මං බය නෑ! කාටවත් එන්න කියපල්ල! ඔය ඕන කෙරුමෙකුට… අම්මප ගහනව හොඳේ…”
පාර පැත්තෙන් ඇහෙන ඒ හඬ සෙල්ලාගේය. අපේ ගමට හිටිහැටියේ වගේ කොහෙන්දෝ කඩාපාත් වී සිටි මේ හාදයා පසු වූයේ ඉතා තරුණ වයසකය. ඔහුගේ වයස අවුරුදු විසිදෙකත් විසිපහත් අතර වන්නට ඇත. මහතුන් මුදලාලිගේ රා වැක්කිරීමත් ඔහුගේ ගෙදර නන් වැදෑරුම් වැඩ කර දීමත් මොහුගේ රාජකාරිය විය. තුන්වේල කා බී ඇති තරම් රා බී බුලත් විටට බීඩි උරන්නට අතට සොච්චමක් ගෙන ඔහු වැඩ කළේය.
දහවල් කාලය පසු වෙත්දී කට ගොන්නක් බීගන්නා සෙල්ලා කෑගසමින් පාරක් ගානේ ඇවිදිමින් නොයෙක් දෙනාගේ උසුළුවිසුළුවලට ලක් වන්නේය.
තැපැල් කන්තෝරුවේ ගෙදර නිමල් ගෙදර තාප්පයට මුවා වී හිඳිමින් කෑගසමින්, පාරේ යන සෙල්ලාට පොල් කෝම්බයකින් තැඹිලි කෝම්බයකින් දමාගසයි.
“කවුද යකෝ හැංගිලා ඉඳල ගහන්නෙ. එළියට ඇවිල්ල ගහපල්ල බලන්න. මං ගහන හැටි පෙන්නන්න.”
එවිට තවත් පොල් කෝම්බයක් වදියි.
“නිමල් මහත්තය! ඔයා තමයි හැංගිලා ඉඳං ඔය ජරා වැඩේ කරන්නෙ. මං දන්නව ඔයා තමයි. හොඳ නෑ හොඳේ. මූණට ගහපු දාට බලාගමුකෝ.”
එවිට තවත් පොල් කෝම්බයක් වදියි.
“මටත් ගහන්න පුළුවන් හොඳේ.”
කියමින් තමා වෙත එල්ලවූ පොල් කෝම්බයක් අහුලාගෙන තාප්පයට උඩින් දමා ගසයි. වෙරි මරගාතේ සිටින ඔහුට පොල් කෝම්බය එතරම් ඈතට විසි කිරීමේ වෙර වීරියක් නැත. ගැසූ පොල් කෝම්බය පාර පැත්තේම ඇදවැටෙයි.
ඉතා පැහැපත්, බීමත්ව නොයින්නා හැම විටම සිනා මුහුණින් සිටින මේ මිනිසා ඇවිදින්නේ විළුඹවල ගල් තැළුම් ඇතියකු සේ විළුඹ බිම නොතබාය. එවිට පෙනෙන්නේ ඔහු නොණ්ඩි ගසමින් යන සෙයකි. එය එක්තරා අන්දමක විසුළු ගමනකි.
ස්ට්‍රේට් කරන ලද කලක මෙන් ඍජු කළු කෙස් දිගට වවා කොණ්ඩය පැත්තෙන් බෙදා පීරා ඇත. දත් බොල්ලෑ නොවන මුත් ලොකු දත්ඇඳි නිසාදෝ මුහුණ කට හරියෙන් මඳක් ඉදිරියට නෙරා පෙනේ. ඒ නැත්නම් මුහුණ නළුවකුගේ මුහුණක් මෙනි. පපුව මයිලෙන් ගැවසීගෙන ය. අත්පා හොඳහැටි දිගය; ශක්තිමත්ය.
කිසි දිනක උඩුකය වසා ඇඳුමක් නාඳියි. පහළ කොටසේ ඇඳුම ද කුමක්ද කියා සිතාගැනීමට අපහසු එකකි. පහළ කොටසට ඇඳ සිටින්නේ රා මදින මිනිසෙකුගේ ඇඳුමට සමාන ඉණේ සිට වියත් දෙකක් වත් නැති, නවන ලද සරම් කොටයකි.
