අපේ මුතුන් මිත්තන් මෙන් අපත් නීරෝගි දිවිපෙවෙතක් ගත කිරීමට කාය බල, බුද්ධි බල, ආයු බල ආදියෙන් අනූන වීමට නම් ආයුර්වේදයේ දැක්වෙන දින චර්යාව පිළිබඳ විග්‍රහය ගැන දැනුවත් වී අනුගමනය කිරීම වැදගත්ය.
දින චර්යා විග්‍රහය
ආයුර්වේදයට අනුව අපේ දවස දිවා කාලය හා රාත්‍රී කාලය ලෙස වෙන් වේ. ඒ කාල තුළ හැසිරීම් රටාව දිවාචර්යා, නිශාචර්යා ලෙස නම් වෙයි. ආයුර්වේදීය දින චර්යාවට සද්වෘතය වශයෙන් සැලකෙන සදාචාරය ප්‍රශස්තචාර්ය (හොඳ ඇවතුම් පැවතුම්) නමැති උසස් අංගයක්ද ඇත. අලුයම අවදි වූ අවස්ථාවේ සිට රෑ නින්දට පිවිසීම දක්වාම මේ වැඩපිළිවෙළ, දිනචර්යා, නිශාචර්යා සහ සද්වෘත ක්‍රියාත්මකව තිබිය යුතුය. ලාංකේය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සම්පූර්ණ දිනයක් ලෙස ගණනය කෙරෙන්නේ පෙරදින හිරු උදා වන මොහොතේ සිට පසු දින හිරු උදා වන තෙක්
පවත්නා කාල සීමාවය. ඒ කාලය තුළ දෛනිකව පුද්ගලයකු කළ යුත්තේ මොනවාද, කරන්නේ කෙසේද යන්න ගැන දින චර්යාවෙහි සඳහන් වේ.
දින චර්යාවෙහි ප‍්‍රධාන වශයෙන් පිරිසුදු විය යුතු ආකාර දෙකකි.
01. ඇතුළතින් පිරිසුදු වීම
02. පිටතින් පිරිසුදු වීම
ඇතුළතින් පිරිසුදු වීම

විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය එච්.එම්. කුසුමානන්ද
පුද්ගලයකුගේ නීරෝගි පැවැත්මක් සඳහා පුද්ගල අභ්‍යන්තරය පිරිසුදු විය යුතුය. එනම් මනස පවිත්‍ර කිරීම සඳහා කය වචනය සහ මනස සංවර කරගෙන සෑම විටම සත් මනසක් පවත්වාගත යුතුය. මිනිසාගේ සිත පාලනය කරගත හැකි එකම ක්‍රමය සිත සුද්ධ පවිත්‍ර කරගැනීම පමණි. සිත කෙලෙස්වලින් කිලිටි වූ විට කම්පනයට, වේදනාවට, චලනයට, විස්සෝපයට පත් වේ. එයින් මානසික රෝග මතු වේ. සිතේ ඇති කෙලෙස් ඉවත් කර සිත පිරිසුදු කරගැනීමට නම් මනසේ හැකියාව මනීන්ද්‍රිය, යොනිසෝමනසීකරණ ශක්තිය භාවිත කළ යුතු වේ. මනීන්ද්‍රීය භාවිත කිරීමට හුරු වීම, භාවනා කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ. මනස එක්තැන් කිරීම යනු ඕනෑම සිදුවීමක් ඉවසා විමසා හේතුඵල දහමට ගළපා බලා විනයට සසඳා බලා උපේක්ඛා සිතින් ක‍්‍රියා කිරීමට පුරුද්දක් පුහුණුවක් ලබා ගැනීමය. බෞද්ධ ධර්මය තුළ භාවනා ක්‍රම සඳහා ඕනෑ තරම් මඟපෙන්වීම් ඇත.
සෑම මොහොතකම මනසේ සත් ගුණය පවත්වාගත යුතුයි. මෙයින් අදහස් වන්නේ මිනිසා තුළ පහළ වන සත් ගුණයයි. එනම් සන්සුන් බව, සිතේ පැහැදිලි බව, ප්‍රසන්න බව, ප‍්‍රඥාවන්ත බව, සැහැල්ලු බව හා සැනසිලිමත් බව ආදියයි. මෙහිදී පුද්ගලයා තුළ ඇති වන කැපීපෙනෙන ලක්‍ෂණ වශයෙන් සිහිකල්පනාවෙන් යුක්ත බව, සැදැහැවත් බව, පැහැදිලි නුවණ ඇති බව, උත්සාහවන්ත බව, දක්‍ෂ බව, කලකිරුණු ස්වභාවයෙන් මිදුණු බව, ස්ථීර ප්‍රතිපත්ති ඇති බව, ගැඹුරු බුද්ධිය හා සිතිවිලිවලින් යුක්ත බව, යහපත් අදහස්වලින් යුක්ත බවයි. දිනපතා සෑම මොහොතකම මේවා ආරක්‍ෂා කරගෙන පවත්වාගෙන යෑම ඇතුළතින් පිරිසුදු වීමයි.
