කොල්ලුපිටිය ප්‍රදේශයේදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකගේ නිල නිවෙසේදී ඉකුත් දා සිදුවූ සොරකමක් නිසා රටට සිදුවන්නට ගිය අපකීර්තිය සුළුපටු නොවේ. එහෙත් එම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පැමිණිල්ල ලැබී සති දෙකක් වැනි කාලයකදී අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් නිලධාරින්ට හැකිවීම නිසා රටක් වශයෙන් මෙරටට අන්තර්ජාතිකව මුහුණ දීමට සිදුවන අපකීර්තියෙන් ‘ගැලවීමට‘ හැකි විය.
කොල්ලුපිටිය පොලිස් වසමට අයත් තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිෙවසේ සිදුවූ එම සොරකම සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය කොල්ලුපිටිය පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.
ස්විට්සර්ලන්ත තානාපතිනිය ඉකුත් අප්‍රේල් 12 දා මෙරටින් ස්විට්සර්ලන්තය බලා ගොස් තිබුණේ දින 15ක නිවාඩුවකටය. පසුව ඇය නැවත මෙරටට පැමිණ තිබුණේ අප්‍රේල් 27 දාය. නිල නිෙවසට පැමිණි ඇය ඉහළ මහලේ සිය නිදන කාමරයට යාබද කාමරයක සේප්පුවක දමා ගොස් තිබූ ඇගේ දියමන්ති මුදුව ලබා ගැනීමට සේප්පුව මුරපදය යොදා විවෘත කිරීමට සූදානම් වුවත් එය විවෘත නොවූයේ දෝෂයක් (එරර්-error) නිසාය. කෙසේ හෝ මුර පදය යොදා විවෘත කිරීමට නොහැකි වූ තැන ඇය සේප්පුව සොලවා එය විවෘත කිරීමට උත්සාහ කිරීමේදී එහි දොර නොසිතූ ලෙස විවෘත විය.
එහි තිබූ ස්වර්ණාභරණ පරීක්ෂා කරද්දී ඇගේ මංගල මුදුව සහ ඇයට සිය පියා ත්‍යාගයක් ලෙස ලබාදුන් පියාගේ මංගල මුදුව ඇතුළු රන් භාණ්ඩ කිහිපයක්ම අතුරුදන් වී ඇති බව තානාපතිනිය දුටුවාය. ඒ අතර ස්වර්ණාභරණ සහ අත්ඔරලෝසු කිහිපයක්ද විය.
ක්ෂණයෙන් ඇය අස්ථානගත වූ ස්වර්ණාභරණ ගැන සොයා බලන්නට වූයේ ඇගේ කාර්ය මණ්ඩලය ද මේ ගැන දැනුවත් කරමිනි. ඒ අතර අතුරුදන් වූ ස්වර්ණාභරණ ගැන ඒ වන විට තානාපති නිල නිෙවස තුළ සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් ද විමසුවාය. එම තිදෙනාගෙන් දෙදෙනෙක් කාන්තාවෝය. එක් කාන්තාවකගේ පදිංචිය මරදානේය. අනෙක් කත වැල්ලම්පිටියේ පදිංචිකාරියකි. පිරිමි අයෙක්ද සිටියේය. ඒ මුළුතැන්ගෙයි කටයුතු සඳහාය. එම තිදෙනාට අමතරව වත්තපිටියේ සේවයට තවත් දෙදෙනෙක් සිටියහ.
නිල නිෙවස සහ තානාපතිනියගේ කාමරයට ඇතුළු වීමට අවස්ථාවක් ලැබී තිබුණේ කාන්තාවන් දෙදෙනාට පමණි. ඒ කාමරයේ ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහාය. එම දෙදෙනාට ද නිල නිෙවස තුළට ඇතුළුවීමට තිබූ දොර විවෘත වූයේ මුර පදයක් යෙදීමෙන් පසුවය. එම කාන්තාවෝ සිය රාජකාරියෙන් පසු
සෑම දිනෙකම පාහේ තානාපති නිල නිෙවසෙන් පස්වරු 4ට සේවය අවසන්කර පිටත්ව ගොස් තිබුණි.