සෙල්ලා, සෙල්ලමඩම් කියා කවුරුත් ලේසියට ඇමතුව ද මොහුගේ නම සෝමසිරි සෙල්ලරාජ් යැයි කියති. පියා ද්‍රවිඩ වන අතර මව සිංහලය. ඔවුහු අපේ ගමට මඳක් ඈතින් කෝපියාවත්තේ ජීවත් වෙති. සෙල්ලරාජ් කැඩුණු සපත්තු-සෙරෙප්පු, කුඩ හදන පුද්ගලයෙකි. සෙල්ලාගේ තාත්තා ලට්ට-ලොට්ට මිටියද හිස තබාගෙන අපේ ගමටද පැමිණෙනවා මා දැක ඇත. බොහෝ විට ඒ එන්නේ පුතාගෙන් රා බී යන්නට යැයි සමහරු කියති.
අම්මා කුමක් කරන්නේදැයි අසා නැත. බොහෝ විට ගෘහිණියක් විය යුතු ය. ඇහැට කනට පේන නැඟණියක්ද සිටින බව අසා ඇත. ඒ බව දැන ගත්තේ ඇයව ඒ හරියේ සල්ලිකාර පවුලක, එහෙත් වැඩි අධ්‍යාපනයක් නැති සිංහල කොල්ලකු විසින් දූෂණය කර ඇති බවට කටකතාවක් පැතිරයෑමත් සමඟය. පොලීසිය මඟින් නඩු දමා තිබුණත් සුළු වන්දියකින් බේරී යෑමට වැරදිකරු සමත්ව තිබිණි.
ඒ දිනවල සෙල්ලා පසු වූයේ දැඩි කනස්සල්ලකිනි; තවත් සමහර විටක ක්‍රෝධයෙනි. “අම්මප මං ඕකව පිහියකින් ඇනල මරනව.” වරෙක ඔහු වහසි බස් දෙඩුවේ ය. සිද්ධිය කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.
සෙල්ලා අපේ චූටි දුවට කියන්නේ ‘සූකිරි බෝලේ’ කියාය. ඔහු පාරේ ගමන් කරන විට අපේ දුව ගේට්ටුව ළඟ සිටිනවා දුටුව හොත්:
“හානේ මේ සූකිරි බෝලේනේ… මොකද මේ ගේට්ටුව ළඟ? යන්න යන්න ගෙට යන්න,” කියා පවසයි.
ඒ කෙසේ වෙතත් හේ සුපුරුදු දිනචර්යාව නම් අත්හරින්නේ නැත. උදේ වරුවේ හොඳින් ඉන්නා ඔහු හවස් වන විට බීගෙන ආවේශ වෙයි. එකල ඔහුට බැණවදින්න කෙනකු හෝ හේතුවක් හෝ අවශ්‍ය නැත. හවස් වන විට පාර දිගේ ගමන් කරන්නේ කෑකොස්සං ගසමින්, වීරත්වය ප්‍රදර්ශනය කරමිනි. දැන් දැන් කුණුහරුපද පිට වෙයි.
“කුණුහරුප කියන්න එපා. මේ ගෙවල්වල පොඩි ළමයි ඉන්නව.”
ඒ එක් දවසක මම පාරට පැන පැවසුවෙමි.
“අනේ මහත්තයො සමා වෙන්න. සමා වෙන්න. මේං වැන්ද. සමා වෙන්න. මහත්තය මට වරදක් කරලත් නෑ. කරන්නෙත් නෑ. ඒක මං දන්නව. ආයි කියන්නෑ. සමා වෙන්න. සමා වෙන්න මහත්තයො.” එසේ කියමින් මඳක් නැමී අත් දෙක එකතු කර වඳී.
නැවත මඳක් ඈතට ගොස් කෑ ගසයි.
“හං! එයා කවුද මට කෑගහන්න එපැයි කියන්න. මට ඕන්නං මං කෑගහනව. එයාට බෑ මාව නවත්තන්න. එයාට තියා කාටවත් බෑ.”
ඔහු රෑට නිඳාගන්නේ මහතුන් මුදලාලිලෑ පිලේ ඇති බූරු ඇඳේය; නැත් නම් මඩුවේ ලණු ගොඩක් උඩය. ටකරන් තහඩු සෙවිලි කර ඇති ඒ මඩුවේ වැඩියක්ම ඇත්තේ පරණ අතුරු කඹ හා මුණින් හැරවූ ගස් මුට්ටිය.
“කවද හරි මං මේ ගමෙන් තමයි කසාදයක් කරගන්නෙ.”