පිටතින් පිරිසුදු වීම
පොදුවේ ඕනෑම අයකු තම දෛනික චර්යාවේ අනිවාර්ය අංග කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, එ්වා නිවැරැදිව සිදු කළ යුතු අයුරුත්, දිනපතා කළ යුතු, නොකළ යුතු දේත් ආයුර්වේදයේ යහපත් විහරණ යටතේ සාකච්ඡා කෙරේ. එ් අනුව, සුබ මොහොතින් අවදි වීම, මල මූත්ර බැහැර කිරීම, දත් මැදීම, ව්‍යායාමය, තෙල් ගෑම (හිසට සහ ඇඟට) ස්නානය, ආහාර ගැනීම, පාවහන් පැලඳීම, හිස් වැසුම් භාවිතය, හොඳින් නින්දට යෑම යන කරුණු ගැන අවධානය යොමු කරමින්, දිනපතා කළ යුතු දේ හා නොකළ යුතු දේ ගැන දැනුම්වත්ව සිටිය යුතුය.
පුද්ගලයකු දිනපතා උදෑසන නිශ්චිත වේලාවකට අවදි විය යුතුය. ආයුර්වේදයේ සඳහන් ආකාරයට උදෑසන අවදි වීමට සුදුසුම වේලාව ‘බ්‍රහ්ම මුහුර්තියයි’. එනම් දිනපතා හිරු උදා වීමට විනාඩි 48කට කලින් ඇති විනාඩි 48ක කාල පරාසයයි. එය උදෑසන 4.24 සිට 5.12 දක්වා වූ විනාඩි 48යි. මේ කාල සීමාව තුළ පරිසරය ඉතා නිශ්ශබ්දය. හොඳින් පිරිසුදු වාතයෙන්, අපට ලැබෙන ඔක්සිජන් මඟින් නිදහසේ හොඳ හුස්මක් ගැනීමටද අවස්ථාව ලැබේ. හොඳ නින්දකින් පසු නිරවුල් පිරිසුදු මනසකටද උරුමකම් ඇත. එනිසා දිනපතා මේ යහපත් කාලයේ අවදි වීමට පුරුදු කරගන්න.
නිවැරැදිව වැසිකිළි යෑම යන්නෙන් හැඟවෙන්නේ රාත්‍රී කාලය තුළ එකතු වූ මල මූත්‍ර උදෑසන අවදි වූ විට සිරුරෙන් බැහැර කළ යුතුය යන්නය. සිරුරේ ඇති අපහසුතා සහ බර ගතිය ඉවත් කරමින් සැහැලුවෙන් නැවුම්ව දවස ඇරඹීමට එය කළ යුතුමය. මල මූත්ර බැහැර කිරීමේ ස්වාභාවික අවශ්‍යතාව දැනුණු විගස එය කල් නොදමා එ් මොහොතේම බැහැර කළ යුතුය. නැති නම් එම අවශ්‍යතාව පසුවට දැමීම නිසා ශරීරයේ ස්වාභාවික ක්‍රියාවලියට බාධා එල්ල වීමේ ඉඩකඩ ඇත. දීර්ඝ කාලයක් නිසි අයුරින් මල මූත්‍රා බැහැර නොකිරීම අවසානයේ අහිතකර සෞඛ්‍යයක් නිර්මාණය කරවයි. එනම් මලබද්ධය අර්ශස්, භගන්දර, මූත්‍රශය ආශ්‍රිත ගල් සෑදීම වැනි බොහෝ ආබාධ බහුල වන්නේ මේ හේතුව පදනම් කර ගනිමිනි.
ආහාර පුරුදු කළමනාකරණය
ලාංකේය ආයුර්වේදය තුළ පුද්ගලයකු ආහාර ගත යුතු ආකාරය සඳහන් වේ. වස විෂවලින් තොර නිර්මාංසාහාරික ස්වාභාවික ආහාර දිනපතා ගැනීම පුද්ගලයා නීරෝගි වීමට වැදගත් වේ. “උදෑසන ආහාරය රජකු සේ ගන්න. දහවල් ආහාරය මිතුරකු සමඟ බෙදාගන්න. රාත‍්‍රී ආහාරය හිඟන්නකුට දෙන්න.” මෙහි දක්වා ඇත්තේ ආහාරයේ ප්‍රමාණය හා පෝෂණය පාලනය ගැන පැහැදිලි විග්‍රහයකි. ඉතා දිගු වේලාවක් කුසගින්නේ සිට උදෑසන ආහාරය ලබා ගන්නා බැවින් පෝෂණයෙන් පිරිපුන් රජ බොජුනක් ගත යුතුය. කෙසේ වුවත් තුන්වේලටම බත් ගත යුතු බව ආයුර්වේදයේ සඳහන් වන්නේ නැත. මධුර අම්ල ලවණ කටු තිත්ත කසාය රසවලින් යුක්ත පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ යනු පංච භෞතිකවලින් නිර්මිත ආහාරයක් විය යුතු බවත්, එම ආහාර ශරීර වර්ධනය කරන ශරීරයට ශක්තිය ගෙන දෙන ශරීරයට ආරක්‍ෂාව සැලසිය හැකි විය යුතු බවත් ආයුර්වේදය පැහැදිලි කර ඇත.