තානාපතිනිය එලෙස නිෙවස තුළට ගමන් කළ හැකි දෙදෙනා සහ මුළුතැන්ගෙයි කටයුතු කළ අරක්කැමියා ගැන සැක සිතා ඇය මෙරටට පැමිණි දිනට පසු දින එනම් ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිටම තිදෙනාට සේවයට නොපැමිණෙන ලෙස දැන්වූවාය.
අනතුරුව 29 වැනිදා ස්විට්සර්ලන්ත තානාපතිනියගෙන් කොල්ලුපිටිය පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ලැබුණේ සිය නිල නිෙවසේ තිබූ ඩොලර් 15000ක් හෙවත් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් අතුරුදන් වී ඇති බව සඳහන් කරමිනි. එම පැමිණිල්ල පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ද දැනුවත් කොට එම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ද උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කළේ සිදුව ඇති සොරකමින් රටට ද මහත් අපකීර්තියක් සිදු විය හැකි බව වටහාගෙන සිටි හෙයිනි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් කොල්ලුපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එම්.එම්.එන්.එස්. මනතුංග ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන ලදි. විමර්ශන නිලධාරීන් කණ්ඩායම තානාපතිනියගේ නිල නිෙවසට ගොස් මූලික විමර්ශන ආරම්භ කළේ ‘සොකො‘ නිලධාරින් සහ ඇඟිලි සලකුණු නිලධාරින් ද එම ස්ථානයට ගෙන්වා අදාළ සේප්පුවේ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් ද සිදු කරමිනි. සේප්පුව පරීක්ෂාවේදී එහි කිසිම වෙනසක් දක්නට නොලැබිණි.
කෙසේ හෝ සේප්පුවේ යට පැත්තේ අපැහැදිලි ඇඟිලි සලකුණු සටහන් දෙකක් තිබෙන ආකාරය ඇඟිලි සලකුණු නිලධාරීන් තහවුරු කරගත්තේය. ඒ අතර විමර්ශන නිලධාරීන් කණ්ඩායම සොරකම පිළිබඳව ප්‍රධාන සැකය එල්ලකර තිබූ තානාපති නිල නිෙවස තුළට යාමට හැකියාව තිබූ සේවය අත්හිටුවා සිටි සේවකයන් තිදෙනා ඇතුළු නිල නිෙවසේ වත්තේ සේවය කළ දෙදෙනාගෙන් ද ප්‍රශ්න කළේ ඔවුනගේ ඇඟිලි සලකුණු ද ලබා ගනිමිනි. එහෙත් එම පිරිසගේ ඇඟිලි සලකුණු පරීක්ෂාවෙන් සහ ප්‍රකාශවලින් හෙළි වූයේ ඔවුන් එම සොරකමට කිසිම සබඳතාවක් නොමැති බවය. එහෙත් පොලීසියේ සැකය වූයේ එම කාන්තාවන් දෙදෙනාගේ මුර පදය නොදැන කිසිම කෙනෙකුට නිල නිෙවස තුළට ගමන් කළ නොහැකි බවය. එම නිසා එම දෙදෙනා බියකොට කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් එම මුරපදය ලබාගන්නට ඇතැයි යන සැකය පොලීසියට ඇති විය.
