Home » පොදු ජන කලාව අතික්‍රමණය කරන ස්ථාපන කලාව

පොදු ජන කලාව අතික්‍රමණය කරන ස්ථාපන කලාව

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

මේ යුගය තුළ ඉතාම බරපතළ ආකාරයෙන් මනුෂ්‍ය වටිනාකම් සහ මනුෂ්‍යත්වය (Humanity) රහිත හිස් මිනිසෙකු (empty Human) වැඩෙමින් පවතී. මනුෂ්‍යයන් ලෙස සමීපයේ සිටින අනෙකා සමඟ දිගු සංවාදයක් හෝ සවන්දීමට නොහැකි තරමට මේ කුරිරු තාක්ෂණික ධනවාදය විසින් ඉඩ අහිමි කර අවසන්. අප සැවොම කෘත්‍රීම වූ වල් වැදුණු සමාජයක වාසය කරන බව අමුතුවෙන් මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. ලෝකයට කෙසේ වෙතත් ලංකාවේ නාගරික පොළවට පය තියපු ගමන් අපේ ඇස් දෙකට දකින්න පුළුවන් වෙන්නේ හරිම නරුම විදියේ දේවල්. දුප්පතුන් – පොහොසතුන් බෙදිච්ච ලෝකයක් ඇතුළේ ඇත්තෝ කති බොති. නැත්තෝ සිඟමන් යදිති වගේ කියමන් සිහිපත් වෙන එක වළක්වන්නට බැහැ. අධි පාරිභෝජනවාදය, දරිද්‍රතාවය, තරබාරුකම, පරිසර විනාශය වැනි අර්බුද මිනිස් පැවැත්මට එල්ල කර ඇති බලපෑම අනර්ථකාරීයි. මෙම මානව පැවැත්ම සඳහා එල්ල කරන අර්බුද කලාව තුළ ⁣බහුල තේමා. විශේෂයෙන් ස්ථාපන කලාව (Installation Art) මෙහිදී වැදගත්. පශ්චාත් නූතන (Post modern) ⁣පන්නයේ කලාගාරවල පෙනෙන්නට තිබෙන කලා කෘති ලෙස වැලි ගොඩවල් කීපයක් ඇති අවකාශයක්, පුටු එකතු කළ ස්ථාපන කලා නිර්මාණ වැනි පශ්චාත් නූතන යුගය නියෝජනය කරන කලා කෘති දක්නට ලැබෙනවා. ස්ථාපන කලාව විසින් මනුෂ්‍යත්වයේ වටිනාකම් සහ පැවැත්ම පිළිබඳ සාකච්ඡා කරන නූතන කලා මාධ්‍යයක්. පොදු ජන කලාවක් අතික්‍රමණය කරන ස්ථාපන කලාව අවකාශය සහ භෞතික ද්‍රව්‍ය පිළිබඳ සංකල්පයක්.

වර්ෂ 1917 දී ‘මාෂල් ඩුෂැම්ප්’ නමැති කලාකරුවා එදිනෙදා ජීවිතයේ අපි භාවිත කරන ‘මුත්‍රා පෝච්චිය’ කලාගාරයට ගෙනාවට පසුව නිශ්චිත විදියට කලාව වෙනස්වීමකට ලක් වුණා. වර්තමානයේ පාරිභෝගකයන් භාවිත කරන ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් කලාගාරය තුළට ගෙනාවට පසුව එය කලා කෘතියක් වෙන තරමට දැන් කලාව බොහෝ සෙයින් වෙනස් වෙලා. අවකාශයක වස්තූන් වින්‍යාස කිරීම හෝ “ස්ථාපනය කිරීම” ඇතුළත් කලාත්මක ප්‍රභේදයක් වන ස්ථාපන කලාව 21 වන සියවසේ දී සැළකිය යුතු ලෙස යාවත්කාලීන වීම (updating) සාකච්ඡාවට ලක් කළ යුතු යි. කැන්වසයකට හෝ මූර්තියකට සීමා විය හැකි සාම්ප්‍රදායික කලා ආකාර මෙන් නොව ස්ථාපන කලාව නරඹන්නා ආකර්ෂණය කරගනිමින්, ඓන්ද්‍රියව සම්බන්ධ කර ගනිමින් සහ අවකාශය කෙරෙහි වඩාත් සක්‍රීය ලෙස සම්බන්ධ වීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි. සමකාලීන සන්දර්භය තුළ ස්ථාපන කලාව තාක්ෂණික වශයෙන් ඒකාබද්ධ වීම, සමාජ විවරණය සම්බන්ධ තේමා පාදක කර ගනී. 21 වන සියවසේ ස්ථාපන කලාව යනු සමාජයේ බලගතු කලාවක් ලෙස නියෝජනය කරන්නක්.

