Home » ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’
පැරණිතම බුදුසිරිත හෙළිදරවු කරන අලුත් පොතක්:

‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
අසභ මහසිංහ
ඔස්ට්‍රේ­ලි­යානු ජාතික ශ්‍රාව­ස්තියේ ධම්මික හිමි

මේතාක් ලෝකයේ නොයෙක් දෙනා භාෂාවලින් බුද්ධ චරිතය ලියා තිබේ. ඒවා අතර සමානකම් මෙන්ම වෙනස්කම්ද තිබේ. ‘Footprints in the Dust’ නමින් 2021 අවුරුද්දේ දී මුද්‍රණයෙන් පිට වූ ඉංග්‍රීසි පොතද එවැන්නකි. ඔස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්තියේ ධම්මික හිමියෝ මේ බුදුසිරිත ලියූහ. නොබෝදා එය ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’ නමින් කුඩගම්මන සීලරතන හිමියන් විසින් සිංහලයට නඟනු ලැබිණි.

‘Footprints in the Dust’ හෙවත් ‘දූවිල්ලේ රැඳුණ පියසටහන්’ යන නමම පොතට හැඳින්වීමකි. පොත කියැවීමෙන් මැවෙන්නේ සවණක් ගණ රැස් විහිදුවමින් අහසේ වැඩ ඉන්නා දිව්‍යමය බුදුරුවක් නොව, අපරිමිත මානුෂීය ගුණ කදම්බයක් දරාගෙන ඉන්දියාවේ දූවිලි පොළොවේ ඇවිද ගිය සුහද ශ්‍රමණ රූපයකි. ධම්මික හිමියන්ට බුදුන් වහන්සේගේ සංචාරක ශ්‍රමණ රූපය හමු වීම අහම්බයක් නොවේ. උන් වහන්සේ තුන් වාරයක්ම දඹදිව හරහා පා ගමනින් එහා මෙහා යමින් ඒ රුව සෙවූහ. අතරමඟදී සොයාගත් මංසලකුණුවල තරම පොතෙන් හෙළි වේ. මුළු පොත පුරා බුදුසිරිත දිගහැරෙන්නේ මහපොළොවේ සලකුණු ඇසුරෙනි. පොතෙහි එන මේ ඉඟිය ඒ ගැනයි: “… උන් වහන්සේ නැරඹූ හෝ පසු කර වැඩමවූ මහා නගර, කුඩා නගර, ගම්, කඳු, ගුහා, ගංගා, වනාන්තර සහ වෙනත් සැලකිය යුතු ස්ථාන නවසියයක් පමණ ත්‍රිපිටකය නම් කරයි.”

ධම්මික හිමියන් බුදුසිරිත ගොඩනඟන්නේ පාලි ත්‍රිපිටකය පදනම් කරගෙනය. පාලි, සංස්කෘත, චීන, ටිබෙට් ආදි නොයෙක් භාෂාවලින් බෞද්ධ මූල ග්‍රන්ථ ලියවී තිබේ. මේවා අතුරින් පැරණිම මූලාශ්‍රය පාලි ත්‍රිපිටකය බව කාගේත් පිළිගැනීමයි. ධම්මික හිමියෝ තිබෙන තාක් මහායාන පොත්ද ථෙරවාද අට්ඨකථා පොත්ද පැත්තකින් තබති; පාලි ත්‍රිපිටකයෙහි එන සූත්‍ර සහ විනය පමණක් අතට ගනිති. උන් වහන්සේ ලියූ බුදුසිරිත පුරා අලුත් අපූරුවක් පෙනෙන්නේ ඒ නිසාය. එක් නිදසුනක් මෙසේ ය: “… බුදුන් වහන්සේගේ පියතුමන් වන සුද්ධෝදන, රජ කෙනකු වූ බව තහවුරු කරගත හැකි සාක්ෂි ත්‍රිපිටකයෙන් සපයාගැනීම විරල වුවද, ඒ පිළිබඳ පුරාවෘත්ත තිබේ. බුදුන් වහන්සේ රජ කුමරකු ව සිටි බවට තොරතුරු ත්‍රිපිටකයෙහි කිසිදු තැනකින් හමු නොවන අතර, උන් වහන්සේ හෝ උන් වහන්සේගේ පවුල මාලිගයක විසූ බවට තොරතුරුද ත්‍රිපිටකයෙන් හමු නොවේ.”