මේ අතර තානාපති නිල නිෙවසේ ආරක්ෂාවට සිටි පිරිස ගැනත් පොලිසියේ අවධානය යොමු විය. එහිදී පොලිසිය සහ ගුවන් හමුදා සාමාජිකයන් නිල නිවසේ වත්තෙන් පිටත ආරක්ෂක රාජකාරියේ යෙදෙද්දී නිල නිෙවසේ වත්තේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක අංශයක ස්ථිර සේවකයන් සිවුදෙනා ඇතුළු සේවයට යොදවා සිටි සියලු දෙනාගෙන් ප්‍රශ්න කරමින් ඇඟිලි සලකුණු සටහන් ගෙන පරීක්ෂාවට යොමු කෙරිණි. එලෙස එම ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඇතුළු තවත් ආරක්ෂක නිලධාරියකු පිළිබඳව පොලීසියට කිසියම් සැකයක් ඇති විය. ඒ ඔවුන් ප්‍රශ්න කරද්දී පාපෝච්චාරණ කළ ආකාරය සහ ඔවුනගේ හැසිරීම් ගැන පොලීසිය කළ සියුම් පරික්ෂාවන් ඔස්සේය. ඇඟිලි සලකුණු වාර්තා අනුව සේප්පුවේ තිබූ ඇඟිලි සලකුණු සමඟ එක් ආරක්ෂක නිලධාරියකුගේ ඇඟිලි සලකුණු සැසඳිණි.
ඒ සමඟම එම ආරක්ෂක නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. ඔවුනගෙන් ප්‍රශ්න කරන්නේ අනතුරුවය.
“සර්… මම මේ දේ කළේ තනිවම නෙවෙයි… අපේ ඕඅයිසී මහත්තයත් සම්බන්ධ කරගෙන…“ යැයි එම ආරක්ෂක නිලධාරියා පැවැසීය.
අනතුරුව කොල්ලුපිටිය පොලිස් නිලධාරින් තානාපති නිල නිෙවසේ ආරක්ෂාව භාරව සිටි එම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ඉකුත් මැයි 10 දාය. එලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා 51 හැවිරිදි මොරටුවේ පදිංචි අයෙකි. පළමුව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා 32 හැවිරිදි අයෙකි. ඔහුගේ පදිංචිය වැලිගමයි.
ඒ අනුව දෙදෙනාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමත් සමඟ තානාපති නිල නිෙවසෙන් සොරකම් කළ තානාපතිනියට අයත් ස්වර්ණාභරණ තොගයේ මුදු දෙක වැලිගම පුද්ගලයාගේ නිෙවසේ තිබියදී සොයා ගැනිණි. ඒ අතර ඔහු විසින් ස්වර්ණාභරණ කිහිපයක් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලකට වැලිගම උකස්හලකට උකස් කර තිබියදී සොයා ගැනිණි. එහෙත් ඔහුට තානාපතිනියගේ සහ ඇගේ පියාගේ මුදු දෙක උකස් කිරීමට නොහැකි වී තිබුණේ එය උකසට ගැනීමට උකස්හලේ පුද්ගලයන් අදිමදි කිරීම නිසාය. ඒ එම මුදු දෙක අධික වටිනාකමකින් යුතු බව තහවුරු වීමත් සමඟය. අනතුරුව දෙදෙනාගෙන් ප්‍රශ්න කළේ සොරකම සිදුකළ ආකාරය ගැනයි.
“සර්… අපි මේ හොරකම කළේ තානාපති මැඩම් රට ගියාට පස්සේ… 19 වැනිදා…“ යැයි දෙදෙනා පැවසූහ.
“කොහොමද තමුන් දොරේ පාස්වඩ් දන්නේ නැතිව ගේ ඇතුළට ගියේ…?“ යැයි පොලිස් නිලධාරියෙක් විමසීය.
“සර්… දවසක් මං ඇතුළට යන ගෑනු දෙදෙනාගෙන් කෙනෙක් ගේ ඇතුළට යන්න දොරට පාස්වඩ් එක ගහනවා බලාගෙන හිටියා… එදා මං පාස්වඩ් එක මතක තියාගත්තා… පස්සේ මගේ ටීම් එකේ ඉන්න නිලධාරියකුට කිවුවා මෙහෙම වැඩක් කරමු කියලා… අන්තිමට මිනිහත් කැමැති වුණා…“ යැයි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පොලිස් නිලධාරින් ඉදිරියේ පැවසීය.
