ඉකුත් උත්සව සමය තුළ තෙල්, පිටි සහ සීනි අධික ආහාරපාන වැඩිපුර පරිභෝජනය කිරීමට වැඩි අවස්ථාවක් හිමි විය. එවැනි ආහාර ගැනීමෙන් පසු කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝග පිළිබඳ බියක් ඇති වීම අරුමයක් නොවේ. ඊට හේතුව එපමණටම වත්මන් සමාජය තුළ බෝ නොවන රෝගවල ඉහළ යෑමය. එබැවින් දියවැඩියා රෝගය පිළිබඳ මේ දැනුවත් කිරීම වැදගත් වනු ඇත.
දියවැඩියාව හඳුනාගනිමු
දියවැඩියාව යනු ශරීරයේ රුධිරගත සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම නිසි ලෙස නියාමනය කිරීමට නොහැකි වූ විට ඇති වන නිදන්ගත රෝගි තත්ත්වයකි. එය හයිපර්ග්ලයිසිමියාවට (රුධිර සීනි වැඩි වීම) මඟපාදයි. ඉන්සියුලින් නිපදවීමට ශරීරයට ඇති නොහැකියාව හෝ එය නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිත කිරීමට ඇති නොහැකියාව (ඉන්සියුලින් ප්‍රතිරෝධය) නිසා එය සිදුවේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශය මඟින් නිපදවන හෝමෝනයක් වන අතර, එය ශක්තිය නිපදවීමට හෝ පසු භාවිතය පිණිස ගබඩා කිරීම සඳහා සෛල තුළට ග්ලූකෝස් ඇතුළු කිරීමට පහසුකම් සැලසීමෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම නියාමනය කිරීමට උපකාරි වේ.
රෝගයේ ව්‍යාප්තිය

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ, වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ
ප්‍රවේණි විද්‍යාව, ජීවන රටාව, ආහාර රටාව, නාගරීකරණය සහ සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැනි සාධක මඟින් බලපෑම් ඇති කරන ලද දියවැඩියා රෝගයේ ගෝලීය ව්‍යාප්තිය කලාප සහ රටවල් සමඟ සසඳන කල සැලකිය යුතු ලෙස වෙනස් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලොව පුරා මිලියන 422ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙති. ඉන් බහුතරයක් ජීවත් වන්නේ ශ්‍රී ලංකාව වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන අතර, සෑම වසරකම ලොව පුරා මරණ මිලියන1.5ක් ඍජුවම දියවැඩියා රෝගය හේතුවෙන් සිදු වේ. තමා දියවැඩියාවෙන් පෙළෙන බව නොදන්නා පිරිස ඉතා විශාල බව පෙනේ. එනම් සමාජයේ ජීවත්වන දියවැඩියා රෝගීන්ගෙන් 2න් 1ක් පමණ තවමත් හඳුනාගෙන නැත.
මෙහි භයානක තත්ත්වය වන්නේ මිලියන 400ක පමණ ලෝක ජනතාව පූර්ව දියවැඩියාවෙන් පෙළීමය. මෙහිදී පූර්ව දියවැඩියාව සහිත රෝගීන්ට දියවැඩියා රෝගය සෑදීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. තවද දියවැඩියාව ආශ්‍රිත සංකුලතා නිසා වසරකට මිලියන 3කට අධික සංඛ්‍යාවක් මිය යන බවට අනුමාන කෙරේ. දියවැඩියා රෝගීන් අතුරින් දෙවැනි වර්ගයේ දියවැඩියාව වඩාත් සුලභ ආකාරය වන අතර, එය ගෝලීය වශයෙන් සියලු දියවැඩියා රෝගීන්ගෙන් 90-95%ක් පමණ වේ. පළමු වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයකට බලපායි. අන්තර්ජාතික දියවැඩියා සම්මේලනයට (IDF) අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 9-10%ක් පමණ දියවැඩියාවෙන් පීඩා විඳිති. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදු වන මරණ අතරින් 1.6%ක් සිදු වන්නේ දියවැඩියාවෙන් වීම එම රෝගයේ ඇති බරපතළකම මොනවට විදහා දක්වයි.
පූර්ව දියවැඩියාව
පූර්ව දියවැඩියා රෝගය යනු රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින නමුත් දෙවැනි වර්ගයේ දියවැඩියාව ලෙස වර්ගීකරණය කිරීමට තරම් ඉහළ මට්ටමක නොතිබීමය. එය සමහර විට අතරමැදි හයිපර්ග්ලයිසිමියාව හෝ දුර්වල ග්ලූකෝස් උපධාරණය (Impaired Glucose Tolerance – IGT) ලෙස හැඳින්වේ. පූර්ව දියවැඩියා රෝගය යනු තීරණාත්මක අවධියක් වන්නේ ඊට මැදිහත් වීමක් නොකළ හොත් දෙවැනි වර්ගයේ දියවැඩියාව වර්ධනය වීමට හේතු විය හැකි අතර, හෘදය රෝග සහ ආඝාතය වැනි අනෙකුත් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානම වැඩි කරයි.
