යිකු කවියක් පබඳින්නේ කෙසේද යන්නට කෙටි පිළිතුරක් නැත. ජපන් හයිකු කවියේ හෝ බටහිර, යුරෝපා, ලතින් අප්‍රිකානු හෝ ලොව ඕනැම රටක හයිකු කවියකට සන්දර්භයක්, රීතියක්, ආකෘතියක් ඇත.
ඒ ඒ සංස්කෘතික ධර්මතාවලට පොදු මේ ලක්ෂණ යම් පමණකට හෝ හයිකු කවිය හදාරන මානවකයා මනා කැපවීමකින් ශික්ෂණයකින් උගත යුතුමය. ලෝක පූජිත හයිකු කිවි මත්සුවා බෂෝ ජීවමාන යුගයේදී පවා ඒ තත්ත්වය එලෙසම පැවති බවට පැරණි පොතපත සාක්ෂි දරයි. ශ්‍රී ලංකා හයිකු කවියද එලෙස පුරුදු පුහුණු වීමෙන් අනතුරුව පමණක්ම රචනා කළ හැක්කකි.
හයිකු කවියක් රසවිඳීමට වුවද යම් තරමකට හෝ හයිකු පිළිබඳ දැනීමක් අවශ්‍ය වේ.
හයිකු කවියේ තිඹිරිගෙය සෙන් බුදුදහම වන අතර, මුල්ම හයිකු කවිය රචනා වූයේද ජපානයේ ඈත කඳු මුදුන්වල විසූ සෙන් යතිවරුන් අතිනි. සෙන් බුදුදහමින් හයිකු කවිය ලත් ආභාසය වනාහි අන් කිසිවක්ම නොව, මේ අත්හැරීම පිළිබඳ භාරධූර න්‍යායම වේ. හයිකු කවිය තුළ කවියා නොපෙනීම, කවිය අත්හැර කවියා පසෙකට වීම, හයිකු කාව්‍ය රටාවේ ආධ්‍යාත්මය පිරිසිඳ බලන විට අවධාරණය වන සත්‍යයකි. මේ අදහස ඇනී නමැති හයිකු කිවිඳියගේ පහත ප්‍රකාශයේ මැනැවින් ගැබ් වී තිබේ. එනම්: “නිරන්තරවම හයිකු කවියක ඇතුළෙහි හයිකු කවිය මිස එහි නිර්මාණකරු නොපෙනී යා යුතුය.”
හයිකු කවියද එසේය; බැඳීමෙන් තොරය. එය මිනිස් සන්තානයේ සියුම් රස භාවයන් වෙත ලොව ඉහළම කවි රසය බෙදා දෙමින් බැඳීමෙන් තොරව ගලා යයි. මේ ඉසියුම් කලා මාධ්‍යය පිරිසිඳ නිවුණු මනසින් හැදෑරීමේදී පසක් වන යුරු හයිකු යනු වෙන කිසිවක්ම නොව සොබාදහම සහ සාහිත්‍යය යා කෙරෙන සවර්ණමය වින්දිතයකි.
ලොව හයිකු කවි කලාව පිළිබඳ පර්යේෂණ කළ අමෙරිකාවේ සම්මානනීය සාහිත්‍යධරයකු වූ රොබර්ට් හාස් මෙලෙස පවසයි: “හයිකු යනු මිනිසාට සෑම මොහොතකම ඇති වටිනාකමට අවධානය දීමට බිහි වූ කලාවකි.”
එලෙසම ජපන් මහා හයිකු කිවි මත්සුවා බෂෝ හයිකුවක් රචනා කිරීමේ අසීරුතාව හඟවන අදහසක් මෙසේ පවසයි. එනම්: “ජීවිත කාලයටම හයිකු කවි තුනක් හෝ පහක් ලියූ අයකු සිටී නම්, හේ හයිකු කවියෙකි. ඔහුට හයිකු කවි දහයක් ලිවීමට හැකි වී නම්, ඔහු ඒ පිළිබඳ විශිෂ්ටයෙකි,” යනුවෙනි.
බෂෝගේ මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ පරිපූර්ණ හයිකු කවියක් ලිවීම කොතරම් අසීරුද යන වගයි.
හයිකු කවි කලාවට අද ඇති ප්‍රධානතම අභියෝගය නම් සමහර පුද්ගලයන් හයිකු කවිය ඉගෙන නොගෙන හයිකු කවිය ගැන දුර්මත පළ කිරීමය. එකී මත බිඳහෙළමින් හයිකු කවි අධ්‍යයන මණ්ඩප තුළ සිසුසිසුවියෝ හයිකු කවිය දිනපතා හදාරමින් සිටිති.

පාලිත සේනාරත්න
සභාපති,
ශ්‍රී ලංකා හයිකු කවි සංගමය
හයිකු කවියේ අනාගතයක්, අතීතයක් නැත; මමත්වය නැත; නිගමන නැත;
මතවාද නැත. හයිකු යනු කිසිසේත්ම කවියාගේ අදහස් නොවේ. අද බොහෝ දෙනකු තමාගේ සිතට එන අදහස් කෙටියෙන් ලියා, ඒවා හයිකු යැයි පවසන බව පෙනෙන්න තිබේ. ඒවා ඒ අයගේ සිත් තුළ මතු වූ එක් එක් අදහස් පමණි; මතිමතාන්තර පමණි. ඒවා හයිකු නොවේ. හයිකු යනු එවේලේ සිදු වන ක්‍රියාවක් මඟින් ජීවිතය සොබාදහම මත තබා ව්‍යංග්‍යාර්ථවත්ව, ඒකාත්මිකව, දාර්ශනික සුන්දරත්වය මුසුව චිත්තරූපයට නැඟීමයි. ඒ මිස, කවියාගේ සංවේදනා, මතිමතාන්තර හයිකුවට ඇතුළත් නොකළ යුතුය.
මෙනයින්, හයිකු යනු විලාපයක්වත්, වේදනාවෙන් කෑගැසීමක්වත්, පරාජිත සුසුමක් වත් නොවේ. එය මිනිස් දිවියේ ගැඹුරුම යථාර්ථයයි. එය සාහිත්‍යමය සොඳුරු රටාවකින් ඉස්මතු කිරීම තරමක් අසීරු වුවද එය මතු කරගත් තැනෙහිදී හිතට දැනෙන නිරාමිස සුවය ලෝක පූජිත හයිකු කවි පරිශීලනයෙන් ඔබට වටහාගත හැකියි.
හයිකු යනු කොතරම් වැදගත්, උතුම් සාහිත්‍ය අංගයක්ද? එය කොතරම් පරිස්සමින් හැදෑරිය යුතුද? යන වග දැන් අවබෝධ විය යුතුය. හයිකු කවි අධ්‍යයන මණ්ඩපවලට එක්ව, පෙර අපර දෙදිග හයිකු කවියේ සම අසමතා නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් බව වටහාගත යුතුයි.