ද විමර්ශන නිසාය. වෙසක් සිරි නැරඹීම සඳහා ගමන් කරන ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් හැසිරෙමින් අධික ශබ්ද නඟමින් මහමඟ ධාවනය කළ මෝටර් බයිසිකල් 74ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ඒ බණ්ඩාරගම, පානදුර, උතුර සහ මාතර පොලිස් ස්ථානවල නිලධාරීන් සිදුකරන ලද මෙහෙයුම්වලදීය.
මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී ලැබුණු තොරතුරුවලට අනුව පොලීසිය මේ වැටලීම් සිදුකරන ලදි.
වෙසක් සිරි නැරඹීමට මහමඟ ගමන් කරමින් සිටි ජනතාවට බලවත් ලෙස පීඩා ඇති කරන අයුරින් අධිබල ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකල් හතරක් ඇතුළු මෝටර් බයිසිකල් 20කින් අධික ශබ්දය නිකුත් කරමින් ගමන් කළ පුද්ගලයන් දහසය දෙනෙක් බණ්ඩාරගම පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ බණ්ඩාරගම නගරය සහ ඒ අවට සිදුකරන ලද මෙහෙයුම්වලදීය.
නීති විරෝධි අන්දමින් මෙරටට කොටස් ආනයනය කර එකලස් කළ රුපියල් කෝටි දෙකහමාරකට වඩා වැඩි වටිනාකමින් යුත් බවට සැක කරන අධිබලැති මෝටර් බයිසිකල් 4ක් සහ වෙනත් මෝටර් බයිසිකල් 16ක් මෙසේ අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගන්නා ලද අධිබලැති ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකල් හතර පොලිස් නිලධරයන්ගේ පරික්ෂාවට ලක් වන්නේ ඉන් අනතුරුවය. එම මෝටර් බයිසිකල්වල ලියාපදිංචි අක තහඩු පරික්ෂා ෙකරිණි. එහිදී හෙළිවන්නේ ඒවා සැකකටයුතු බවයි. ඉන් එක් අධිබලැති මෝටර් බයිසිකලයක් පිළිබඳ තවත් තොරතුරක් හෙළිකර ගැනීමට පොලීසියට හැකිවිය. එම අධිබලැති ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකලය මීට මාස කිහිපයකට කලින් කටාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි අයිතිකරුට රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක දඩයක් නියම කර ඇති බව හෙළිවිය. එලෙස අල්ලා ගැනුණු මෝටර් බයිසිකල් හතරෙන් තවත් එකකට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවද හෙළිවිය. තෙවැනි මෝටර් බයිසිකලය වෙනත් මෝටර් බයිසිකලයක ලියාපදිංචි අංක තහඩුවක් සවිකර ධාවනය කරද්දී මීට කලින් අත්අඩංගුවට ගනු ලැබූ එකකි. සෙසු මෝටර් බයිසිකලය ද මීට පෙර එවැනි නීතිමය කටයුත්තක් සඳහා අත්අඩංගුවට ගන්නා ලද එකක් දැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වෙයි.
බණ්ඩාරගම පොලීසිය මේ මෝටර් බයිසිකල් 20 සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී හෙළිවූයේ ඒවායේ නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර ධාවනය කර ඇති බවයි. ඉන් අනතුරුව මේ මෝටර් බයිසිකල්වලින් ධාවන ක්‍රියාවලියේදී අධික ශබ්දයක් නැඟෙන අතර ඉන් මහජනතාවට පීඩාවක් සිදු වුවත් ඒවා ධාවනය කළ අය ඉන් විනෝදයක් ලබා ඇති බවද හෙළිවිය.
මේ මෝටර් බයිසිකල්වලින් නැෙඟන හඬ මිනිසුන් බිය වද්දන භීතියට පත්වන සහ පීඩාවට පත්වන සලු නිසා ඉන් කරදරයට පත්වූ මහජනතාව ඒ ගැන පොලීසියට දැනුම් දී තිබුණි. මෙසේ මිනිසුන් බියවද්දන සුළු අධික ශබ්ද අදාළ මෝටර් බයිසිකල්වලින් නැඟෙන ලෙස ඒවායේ කොටස් වෙනස් කර වුවමනාවෙන්ම සකස් කර තිබූ බවද අනාවරණය වූයේ පොලීසිය සිදුකරන ලද විමර්ශනයේදීය.
එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෝ බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝය. සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැරුණු අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා එම මෝටර් බයිසිකල් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.