පැරණිතම බුදුසිරිත ගැන සෙවිල්ලක යෙදුණත් මෙය අලුත් පොතකි. පිටස්තර පාර්ශ්වයක් විසින් මුල් පොතට ලියන ලද කෙටි පෙරවදනක් මෙසේ කෙළවර වෙයි. “… නූතන දැක්මකින් යුතුව, මේ අපූරු ලෝක ආගමේ නිර්මාතෘවරයා පිළිබඳව; තථ්‍ය වූත්, නිවැරදි වූත්, කියවීමට සුදුසු ඇගයීමක් අපේක්ෂා කරන කවරකුට වුවද මම මේ පොත නිර්දේශ කරමි.” මෙතැන කුතූහලය අවුස්සන කාරණය නම්, නූතන දැක්මකින් යුතුව පොත ලියා තිබෙන බව පැවසීමයි. මුළු පොත පුරාම ඇත්තේ අවුරුදු දහස් ගණනක් එපිට අතීතයකි. එහෙවු පොතක් නූතන දැක්මකින් ලියන්නේ ඇයි? පොත කියවන අය නූතන ලෝකය තුළ ඉන්නා නිසා විය යුතුයි. ධම්මික හිමියෝ මේ පොතෙන් නූතන ලෝකයත් අතීත දඹදිවත් අතර පාලමක් සාදති.

බුදුදහම වැලඳගත හොත් තමන් නූතනවාදි සමාජයෙන් කොන් වනු ඇතිද? බෞද්ධයකු වීම පසුගාමි තීරණයක්ද? නූතන චින්තනයට ඇබ්බැහි වූ ඉන්නා කා තුළත් එවැනි දෙගිඩියා සිත් උපදී. සිතන්න කැම්මැළි, පෞරුෂත්වයෙන් හීන අසරණයෝ කුමන හෝ ආගමක පිළිසරණ පතති යන්න මෙකල ජනප්‍රිය මතයයි. එහෙත් බෞද්ධයකු වීමෙන් නම් එබඳු හීන දීන තත්ත්වයකට ඇද නොවැටෙන බවත්, බෞද්ධයාට කවදත් නූතනවාදි ප්‍රතිරූපයක් හිමි වී තිබෙන බවත් ධම්මික හිමියෝ අඟවති: “… බ්‍රාහ්මණ ආගම ග්‍රාමීය ජනයා අතර පැවති ආගමක්ව තිබී ඇති අතර, අපට දැක ගත හැකි අයුරින් බුදුදහම පැවතී ඇත්තේ, නාගරිකයන් අතර ය.” මෙයින් නොකියා කියන දෙයක් වේ. ඒ කුමක්ද? ගතානුගතිකව පැවතෙන ඇදහිල්ලකට ආකර්ෂණය වන්නෝ ගොඩායෝය. බුදුසසුන නිර්මාණය වී ඇත්තේ, අලුතින් සිතන්නට බියක් නැති නූතනවාදීන් වෙනුවෙනි. නූතනවාදීන් ගැවසෙන තැන නගරයයි. එහෙයින් බුදුදහම වැලඳගැනීම නාගරිකයන්ගේ උරුමයකි. උත්ප්‍රාසය දනවන මේ ඉඟිය හේතුවෙන්, නූතන සිතුම්-පැතුම්වලට ගරු කරන ‘ස්මාර්ට්’ නාගරිකයෝ බෞද්ධ වන්නට පෙලඹෙති.

මනසත් භෞතිකයත් එකිනෙකින් ඈත් කරන වැඩි දෙනා අතින් වරදක් සිදු වෙයි. ඔවුහු, මනස මූලික කරගත් භෞතික පැවැත්මක් තියෙන්නට ඉඩක් නැති බව තරයේ විශ්වාස කරති; දෙවියන් සහ අමනුෂ්‍යයන් යනුවෙන් අදහස් කළේ අතීතයේ විසූ මනුෂ්‍ය ගෝත්‍රයක් ම බවත් කියති. ඔය ජනප්‍රිය මතවාදය අයිති වෙන්නේ ‘ඕපපාතික සත්ත්වයන් නැත!’ යන මිථ්‍යාදෘෂ්ටියටයි. දූවිල්ලේ රැඳුණ පියසටහන් කියැවීමෙන්, ඒ මිත්‍යාදෘෂ්ටියට වැටෙන්නට පෙලඹවීමක් ඇති නොවේ. කුමක් නිසාද? ධම්මික හිමියෝ දෙවියන් හෝ අමනුෂ්‍යයන් මිනිස් ලොවට ගෙනැවිත් අත්හරින්නට කල්පනා නොකරති; ඉන්නා ලෝකයක ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හරිති.

විකල්ප අදහස්වලට බිය වෙන්න එපා! – ධම්මික හිමියන් තමන්වහන්සේගේ පොත රචනා කරන කාලය පුරා එවන් දැක්මකින් කටයුතු කළ බව පෙනේ. බොහෝ නිදසුන් අතුරින් එකක් මෙසේය: “… බොහෝ දුරට සිදු වන්නට ඇතැයි විශ්වාස කළ හැකි දෙයක් වන්නේ, සිද්ධාර්ථ ගෞතමයන් සහ ඔහුගේ බිරිය දරුවන් ගණනාවක් බිහි කරන්න ඇති බවත්, ඒ සියල්ලන්ම උපතේදී, ළදරු වියෙහිදී හෝ පසුව මියයන්නට ඇති බවත්ය.”