හඳුනා ගන්නා පරීක්ෂණ
1. නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම (Fasting Blood Sugar – FBS)
සාමාන්‍යයෙන් නීරෝගි පුද්ගලයකුගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 70-99 mg/dl අතර වේ. නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම 100-125 mg/dL (5.6-6.9 mmol/L) අතර තිබේ නම් එය පූර්ව දියවැඩියාව ලෙස සැලකේ. අවම වශයෙන් පැය 8ක් නිරාහාරව සිටීමෙන් පසු රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/Dl හෝ ඊට වැඩි නම් එය දියවැඩියාව ලෙස සැලකේ.
2. මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂණය (Oral Glucose Tolerance Test – OGTT) මේ පරීක්ෂණයේදී, රුධිරයේ ග්ලූකෝස් නිරාහාරව සිටීමෙන් පසුව මනිනු ලබන අතර, පසුව ග්ලූකෝස් ද්‍රාවණයක් පානය කිරීමෙන් පැයකට හා පැය දෙකකට පසු නැවත වරක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම මනිනු ලැබේ. පූර්ව දියවැඩියා රෝග ලක්ෂණයක් වන දුර්වල ග්ලූකෝස් උපධාරණය (IGT) සැලකූ විට, ග්ලූකෝස් ද්‍රාවණය (ග්ලූකෝස් ග්‍රෑම් 75ක් ජලය මිලි ලීටර 100ක දිය කර සාදාගත් ද්‍රාවණය) පානය කිරීමෙන් පැයකට පසු රුධිර ග්ලූකෝස් මට්ටම 180- 199 mg/dL හා පැය දෙකකට පසු 140-199 mg/dLලෙස අර්ථ දැක්වේ. මේ පරීක්ෂණයේදී නීරෝගි පුද්ගලයකුගේ සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම 140 mg/Dl ට වඩා අඩුය. දියවැඩියාව ඇති අයගේ ග්ලූකෝස් ආහාරයට ගැනීමෙන් පැය දෙකකට පසුව රුධිරගත ග්ලූකෝස් මට්ටම 200 mg/dLට හෝ ඊට වඩා වැඩි වේ.
3. ග්ලූකෝස් බැඳි හිමොග්ලොබින් (Glycosylated Haemoglobin – HbA1c)
HbA1c පරීක්ෂණය මඟින් පසුගිය මාස 2-3 කාලය තුළ රුධිර ග්ලූකෝස් මට්ටම කුමන ආකාරයට පැවතියේද යන්න මනිනු ලබයි. එම අගය 5.7% සිට 6.4% දක්වා තිබේ නම් පූර්ව දියවැඩියාව ලෙස සැලකේ. නීරෝගි අයගේ එම අගය 5.7% ට වඩා අඩුය. දියවැඩියා රෝගීන්ගේ HbA1C අගය 6.5%ට වඩා ඉහළ අගයක් ගනී.
අවදානම් සාධක
පූර්ව දියවැඩියාව වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ යාමට සාධක කිහිපයක් බලපායි. එනම්:
• වයස – වයස සමඟ අවදානම වැඩි වේ. විශේෂයෙන් වයස අවුරුදු 45න් පසු පූර්ව දියවැඩියාව වර්ධනය වීමේ අවදානම ඉහළ යයි.
• තරබාරුකම – ශරීරයේ අතිරික්ත මේදය, විශේෂයෙන් උදරයේ මේදය සැලකිය යුතු අවදානම් සාධකයකි.
• පවුල් ඉතිහාසය – දියවැඩියාව ඇති මවුපියන් හෝ සහෝදර සහෝදරියන් සිටීම අවදානම වැඩි කරයි.
• ශාරීරික අකර්මණ්‍යතාව – ව්‍යායාම නොමැතිකම හෝ උදාසීන ජීවන රටාවක් යනු ප්‍රධාන අවදාන ම්සාධකයකි.
• ජාතිය සහ වාර්ගිකත්වය – අප්‍රිකානු ඇමරිකානු, හිස්පැනික්, ස්වදේශික අමෙරිකානු සහ ආසියානු අමෙරිකානු ජනයා තුළ වැඩි අවදානමක් ඇත.
• අධිරුධිර පීඩනය – රුධිර පීඩනය 140/90 mmHgට වඩා වැඩි වීම අවදානම වැඩි කරයි.
• අසාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම් – අඩු HDL කොලෙස්ටරෝල් හෝ ඉහළ ට්‍රයිග්ලිසරයිඩ පූර්ව දියවැඩියාවට සම්බන්ධ වේ.
• ගර්භිණී දියවැඩියාව – ගර්භිණී දියවැඩියාව වැලඳී ඇති කාන්තාවන්ට ජීවිතයේ පසුකාලීනව පූර්ව දියවැඩියා රෝගය වැලඳීමට වැඩි ඉඩක් ඇත.