ශරීර වර්ධක ආහාර ලෙස ධාන්‍ය වර්ග, මුං සෝයා, මෑ බෝංචි, රට කජු, මෙනේරි, කුරක්කන්, තල, කිරි, මෝරු, බටර්, ගිතෙල් ආදිය හැඳන්වේ. ශක්තිජනක ආහාර ලෙස සහල්, තිරිඟු, මුං, කුරක්කන්, වැල්අල, කිරිඅල,ඉන්නල, කොඬොල්, අර්තාපල් ආදි අල වර්ග කොස්, දෙල්, කෙසෙල්, සීනි, හකුරු, මීපැණි, කිතුල් හකුරු, එළගිතෙල්, දුන්තෙල්, චීස්, බටර්, එළවළු තෙල්, සෝයා, මාගරින්, රට කජු, තල තෙල් ආද් ආහාර වර්ග ගත හැකිය.
ශරීරය ආරක්‍ෂා කරන ආහාර ලෙස අලුත් එළවළු වර්ග ගොටුකොළ, තම්පලා, කතුරුමුරුංගා, කංකුං, නිවිති, මුකුණුවැන්න, පිපිඤ්ඤා, වට්ටක්කා, වැටකොළු, පතෝල, පුහුල්, කැකිරි, කැරට්, කතුරුමුරුංගා මල්, කෙසෙල් මුව, කෙකටිය, ලූනු මල් ආදියත් කෙසෙල්, පැපොල්, අඹ, අන්නාසි, දිවුල්, සියඹලා, මසං, අනෝදා, නාරං, වෙරළු ආදි අලුත් පලතුරුත් දිනපතා භාවිත කළ යුතුයි.
ආහාර ගැනීමේදී පමණට වඩා ආහාර නොගත යුතුය. ආහාරය ගැනීමේදී කුසගින්න සමනය වූ පසු ආහාර ගැනීම නතර කළ යුතුය. එය තමන් විසින්ම අවබෝධයෙන් කළ යුත්තකි. ආමාශයෙන් අඩක් පමණ ආහාර ගන්නා ලෙසත් ඉතිරි අඩෙන් කාලක් ද්‍රව ආහාර එනම් පලතුරු යුෂ වැනි පානය කළ යුතු බවත්, ඉතිරි කොටස හිස්ව තබාගත යුතු බවත් සඳහන් කර ඇත. එසේම දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ප්‍රමාණාත්මකව දිරවීමට පහසු ශරීරයේ සැහැල්ලුව ආරාක්‍ෂා වන පරිදි ගැනීමට මතක තබා ගත යුතුය. ඒත් සෑම කෑම වේලකදීම ආමාශයෙන් අඩක් පමණ ඝන ආහාරද ඉතිරි අඩෙන් කාලක් යුෂ වර්ග හා ඉතිරි කාල හිස්ව තබා ගැනීමේ මූලධර්මය එසේම විය යුතුය. ආකාලයේ වයසට යෑම වළක්වමින් පුද්ගලයා නීරෝගි බව සුරකින ඖෂධ සහ පිළියම්ද ආයුර්වේදයේ රසායන චිකිත්සාවෙහි සඳහන්ය. එ් එ් පුද්ගලයාගේ ශාරීරික තත්ත්වය හා රෝගි තත්ත්වය ආදිය අනුව රසායනික ඖෂධ ලබා ගැනීමට උපදෙස් දී ඇත.
පුරුෂයා අවුරුදු 16 සිට අවුරුදු 70 තෙක් ද කාන්තාව අවුරුදු 18 සිට මාස් ශුද්ධිය නතර වන තෙක් තරුණ බව ආරක්‍ෂා කරගැනීමට ආයුර්වේද වාජීකරණ චිකිත්සාවේ උපදෙස් දී ඇත. හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ සකස් කළ කාමරයක රාත්‍රී 9.00 – 10.00 අතර කාලයේ සිංහ ස්‍යෙයාවෙන් සැතපී නින්දට යෑම සුදුසු බවද දක්වා ඇත.