දැනට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැඩ වාසය කරන අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් අද වඩාත් ප්‍රචලිතව ඇත්තේ පිටකවරෙ, දුමාරෙ ඈ ජනප්‍රිය ගීතවල පද රචකයා වශයෙනි. එහෙත් උන් වහන්සේ චිත්‍රකර්මය, නාට්‍ය නිෂ්පාදනය ඇතුළු නොයෙකුත් කලා මාධ්‍ය ඔස්සේ තම කුසලතා ඔප් නංවාගත් යතිවරයෙකි. එතෙර බොහෝ විහාරස්ථානවල තම තෙළිතුඩින් නිමැවූ දර්ශනීය තොරන් හා චිත්‍ර මඟින් විදේශිකයන් පවා ඇද-බැඳ තබාගත් පුඤ්ඤරතන හිමියන් පිළිබඳ ප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු සමූහයක් විදාරණය කරමින් මේ ලිපිය සැකසේ.
වර්ෂ 1988 අඳුරු මූසල රැයකදී තම ගෙපැලට කඩාවැදුණු නොනිල මැරයන් විසින් තම පියා පැහැරගැනීමෙන් ඉක්බිති තම මවත්, මවගේ මවත්, පියාත් සමඟ තනි වූ හය-හතර නොතේරෙන රොෂාන්ට කුඩා කාලයේදීම මුහුණ පෑමට සිදු වූ ඛේදජනක ඉරණම පිළිබඳ දැඩි මනස්තාපයක් සිත තුළ සටහන් වූ බව නොඅනුමානය. එහෙත් දැඩි ධෛර්යවන්ත ගැහැනියක වූ ඔහුගේ මව තම පුතුගේ ජීවිතය හා ඉදිරි පැවැත්ම වෙනුවෙන් දැඩි තීරණයක් ගත්තාය.
ඒ අනුව මව විදෙස්ගත වීමෙන් අනතුරුව මිත්තණිය හා මුත්තණුවන් සමඟ ජීවිතය ගෙවා දැමූ රොෂාන් තම කාලය ගත කළේ ගමේ විහාරස්ථානය වූ අත්තිඩියේ මාලිගාවත්ත පුරාණ විහාරයේය. එහි නායක හිමියන් වන ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති නාහිමිගේ ඇසුරට පත් වීමෙන් තමා ගෙවා දමමින් සිටි හුදෙකලා ජීවිතය යම් තරමකට හෝ සැහැල්ලු වන බව පුංචි රොෂාන්ට දැනිණි. නායක ස්වාමීන් වහන්සේ විසින් සංවිධාන කළ අනුරාධපුර අටමස්ථාන වන්දනා සංචාරයකට පුංචි රොෂාන්ව එකල විහාරාධිපති හිමිනම විසින් කැඳවාගෙන යෑමෙන් අනතුරුව එහිදී ඇස ගැටුණු පුංචි සාමණේර හිමිවරුන්, කසාවත් හා ඒ අවට පැවති නිහඬ නිසල බව ආත්මීය හුරු බවකින් යුතුව පුංචි රොෂාන්ට දැනෙන්නට විය. ඔහුට ඉන් බුදුසසුන කෙරෙහි තදබල ඇල්මක් හටගන්න වූ අතර තම මවගේ ආශීර්වාදය ඇතිව 2011 නොවැම්බර් 22 දින පැලෑඳ රජමහා විහාරයේදී ‘අත්තිඩියේ පුඤ්ඤරතන’ නමින් සසුන් බිමට ඇතුළත් විය.
උන් වහන්සේගේ ගැඹුරු පා සටහන් තැබූ ජීවිතයේ ප්‍රාරම්භය සැකසෙන්නේ ඒ විලසිනි. අද වන විට පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ පිළිබඳ නොදන්නා අයෙක් නැත.