මාතර පොලීසිය ද මෙවැනිම මෙහෙයුමක් ක්‍රියාත්මක කෙළේය. ඒ වෙසෙක් පෝ දිනයි. මාතර නගරයට වෙසක් පෝදා පැමිණි බොහෝ දෙනකු භීතියට පත් කරමින් අධික වේගයෙන් ඝෝෂා නංවමින් ඉතා අනතුරුදායක ලෙස මෝටර් බයිසිකල් ධාවනය කළ මෝටර් බයිසිකල් 36ක් සමඟ ඒවා ධාවනය කළ පුද්ගලයන් 36 දෙනකු පොලීසිය විසින් අල්ලා ගන්නා ලදි. එලෙස අත්අඩංගුවට ගත් මෝටර් බයිසිකල් අතරින් සමහර ඒවාට ව්‍යාජ අංක තහඩු යොදා තිබුණු අතර ඇතැම් ඒවායින් අධික ශබ්දයක් නැඟෙන ලෙස යම් උපකරණ සවිකර තිබුණු බව පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය.
මෙහි සුවිශේෂීම කාරණාව වන්නේ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ඇතැමෙකුට තිබී ඇත්තේ පුහුණුව සඳහා ලබාදෙන තාවකාලික රියැදුරු බලපත්ය. සැකකරුවන් වයස අවුරුදු 18 – 20 අතර පසුවන අය බවද හෙළිවිය.
මෙලෙස පාණදුර උතුර පොලිස් නිලධාරින් වෙසක් දිනවල සිදුකරන ලද වැටලීම්වලදී මහජනතාව පීඩාවට පත්කළ මෝටර් බයිසිකල් පැදිකරුවන් 14 දෙනකු ද අත්අඩංගුවට ගන්නේ පාණදුර උතුර පොලිස් බල ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුම්වලදීය.
පොලීසිය මේ මෝටර් බයිසිකල් 14 පරික්ෂා කරද්දී හෙළිවූයේ ඒවායේ නියම සයිලන්සරය ඉවත්කර අධික ශබ්දයක් නැඟෙන සේ සකස් කළ සයිලන්සර් යොදා ඒවා ධාවනය කර ඇති බවය. ඊට අමතරව අදාළ මෝටර් බයිසිකල්වල උපාංග ද වෙනස් කර ඇති බව අනාවරණය විය.
මේ මෝටර් බයිසිකල් 14ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධරයකුගේ අධීක්ෂණයට ලක්කිරීම සඳහා පොලීසිය කටයුතු යොදා තිබුණි.
මීට පෙර ද පොලීසිය මෙවැනි අධිබලැති එන්ජින් ධාරිතාවෙන් යුත් මෝටර් බයිසිකල් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒවා යොදාගෙන නීති විරෝධී තරග පැවැත්වීම නිසාය. තනි රෝදෙන් ඉතා අනතුරුදායක ලෙස ගමන් කරමින් තරගයක නිරත 12 දෙනකු පිළියන්දල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ ද පසුගියදාය. ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ඔස්සේ මේ තරගය සංවිධාන කර තිබුණි. මෝටර් බයිසිකල් 18ක් පොලිස් භාරයට ගන්නා ලද අතර හය දෙනකු පලාගොස් තිබුණි.
හයිලෙවල් පාරේ මහරගම ටැංගෝ බෝඩ් හන්දියේදී පසුගිය දිනෙක සංවිධානයකර තිබුණු මෙවැනිම අධිබලැති මෝටර් බයිසිකල් තරගයක් නවතා එහි තිබුණ මෝටර් බයිසිකල් 21 සමඟ පුද්ගලයන් 29ක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසියේ රථ වාහන අංශයේ නිලධරයන්ට හැකිවිය. අන්තර්ජාලයේ කණ්ඩායම් මඟින් මේ තරගය සංවිධානයකර තිබුණු අතර එහි පළමුවැනියා වෙනුවෙන් ත්‍යාගය ලෙසට ලබාදීමට සූදානම් කර තිබුණේ සංක්‍රාන්ති ලිංගිකයෙකි.
ගිය වසරේ මාරක රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2521කි. ඒ අනුව දිනකට සාමාන්‍යයෙන් මියගොස් ඇති පිරිස 6කි. පදිකයින් පාපැදිකරුවන් මෝටර් බයිසිකල්කරුවන් සහ මගීන් 2521 දෙනකු එලෙස 2024 වසරේදී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් සංඛ්‍යා ලේඛන දක්වයි. පදිකයන් 815ක්, මෝටර් බයිසිකල්කරුවන් 780ක්, පසු පැදිකරුවන් 194ක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර 7151 බරපතළ තුවාල ලබා ඇත.
අධික වේගය, නොසැලකිලිමත් ධාවනය, මත්පැන් මත්ද්‍රව්‍ය රැගෙන රිය පැදවීම, මාර්ග සංඥාවලට අවනත නොවීම මේ තරම් මරණවලට හේතුව බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පෙන්වා දෙයි.