‘ආගමික පොලීසිය’ යනුවෙන් අන්වර්ථ නමක් පටබැඳුණ කණ්ඩායම් මේ පොත කියවා උදහස් නොවේවා! මේවා ශාස්ත්‍රීය සමාජයේ විකල්ප අදහස් විනා, ආගමික අපහාස නො වේ. මෙහෙවු විකල්ප අදහස්, ශාස්ත්‍රීය කතාබහකදී නැතුවම බැරි කටගැස්මකි.

සම්ප්‍රදාය අනෙක් පැත්ත පෙරළා බලද්දී, ධම්මික හිමියන් අනුගමනය කරන්නේ කුලෑටි පිළිවෙතක් නොවේ. එහෙත් විකල්ප අර්ථකථන ඉදිරිපත් කරන කොතැනකදීවත් උන් වහන්සේ දැඩි මතධාරි නො වෙති. උන් වහන්සේගේ විකල්පවල තිබෙන්නේ, මෙවැන්නක් වෙන්න ඇති යනුවෙන් කරන උපකල්පනයකි; මෙවැන්නක් වෙන්න බැරිද යනුවෙන් නඟන ප්‍රශ්නාර්ථයකි.

ධම්මික හිමියන් ලියන බුදුසිරිතෙහි කවුරුත් ආකර්ෂණය වන තැන් මෙන්ම, සාම්ප්‍රදායික බෞද්ධ බැතිමතුන්ට ප්‍රියමනාප නොවන තැන‍්ද තිබේ. බුදුසිරිතට අපොවන්නට, බටහිර ජාතිකයකු වූ ධම්මික හිමියන්ට ඇති අයිතිය කුමක්ද? සිංහල බෞද්ධයන්ගේ සිතට ඔය ප්‍රශ්නය නැඟෙනු ඇත. ධම්මික හිමියන්ගේ ජීවිත කතාවෙන් එයට උත්තරයක් ලැබෙයි:

1951දී ඔස්ට්‍රේලියාවේ උපන් කිතුනුවකුට, යොවුන් වයසේදී බුදුදහම කෙරෙහි ඇල්මක් ඇති විය. ආසියාව පුරා යමින් සත්‍ය ගවේෂණයක යෙදෙන්නට තරම් ඒ ඇල්ම දැඩි විය. අන්තිමේදී, ශ්‍රාවස්තියේ ධම්මික නමින් ‘බුද්ධ භූමිය’ මතදීම පැවිදි බිමට පිවිසෙන්නට ඉඩකඩ සැලසිණි. ධම්මික හිමියන් පැවිදි කරවන ලද්දේ පූජනීය මැටිවල සංඝරතන හිමියන් විසිනි. සංඝරතන හිමියන් හැම ලෝක ශාසනික වැඩක්ම කළේ, බෞද්ධන්ට බුද්ධ භූමිය රැක දුන් අනගාරික ධර්මපාලතුමාගේ ගුරුහරුකම් අනුවයි. ගුරු ගෝල සම්බන්ධය අතින් ගත හොත්, ධම්මික හිමියන් අයිති වෙන්නේ ‘ධර්මපාල’ පරම්පරාවටයි. 1976දී ධම්මික හිමියෝ පාලි භාෂාව ඉගෙනගන්නට ලංකාවට පැමිණෙති.

‘Footprints in the Dust’ පොත ‘දූවිල්ලේ රැඳුණ පිටසටහන්’ නමින් සිංහලයට පෙරළන්නේ කුඩගම්මන සීලරතන හිමියන් ය. උන් වහන්සේ කලක් පාසල් ගුරුවරයෙකි. ගුරු සේවයට සමු දුන් සීලරතන හිමියෝ තමන් වහන්සේගේ ජීවිතයේ ‘ප්‍රඥා දශකය’ ලබන්න කලින් රටින් පිට වූහ; එදා පටන් අද දක්වාම දශක දෙකක් අමෙරිකාවේ වාසය කරති.

සීලරතන හිමියෝ තමන් වහන්සේගේ පරිවර්තනය ගැන මෙසේ කියති: “… මුල් පොතෙහි බස් වහර නිර්මාණාත්මකය, ප්‍රාණවත් මෙන්ම ගීතවත්ය. ඒ බස් වහර එසේම සිංහලයට නැඟිය නොහැකි මුත්, එයට හානියක් නොවන සේ, හැකි තාක් සරලව මේ පොත ඔබ අතට පත් කරවීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.” සීලරතන හිමියන්ගේ පරිශ්‍රමය කොතෙක් දුරට සාර්ථකද කියා, තම තම නැණ පමණින් තක්සේරු කිරීම පොත කියවන අයට භාරය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division