කුඩා කාලයේ ජීවිතයේ අතිශය ඛේදජනක තත්ත්වයන්ට මුහුණ පෑ උන් වහන්සේ අද ජීවත් වන්නේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ බුද්ධඥාන ආරාමයේය. කලා කටයුතුවලට බෙහෙවින් ළැදි, සහජ කුසලතා පිරි උන් වහන්සේ චිත්‍රකර්ම විෂය, සංගීතය, ගීපද රචනය හා නාට්‍ය නිෂ්පාදනය ඇතුළු මෙකී නොකී බොහෝ කලා කටයුතුවල නිරතව සිටින අද දවසේ බෙහෙවින්ම කාර්යබහුල හිමිනමකි.
මෙහිලා වැදගත්ම කරුණ වන්නේ මේ කිසිම කලා ක්ෂේත්‍රයක් උන් වහන්සේගේ සහජ කුසලතාවෙන් මිස ආයාසයෙන් අධ්‍යයනය කළ දේවල් නොවීමයි. උන් වහන්සේ මෑතකදී පද රචනා කළ බොහෝ ගීත අද දවසේ ශ්‍රාවකයන් අතර බෙහෙවින්ම ජනාදරයට හා ජනප්‍රියත්වයට පත්ව ඇත. ‘පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා’ යනුවෙන් වඩාත් විවාදාත්මක ලෙස ව්‍යක්තව පද රචනා කළ උන් වහන්සේ තරුණ පරපුර අතර ඉතා ඉහළින් නමක් තබන ඉසිඹුවක නැවත වතාවක් නව පරපුරේ තරුණ ගායනවේදියකුට ‘මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි – උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි’ යනුවෙන් නවමු පදපෙළක් දිගහැර තැබීමෙන් රසික පර්ෂදය වෙත තම ශෛලිගත මුද්‍රාව සටහන් කිරීමට සමත් වූහ. ඉදිරි වසර කිහිපය තුළ උන් වහන්සේ අතින් නිමැවුණු ඉතා අරුත්බර සේම විවාදාසම්පන්න ගීත රචනා සමූහයක් නොයෙක් ගායක ගායිකාවන්ගේ හඬින් කලඑළි බැසීමට නියමිතය.
අමෙරිකාවේ ස්ථාපිත වියට්නාම් ආරාමයක් වන ‘බුද්ධ ඥාන’ විහාරය භාරව හා නොයෙකුත් ධර්ම ප්‍රචාර කටයුතු හා කලා කටයුතුවල නිරත වන උන් වහන්සේට මේ වන විට ඉතා වාසනාවන්ත සන්ධිස්ථානයකට පැමිණීමට උදවු දුන් බොහෝ අය වෙති. කුඩා කල ඉතා කටුක දිවි පෙවෙතක් ගත කළ උන් වහන්සේ ඒ ජීවිතයෙන් ගොඩගත්තේ ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් විසිනි. ලංකාවේ නොයෙක් විහාරස්ථානවල වැඩ වාසය කළ උන් වහන්සේ වර්ෂ 2012 මාර්තු 10 දින ශාස්ත්‍රවේදි ලත්පඳුරේ රතනවංශ නාහිමියන් විසින් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබීමෙන් අනතුරුව රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙනින් අවසාන විභාගය සම්පූර්ණ කර, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වී වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනින් රාජකීය පණ්ඩිත විභාගය සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. විශ්වවිද්‍යාල ජීවිතයේ උන් වහන්සේට උපකාර කළ බොහෝ දෙනා අදත් මහත් බැතියෙන් සිහි කරන අතර, උඩුවාවල සුධම්මිකා තෙරණිය එකල තම දිවිගමනට මහත් සවියක් වූ බව සිහිපත් කරති. උන් වහන්සේ විදේශගත වීමට ආසන්නව වැඩ වාසය කළේ උඩවෙල ශ්‍රී විශුද්ධාරාම පුරාණ රජමහා විහාරයේය. විදේශගත වීමට බොහෝ ආධාර අනුබල දුන් ගිරාතලානේ ගුණපාලී සිල්මාතාව පිළිබඳව උන් වහන්සේ අදටත් නිතරම කෘතගුණ උපහාරව සිහිපත් කරති. ඒ හැර උන් වහන්සේට උදවු උපකාර කළ ගිහි පැවිදි බොහෝ අය වෙති. ඒ හැමටම උන් වහන්සේ නිරන්තරයෙන්ම පුණ්‍යානුමෝදනා, කෘතගුණ උපහාර දක්වති.
අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ උපන්නේ 1988 ජූනි 1 දින වන අතර, වර්තමානයේ උන් වහන්සේගේ වයස අවුරුදු 37කි. කලා කටයුතුවල නිරත බොහෝ පිරිසකට ආර්ථික වශයෙන් හා ශ්‍රමයෙන් උදවු උපකාර කළ උන් වහන්සේට කලාව නිසාම බොහෝ දේ අහිමි වූ බව නොරහසකි. තම කලා කටයුතු වාණිජ අරමුණුවලින් බැහැරව තබාගැනීමට උන් වහන්සේ නිතරම ප්‍රයත්න දරන අතර, මෑතකාලීනව උන් වහන්සේට ප්‍රශංසා වාගේම නින්දා අවමන් හා ගැරහුම්ද නොඅඩු විය. මිනිසුන් දරන නොයෙක් වැරදි මතිමතාන්තරයන් හා ආකල්ප නිසාද බොහෝ දුරට උන් වහන්සේගේ පද රචනා හෝ නිර්මාණ තුළින් ගම්‍ය වන භාෂා විලාසය හෝ සමාජ කතිකාමය අවකාශය නිසා උන් වහන්සේ බොහෝ වාරවලදී විවේනයට බඳුන් වූ බව නොරහසකි. එහෙත් ඊයේ අද මෙන් හෙටද උන් වහන්සේ විසින් රචිත කලා නිර්මාණ මේ පොදු අවකාශයන් තුළ ඉතා ඉහළින් පිහිටා සිටින බව අතිශයෝක්තියක් නොවේ. අප ඉහත ගෙනහැරපෑ ගී පද රචනා හා නිර්මාණ එය සාක්ෂාත් කරන නිදසුන්ය.
එදා පුංචි සන්ධියේ කුසගින්නේ පවා ජීවිතය ගැටගසා ගත් ඒ පුංචි දරුවා අද වන විට ආර්ථික අතින් වඩාත් සමෘද්ධිමත් භික්ෂූන් වහන්සේ නමකි. එනිසාම උන් වහන්සේ බොහෝ දුගී මගී යාචකයන්ගේ ජීවිත වඩාත් වාසනාවන්ත කරවනු වස් පිහිටුවා ඇති සංවිධාන හා ඊට තම ශ්‍රමයෙන් ආධාර අනුබල දෙන ව්‍යාපෘති ප්‍රමාණය ඉමහත්ය. කලා කටයුතු අතරවාරයේ උන් වහන්සේ ඒවාටද තම දායකත්වය දෙන අතර, සාසනික කටයුතු වගකීම්ද නොපිරිහෙළා ඉටු කරති.