නිදර්ශනයක් ලෙස ‘The Square’ චිත්‍රපටයේ එක තැනක දි ක්‍රිස්ටියන් නම් ⁣ස්ථාපන කලා කෞතුකාගාරයේ අභිරක්ෂකවරයා මාධ්‍යවේදීනයට කියන්නේ ‘ඔබ අතේ එල්ලා සිටින වෛවර්ණ හම් බෑගය කලාගාරයේ තැබුවහොත් එය තවදුරටත් භාණ්ඩයක් නොව කලාකෘතියක් බවට පරිවර්තනය වෙනවා’ යනුවෙනි. එයින් හැඟෙන්නේ ස්ථාපන කලාවට ඇති බලසම්පන්න බවයි. විශේෂයෙන් ස්ථාපන කලාව තුළ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ස්ථාපන කලාව තුළ පරිභෝජනවාදය විසින් විටින් විට නිෂ්පාදනය කරන භාණ්ඩ විසින් මනුෂ්‍ය පැවැත්මට එල්ල කරන බාධා, අභියෝග පිළිබඳ පණිවුඩ කැන්දාගෙන එනවා. එනම්; නරඹන්නා දුර සිට නිරීක්ෂණය කිරීමට වඩා නරඹන්නා සක්‍රීයව කෘතියේ සහභාගිවන්නකු බවට පත් කරනවා. එය තවත් විදියකට පවසනවා නම් නරඹන්නා කෘතිය සමඟ ගිලී පවතිනවා.

ලාංකේය නූතන කලාව තුළ ස්ථාපන කලාව වඩාත් ප්‍රායෝගික ලෙස භාවිත කරන ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර මහාචාර්ය සුදර්ශන බණ්ඩාර, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය ජගත් වීරසිංහ, සුදත් අබේසේකර වැනි ශාස්ත්‍රාලිකයන් ලාංකේය ස්ථාපන කලාවේ යෙදෙනවා. 2023 වසරේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර විසින් ‘කුඩ’ නමින් ස්ථාපන කලාකෘතියක් (‘Umbrella’ Installation Art) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ භූමි පරිශ්‍රයේ පවත්වා තිබෙනවා. එහිදි පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ පැවති අතු විහිදි ගිය දැවැන්ත රූස්ස ගස්වල විවිධ ප්‍රමාණයේ කුඩ රාශියක් යටිකුරුව එල්ලා තැබුවා. එහිදි එම ස්ථාපන කලා කෘතිය මඟින් නරඹන්නාට පවතින සමාජ සංස්ථාවන්ගේ සුන්දරත්වය, රැස්කිරීම, ස්ථර ගොඩනැඟීම සහ උඩුයටිකුරුත්වය රඳා පවතින්නේ සියුම් හුයක් මත බවත්, එය දරා ගැනීමේ සහ රඳවා ගැනීමේ ධාරිතාව අතික්‍රමණය කළ මොහොත තුළ මිහිතලය වැලඳගනු ඇති බවත් මහාචාර්ය සුදර්ශන බණ්ඩාරගේ සංකල්පය වුණා.