මහතුන් මුදලාලි හා ඔරොප්පුව පැමිණ පාරේ කෑගසමින් යන දවසක තැනින් තැනදී එසේ කියා කෑගසා ඇත. පසුව බීගෙන කෑගසමින් යන බොහෝ දිනවල මේ කතාව ඔහු පුරුද්දකට මෙන් පවසමින් සිටියේය. හිටිහැටියේ සෙල්ලා බොන පුරුද්ද අත්හැරියේය. ඒ සමඟම පාර දිගේ කෑගසන එකද නතර වුණේය. බීඩි උරන එකද විට හපන එකද නතර කර තිබුණ බව කාටත් තේරුණේ තවත් ටික කලක් යන විටය.
ඔහු මහතුන් මුදලාලි ළඟ වැඩ කරන එකද නතර කරදැම්මේය. වෙනත් තැන්වල කුලී වැඩ කරමින් මුදල් ඉපයීම ආරම්භ කර තිබිණි. ඇඳුම-කැඩුමද වෙනස්ය. කොට කලිසමක් හා ටීෂර්ට් එකක් හෝ කමිසයක් ඇඳීමට පුරුදුව ඇත. දත්වල බුලත් කහට හෝ දුම් බීමෙන් බැඳුණු කහටද නැත. පදිංචියද මහතුන් මුදලාලිලගෙ ගෙදර නොවේ; තුංමං හන්දියේ මහතුන්ගේ ලොකු අම්මාගේ දුවගේ ගෙදරය. එහි ඇති මඩුවක ඇඳුම්-කැඩුම් කෑලි තුන-හතරක් ඇති අතර, ගෙදර ඉස්තෝප්පුවේ මුල්ලකට වී නිඳාගනියි. තවත් ටික කලකින් සෙල්ලා අල්ලපු ගමේ තිබූ විශාල ගාමන්ට් ෆැක්ටරිය අතු-පතු ගාන, පිරිසුදු කරන කම්කරු රස්සාවක් හොයාගෙන තිබුණේය.
මේ සියල්ල පසුපස වූ රහස එළි වන්න පටන්ගත්තේ ඉනුත් ටික කලකට පසුවය. ඒ ගාමන්ට් ෆැක්ටරියේම වැඩට යන ගමේ කෙල්ලක සමඟ තැන් තැන්වල මොහු කතා කරමින් සිටිනවා ගමේ කිහිප දෙනකුම දැක ඇත.
ආණ්ඩුවෙ කැලේ කරෝහාමිගේ මිනිපිරියක වන ලලිතාට බැල්ම හෙළමින් සිටි සෙල්ලා නිතර ඈ යන එන මඟ ගැවසෙමින් ඇයට තමාගේ හැඟීම් ප්‍රකාශ කර ඇත. දුප්පත්කමද නූගත්කමද කරපින්නාගෙන සිටි ලලිතා යෞවන බවේ කිතිකැවීම්ද සෙල්ලාගේ පෙනුමද සමඟ ඔහුට අවනත වූ නමුත් කොන්දේසි ගණනකට යටත්ව තම කැමැත්ත ප‍්‍රකාශ කර ඇත. ඔහුගේ බීම, විට කෑම, දුම් බීම, පාර දිගේ කෑගැසීම නතර කළේත්, යම් තාක් පිළිවෙළකට අඳින්න ගත්තේත් ඇයගේ ඉල්ලීමට බව පැවසිණි.
තවත් ටික කලකදී මවුපියන්ගේද කැමැත්ත ඇතිව දෙදෙනා විවාහ දිවියට එළඹුණහ. ඒ, ලොකු උත්සව අරගෙන නොවේ.
තවත් මාස කිහිපයක් යන විට ඔවුහු ගම ඇතුළේ කුඩා සිල්ලර කඩයක්ද ඇරඹූහ. වසර කිහිපයක් යන විට එය කෙමෙන් ගමේ හැටියට තරමක දියුණු ව්‍යාපාරයක් බවට පත්ව තිබිණි. වසර දහයකට දොළහකට පසු කඩඉම් ලකුණු ඉක්මවා ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ‘විහඟ’ ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට යෑමට සුදුසුකම් ලැබුවේය. ඒ ඔවුන්ගේ වැඩිමහල් දරුවාය. තවත් බාල දරුවෝ දෙදෙනෙකි.
දැන් සෙල්ලා නිකම්ම සෙල්ලා නොව ‘සෙල්ලා මුදලාලි’ ය; ත්‍රිරෝද රථයකද හිමිකරුවෙකි. ගේ-දොරද පිළිවෙළකට හදාගෙනය. ව්‍යාපාරයද පවත්වාගෙන යන්නේ ඊටම යාබද කොටසකය.
කොටින්ම කියතොත් සෙල්ලා දැන් ගම් වැසියෙකි; මුර දානය පන්සලට නොකඩවා දෙන හතර පේරුවේ දායකයෙකි.