ඇතමෙක් විමසන්නේ උන් වහන්සේගේ පද රචනා බොහෝ විට ගමේ නගරයේ නොඑසේ නම් අප බොහෝ විට අසා ඇති ‘බජාර්’ එකේ වචනම වන්නේ කෙසේද කියාත් හිමි නමකට ඒ පද හා වචන තෝරා බේරා උකහා ගන්නට හැකියාව ඇත්තේ කෙසේද කියාත්ය. ඒ වචන හා පද බොහෝ විට භාවිත වන්නේ සමාජයේ අව වරප්‍රසාදිත පන්තියෙන් බව ඇතැමකුගේ මතයයි. හාමුදුරුවන් එසේ ලියනවා නම්, හාමුදුරුවනුත් ඒ මිනිසුන් සමඟ එකට වසන්න ඇති බවත් තවෙකකුගේ මතයයි . ඒ හැමටම පිළිතුරු දෙමින් අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් පවසන්නේ, තමන් විසින් තමන්ගේ ඉහළම ප්‍රභූ පෙළැන්තිය වගේම පහළම පීඩිත මිනිසුනුත් උන් වහන්සේ ඇසුරු කර ඇති බවයි. ඒ හැම අයෙකුගේම හද ස්වර හා සහකම්පන උන් වහන්සේට ඉතා ඉහළින් දැනෙන හා හැඟෙන බවයි.
මුල් කාලයේ ඉතාමත් භාව ප්‍රකාශිත භාවපූර්ණ ශාස්ත්‍රීය නිර්මාණ රාශියක් කළත්, ඒ නිර්මාණවලට සමාජයේ යම් තරමක හෝ ප්‍රතිචාරයක් නොලැබුණ බවත්, පසුව සියල්ලන්ටම දැනෙන තේරෙන පද රටාවක් හා භාෂා විලාසයක් සකස් කරගැනීමට තමන් වහන්සේ උත්සුක වූ බවත් උන් වහන්සේ පවසති. එය අපතේ නොගිය බව තමන්ට දැන් සාක්ෂාත් වී තිබෙන බව උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කරති. කෙසේ නමුත් කලා ලෝකයේ නිරන්තරයෙන්ම පවතින කැපිලි කෙටිලිවලට තමන් වහන්සේත් මුහුණ දුන් නමුත් ඉන් ඇදනොවැටී ඒකායන ඉලක්කයක් සහිත ගමන් මාර්ගයක සැදැහැ සිතින් පියමං කළ බව තව දුරටත් උන්වහන්සේ සඳහන් කරති. තමන් වහන්සේ ආත්මය සුවපත් කරනු වස් ලෝකයට ධර්ම ප්‍රචාරණ කටයුතු හා පුණ්‍ය ක්‍රියා හා ආගමික ක්‍රියාකාරකම්වල නිරත වන අතරම මේ හැකියාවන් යොදා ලෝකය සුවපත් කරලීම ප්‍රථම කාර්යය බව අවධාරණය කරති. අද බොහෝ දෙනකු තමන් වහන්සේ ගැන කතා කළත් තව නොබෝ දිනකින් සියල්ලන්ටම අමතක වී යන බවත්, එය සමාජ ජීවිතයේ ප්‍රවණතාව බවත් පවසන උන් වහන්සේ තමන්ගේ ඒකායන අරමුණ කලාව හා ආගමික කටයුතුවලින් මනස සංස්තෘප්ත කර, වැඩදායි හිමිනමක ලෙස ලංකාවේ සිය මුද්‍රාව තබා නික්ම යෑම බව කියති. ඒ සඳහා දැනටමත් මුල් පියවර තබා ඇති බව උන් වහන්සේ පවසන්නේ දැඩි අධිෂ්ඨානයකිනි. ඒ අපේ කලාව ලෝකයටම ගෙනයන කැලිෆෝනියාවේ ඉදිකෙරෙන ‘විශ්ව බෞද්ධ කලා ගම්මානය’ යි. මහත් පරිශ්‍රමයකින් එහි මූලික අදියරට අවශ්‍ය අඩිතාලම යොදා අවසන් බව උන් වහන්සේ කියා සිටින්නේ මහත් සතුටකිනි.
අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන්ගේ කලා ජීවිතයට ශුභාශිංසන පතමින් උන් වහන්සේගේම පද පෙළකින් මේ ලිපිය නිමා කරමු:
‘මේ අහසට පොළොවෙන්
නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත්
උඹව මතක සුමානයයි…’
ශ්‍යාමා දේවිකා දමයන්ති