එලෙස නිෙවස තුළට ගිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සහ සෙසු ආරක්ෂක නිලධාරියා සේප්පුව තිබෙන උඩු මහලේ කාමරයට ගොස් සේප්පුවේ තිබෙන දෑ පිටතට ගැනීමට ක්‍රමෝපායක් සෙවීය. එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවීය. ඒ අනුව සේප්පු අලුත්වැඩියා කරන කොම්පඤ්ඤවීදියේ සිටින පුද්ගලයකු සොයාගත් වැලිගම ආරක්ෂක නිලධාරියා එම පුද්ගලයා ඉකුත් 19 වැනිදා තානාපති නිල නිෙවසට ගෙන්වාගෙන තිබුණේ නිල නිෙවසේ සේප්පුවේ යතුරු නැතිවී ඇති බව කියමිනි. අනතුරුව ඔහු සේප්පුව කඩා එය විවෘත කරන ලදි. සේප්පුව කැඩූ පසු ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එහි තිබූ ස්වර්ණාභරණවලින් ප්‍රමාණයක් ගෙන කොටසක් ඒ තුළ ඉතිරි කෙළේය. දෙදෙනා සොරකම් කළ ස්වර්ණාභරණ අතර තානාපතිනියගේ මංගල මුදුව සහ ඇගේ පියා ත්‍යාගයක් ලෙස ලබාදුන් ඔහුගේ මංගල මුදුවද තිබිණි.
අනතුරුව සේප්පුව එම පුද්ගලයාටම කියා නැවත තිබූ පරිදි සකස් කෙරිණි. ඊට අමතරව සේප්පුවට යතුරක්ද ඔහුට කියා සාදාවා ගත්තේය. සේප්පු අලුත්වැඩියා කරන්නාට එම කාර්යභාරය සඳහා දෙදෙනා රුපියල් 5000ක මුදලක් දී තිබිණි. එම පුද්ගලයා ආරක්ෂක නිලධාරින් දෙදෙනා සිදු කළේ සොරකමක් බව දැන සිට නැති බව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

සොරුන් කැඩූ සේප්පුව
එසේම එම පුද්ගලයා තානාපති නිල නිෙවසට ගෙන්වා සේප්පුව කඩා ස්වර්ණාභරණ ලබාගත් මොහොතේ ආරක්ෂක නිලධාරින් දෙදෙනා සූක්ෂ්ම වී තිබුණේ තානාපති නිෙවසේ විදුලිය ද විසන්ධි කිරීමටයි. එමඟින් සීසීටීවී කැමරා අක්‍රිය වීම නිසා සීසීටීවී කැමරාවල කිසිවක්ම සටහන් වී නොතිබිණි. එසේම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ආරක්ෂක ලොග් සටහන් පොතේ අප්‍රේල් 19 වැනිදා විදුලිය විසන්ධි වීමක් සිදුවූ බවට සටහනක්ද යොදා තිබූ බව ද පොලීසිය අනාවරණය කරගත්තේය.
මෙලෙස සූක්ෂ්ම ආකාරයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනා එක්ව සිදුකළ සොරකම කොල්ලුපිටිය පොලිස් නිලධාරින් සිදුකළ පුළුල් විමර්ශනයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තෙක් එම දෙදෙනා ගැන තානාපති නිල නිෙවසේ කිසිවකුගේ සැකයක් හෝ එල්ල වී නොතිබිණි. දෙදෙනා ඉකුත් අප්‍රේල් 19 දා සොරකම සිදුකර ඉකුත් මැයි 10 වැනිදා අත්අඩංගුවට ගන්නා තෙක්ම කිසිවක් සිදු නොවූ සේ එම තානාපති නිල නිවසේම ආරක්ෂක නිලධාරින් ලෙස රාජකාරියේ නිරතව සිට ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බුද්ධික, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එම්.එම්.එන්.එස්. මනතුංග, සැරයන් 3264 වසන්ත, කොස්තාපල්වරුන් වන 77424 සුධීර, 100502 සසිඳු සහ 102027 ජයසිංහ යන නිලධාරීහු විමර්ශනවලට එක්වූහ.