සමකාලීන ස්ථාපන කලාකරුවන් බොහෝ විට සමාජයීය සහ දේශපාලනික ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ කෘති භාවිත කරනවා. ප්‍රමුඛ චීන කලාකරුවකු වන ‘අයි වෙයිවෙයි’ විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සංක්‍රමණය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අදහස් දැක්වීමට මහා පරිමාණ ස්ථාපන කලා නිර්මාණ භාවිත කරනවා. ටේට් මොඩර්න් හි ඔහුගේ “සූරියකාන්ත බීජ” (2010) ස්ථාපන කලා කෘතිය අතින් පින්තාරු කරන ලද මිලියන ගණනක පෝසිලේන් බීජ පොළොවෙි අතුරා ඒ මත නරඹන්නා ඇවිදින්නට සලස්වමින් සිදු කළ සූරියකාන්ත බීජ කලා කෘතිය මහා පරිමාණ නිෂ්පාදනය, ශ්‍රමය සහ පෞද්ගලිකත්වය පිළිබඳ සාකච්ඡාවට ලක් කළා.

ස්ථාපන කලාව සිවිල් සමාජයේ සංවාදයට පොලඹවමින් පාරිසරික වශයෙන් කළ ස්ථාපනයන් හරහා දේශගුණික විපර්යාස, වන විනාශය සහ තිරසාරභාවය පිළිබඳ දැනුවත්භාවය ඇති කරනවා. මෑන්හැටන්හි තිරිඟු කෙතක් රෝපණය කළ ඇග්නස් ඩෙනස් වැනි කලාකරුවන් (වීට්ෆීල්ඩ් – අ කන්ෆ්‍රන්ටේෂන්, 1982) නාගරික භූ දර්ශනය තුළ ප්‍රබල රූපක නිර්මාණය කිරීමට ස්ථාපන කලාව භාවිත කරනවා. 21 වන සියවසේ ස්ථාපන කලාව යනු ගතිකබවක් ඇති කලා භාවිතයක් වන අතර එය කලා රසිකයන්ට ඔවුන් වටා ඇති ලෝකය දැකීමට, දැනීමට සහ ප්‍රශ්න කිරීමට ආරාධනා කරනවා. එය අවකාශය, ද්‍රව්‍ය සහ අර්ථ බොහෝ විට ගැඹුරින් පුද්ගලික සහ විශ්වීය වශයෙන් නවමු අත්දැකීමක් ලබා දෙනවා. ස්ථාපන කලාකරුවන් තාක්ෂණය, දේශපාලනය, යුද්ධය සහ පරිසරය සමඟ දිගටම සම්බන්ධ වන විට, ස්ථාපන කලාව සමකාලීන ප්‍රකාශනයේ වැදගත් සහ පරිණාමය වන ආකාරයක් ලෙස පවතිනවා. එය සමාජයේ දෘෂ්ටිවාද සහ ඒකාකෘතික අදහස් (stereotypes) අභියෝග කරයි. සංවාදය පෝෂණය කරමින් නූතන ලෝකයේ කලාව යන්නෙහි තේරුම නැවත නැවත අර්ථ දක්වනවා.

අතථ්‍ය යථාර්ථය (Virtual Reality), වැඩි දියුණු කළ යථාර්ථය (argumented reality), කෘතිම බුද්ධිය (Artificial Intelligent) වැනි ඩිජිටල් මෙවලම් ස්ථාපන කලාව විප්ලවීය වෙනසක් බවට පත් කර තිබෙනවා. මෙම තාක්ෂණික ප්‍රයෝග භාවිතයෙන් නරඹන්නාගේ සෘජුවම මනසට ප්‍රතිචාර දක්වන දත්ත මත පදනම් වූ ස්ථාපන කලා කෘති නිර්මාණය කරනවා. මේ හරහා නරඹන්නා සහ කලා කෘති අතර රේඛාව සහමුලින්ම බොඳ කර දමනවා. තවදුරටත් කැන්වසය මත පින්තාරු කරන ලද ප්‍රකාශන හෝ මූර්තිවලට වඩා ස්ථාපන කලාව ඉතාමත් වේගයෙන් නරඹන්නාගේ චින්තනය වෙනස් කරමින් තිබෙන බව දක්නට ලැබෙන ප්‍රධාන නිරීක්ෂණයයි. විශේෂයෙන් පාරිභෝජනවාදය සහ යුද්ධය පිළිබඳ පඨිත ගොඩ නඟන ප්‍රමුඛ ධාරාවේ කලාවක් ලෙස ස්ථාපන කලාව හැඳින්විය හැකියි.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division