Home » තෙළුන්ගානා විපක්ෂය සහ ලංකාවේ විපක්ෂය

තෙළුන්ගානා විපක්ෂය සහ ලංකාවේ විපක්ෂය

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment

ලෝක රූ රැජන තරගය මේ දිනවල ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේදී පැවැත්වේ. මෙවර තරගයට රටවල් 101ක රුවැත්තියෝ සහභාගි වී සිටිති.

ඉන්දීය සංචාරක ව්‍යාපාරය ඉතා ප්‍රවර්ධනය කෙරෙන මේ අවස්ථාව ප්‍රාන්තයේ ආර්ථික සංවර්ධනයට උපරිමයෙන් යොදාගැනීමට තෙලඟනා පළාත් ආණ්ඩුව පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දැනට බලයේ සිටින්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයයි. ආණ්ඩු පක්ෂයේ මෙහෙයවීමෙන් සිදු වන ඕනෑ ම කටයුත්තක් ආණ්ඩුවට විරෝධය පෑම සඳහා අවස්ථාවක් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ විපක්ෂ කණ්ඩායම්වල ද සිරිත ය. ඒ නිසා ම ලෝක රූ රැජන තරගය ආරම්භයේ සිට ම මතභේදාත්මක එකක් බවට තෙලඟානා විපක්ෂ කාන්තා සංවිධාන විසින් පරිවර්තනය කර ගනු ලැබී ය.

රූ රැජන තරගාවලිය සංවිධානය කර තිබුණේ තෙලඟානා ප්‍රාන්තයේ සංචාරක උරුම සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ ය. පසුගිය දා රූ රැජන තරගකාරිනියෝ වරංගනා ප්‍රදේශයේ කණු දහසේ කෝවිල නැරඹීමට ගියහ. අමුත්තන්ට දෙවිවරුන් ලෙස සැලකීම සහ ඔවුන්ට ගරු කිරීම යන අර්ථය ඇති ‘අදිති දේවෝ හඬ’ යන ඉන්දීය සංස්කෘතියේ ආගන්තුක සත්කාර සම්ප්‍රදායට අනුකූල ව කෝවිලට පැමිණෙන ආගන්තුකයන්ගේ පා දෝවනය කිරීම චාරිත්‍රයකි.

එක්වර විශාල පිරිසකගේ පා දෝවනය කර ගත නොහැකි නිසා රූ රැජනන්ට පිත්තල බේසම් සහ පැන් කෙණ්ඩි සපයා දී තිබිණි. ඔවුන් පා දෝවනය කර ගත් පසු කකුල් පිස දා ගැනීම සඳහා තුවා ද සපයා ඇත. මේ කටයුතු සිදු කර තිබෙනුයේ තෙලඟානා කාන්තාවන් විසිනි. තෙලඟානා කාන්තාවන් ලවා ලෝක රූ රැජනන්ගේ පා සේදවීමෙන් තෙලඟානා කාන්තාවන්ට කරන ලද අපහාසයට ආණ්ඩුව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු යැයි මේ දිනවල ප්‍රාන්ත විපක්ෂය දැවැන්ත උද්ඝෝෂණයක් පටන් ගෙන ඇත. වරංගල් ප්‍රදේශයේ මන්ත්‍රිනී කාදියම් කාව්‍යා බීබීසියට පවසා තිබුණේ ඉන්දීය කාන්තාවන් රූ රැජනන්ගේ පා නොසේදූ බව පැහැදිලි ව වීඩියෝ දර්ශනවල පවා සටහන් ව තිබිය දී භාරතීය රාෂ්ට්‍රීය සමිති නායකයන් ආණ්ඩුව අසීරුවට පත් කිරීම සඳහා බොරු උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව ය. මෙවැනි හාස්‍යජනක විගඩම් ලංකාවේ ද සිදු වේ. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අඩු නිසා ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු යැයි එජාපයේ තලතා කීවේ ය.

වසර තිහක් පැවතිය යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් මවුපියන්ගේ දෙනෙත්වලින් කඳුළු ගලා ගිය බවත්, නැවත ලංකාවේ කිසි දිනක යුද්ධයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 19 වැනිදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති දිවි පිදූවන් සිහි කිරීමේ අනුස්මරණ උත්සවයේදී පැවසීය.

ජනාධිපතිවරයා සිදු කළ කතාව උතුරේ දකුණේත් බොහෝ දෙනාගේ පැසසුමට හේතු විය. එහෙත් එය දරා ගත නොහැකි වූ විපක්ෂය ආණ්ඩුව රණවිරුවන් හෑල්ලුවට ලක් කළා යැයි මහා කන්දොස්කිරියාවක් පටන් ගෙන ඇත. කවර කරුණක් අරබයා හෝ ලංකාවේ විපක්ෂයට නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. වැලේ වැල් නැති ලංකාවේ විපක්ෂය දිගින් දිගට ම නපුරු කුඩම්මාගේ චරිතය රඟපාමින් සිටී. ආණ්ඩුව කරන කිසිවක හොඳ දකින්නට ඔවුන්ගේ කිලිටි හෘදයසාක්ෂිය ඉඩ නො දේ.

විපක්ෂය මේ තරම් අසරණ වූ අවස්ථාවක් මෙරට දේශපාලන ඉතිහාසයේ නැත. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන සමයේ එජනිස ආණ්ඩුවට එක් වූ කරු ජයසූරියගේ පටන් සැම මන්ත්‍රීවරයකුම කීවේ මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට තමන් ආණ්ඩුවට එක් වූ බව ය. දැන් කවුරු පැන්නත් ශක්තිමත් කරන්නට දෑතක් නැත; අනිත් පැත්තෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් නැත; තීරු බදු රහිත වාහන නැත; බෙහෙත් ගන්නට සිංගප්පූරු යන්නට සෑහෙන රක්ෂණයක් නැත; නිල නිවාස නැත; ගම්භීර ලෙස ගමට යන්න ආරක්ෂකයෝ නැත; පාර්ලිමේන්තුවෙන් ලැබුණු තුට්ටු දෙකේ කෑම වේලද නැත. දයාසිරි ජයසේකරලා වියරු වැටී සිටින්නේ සියලු අපේක්ෂා බිඳවැටී ඇති නිසා ය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාවට වගකියන ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳදමා, නැවතත් මිරිස්කුඩු පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමට ය. ගෞරවනීය දේශපාලන සම්ප්‍රදාය ඔවුන්ට වහකදුරු ය. පසුගිය දූෂිත දේශපාලනයේ අක්මුල් සොයා දූෂිතයන් නීතිය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් ඔවුන් බියට පත් ව සිටින බව විපක්ෂයේ වර්තමාන හැසිරීමෙන් ජනතාවට ප්‍රත්‍යක්ෂ වේ.

You may also like

Leave a Comment