• බහුකෝෂ්ඨ ඩිම්බකෝෂ සහ ලක්ෂණය (Polycystic Ovary Syndrome – PCOS) ඇති කාන්තාවන්ට ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ පූර්ව දියවැඩියා රෝගය සඳහා වැඩි අවදානමක් ඇත.
සංකුලතා සහ අවදානම
පූර්ව දියවැඩියා රෝගය අනිවාර්යයෙන් දියවැඩියා රෝගය ඇති වීමට හේතු නොවුණද, එය දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක් ඇති වීම කෙරෙහි අවදානම් සාධකයකි.
එනම්: දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම ඉහළ යෑම, හෘදයරෝග සහ ආඝාත අවදානම, නිදන්ගත වකුගඩු රෝගය, පෙනීමේ ගැටලු, අධිරුධිර සීනි මට්ටම ඇස්වල රුධිරවාහිනීවලට බලපෑම් කළ හැකි අතර, සමහර විට පෙනීම නැති වීමටද හේතු වේ.
පාලනය සහ වැළැක්වීම:
1. ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම මඟින් පූර්ව දියවැඩියා රෝගය දෙවැනි වර්ගයේ දියවැඩියාව දක්වා වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
2. බර අඩු කර ගැනීම – ශරීරයේ බරෙන් 5-10%ක් අඩු වීමෙන් ඉන්සියුලින් සංවේදිතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි අතර, රුධිරයේ සීනි මට්ටම අඩු කරයි. කුඩා ප්‍රමාණයේ බර අඩු වීමකින් පවා වෙනසක් ඇති කළ හැකිය.
3. ශාරීරික ක්‍රියාකාරකම් – සතියකට මිනිත්තු 150ක මධ්‍යස්ථ තීව්‍ර ව්‍යායාම (උදා: ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම) හෝ සතියකට මිනිත්තු 75ක දැඩි තීව්‍රතාවකින් යුත් ව්‍යායාම (උදා: දිවීම, aerobics හෙවත් ස්වායු ව්‍යායාම) නිර්දේශ කෙරේ. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම ඉන්සියුලින් සංවේදිතාව වැඩි දියුණු කරන අතර, එය රුධිර ග්ලූකෝස් මට්ටම නියාමනය කිරීමට උපකාරි වේ.
4. ආහාරයේ සංයුතිය වෙනස් කිරීම – අඩු ග්ලයිසමික් දර්ශක ආහාර, සම්පූර්ණ ධාන්‍ය, සෞඛ්‍ය සම්පන්න මේද, පලතුරු සහ එළවළු වැඩි ප්‍රමාණයක් සමඟ සමබල ආහාර වේලක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. සැකසූ ආහාර, සීනි අඩංගු පැණිබීම සහ අධික තෙල් සහිත ආහාර අඩු කිරීම රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරි වේ.
5. රුධිරගත සීනි මට්ටම නිරීක්ෂණය කිරීම- රුධිරයේ සීනි මට්ටම නිතිපතා පරීක්ෂා කිරීම පුද්ගලයන්ට ඔවුන්ගේ දියවැඩියා අවදානම නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ ජීවන රටාවට අවශ්‍ය වෙනස්කම් කිරීමට ඉඩ සලසයි.
6. ඇතැම් අවස්ථාවල (විශේෂයෙන්ම දියවැඩියාව වැලඳීමේ වැඩි අවදානමක් ඇති අයට) වෛද්‍යවරුන් විසින් රුධිරයේ සීනි මට්ටම පාලනය සඳහා මෙට්ෆෝමින් වැනි ඖෂධ නියම කළ හැකිය.
ළමා හා නව යොවුන්වියේ පූර්ව දියවැඩියාව
පූර්ව දියවැඩියා රෝගය වැඩිහිටියන් තුළ බහුලව හඳුනාගෙන ඇති අතර, එය ළමයින් තුළ, විශේෂයෙන් වැඩි බරක් හෝ තරබාරු අය තුළද ඇති විය හැකිය. ඒ අනුව ළමයින් හා නව යොවුන් වියේදී දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම වැළැක්වීම සඳහා පූර්ව දියවැඩියාව සඳහා සක්‍රීය මැදිහත් වීම ඉතා වැදගත් වේ.
මතක තබාගත යුතු වැදගත් කරුණු
වැඩි දියුණු කළ ආහාර රටාව, නිතිපතා ව්‍යායාම සහ බර කළමනාකරණය වැනි ජීවන රටාවේ වෙනස්කම් සමඟ පූර්ව දියවැඩියා තත්ත්වය ආපසු සාමාන්‍ය තත්ත්වයට හැරවිය හැකිය.
මේ අවදානම වැළැක්වීම සඳහා ඉක්මන් රෝග විනිශ්චය සහ මැදිහත් වීම ඉතා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම හා රුධිරයේ සීනි මට්ටම නිතිපතා අධීක්ෂණය මඟින් සංකුලතා ඇති වීමේ අවදානම අඩු කළ හැකිය.