Home » නුවර පස සුරකින්න පේරාදෙණි සරසවියෙන් Bamboo bliss…

නුවර පස සුරකින්න පේරාදෙණි සරසවියෙන් Bamboo bliss…

by Mahesh Lakehouse
May 24, 2025 12:30 am 0 comment
ප්‍රභාෂලී රත්නායක
ව්‍යාපෘතියට සම්බන්ධ වූ ZeroPlastic සාමා­ජික සිසුන්

හනුවර දිස්ත්‍රික්කය මුල් කරගත් මධ්‍යම කඳුකරයේ වරින් වර පස් කඳු කඩාවැටීම්, නාය යෑම්, ගස් කඩාවැටීම් වැනි ස්වාභාවික විපත් වැඩි වශයෙන් දැකගත හැකිය. මේ ව්‍යසනයන් සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බව පැහැදිලිය.

මේ ආපදා වළක්වාගැනීම උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ZeroPlastic සංගමය එක්ව දියත් කළ ‘Bamboo bliss’ නම් වැඩසටහනක් පසුගිය වසරේදී මැයි මාසයේදී ආරම්භ කරන ලදි. එහි දෙවැනි පියවර පසුගිය 18 දින පවත්වනු ලැබීය. මේ සඳහා මූලිකත්වය ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි.

පසුගිය වසරේ මහවැලි ගං ඉවුරේ ‘සරසවි මැඳුර’ නේවාසිකාගාරය ඉදිරිපිට සිට හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය දක්වා උණ පැළ රෝපණය කිරීමේ වැඩසටහන එහිදී ආරම්භ කරන ලදි. මේ වසරේ මහවැලි ගඟ අසබඩ ‘සරසවි මැඳුර’ නේවාසිකාගාරය ඉදිරිපිට උණ පැළ රෝපණය කිරීමේ වැඩසටහන සිදු කෙරිණි.

මේ වසරේ වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලයේ සිටින ZeroPlastic සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් අතිසාර්ථකව සිදු විය. මේ අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ඇතුළු පරිසරයට ආදරය කරන ආචාර්ය, මහාචාර්යවරුන් සහ විද්‍යාර්ථීන් ඇතුළු ස්වේච්ඡා සාමාජිකයෝ 200කට අධික පිරිසක් සහභාගි වූහ.

ඊට අමතරව මහවැලි අධිකාරියේ, පරිසර හා වන සංරක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ නිල්මිණි ඒකනායක සහ එහි කාර්ය මණ්ඩලත්, සරසවි මැඳුර නේවාසිකාගාරයේ නේවාසිකාගාර පාලිකා ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.

එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලන අංශයද මේ සදහා සහය දී ඇත. මහවැලි අධිකාරිය, පේරාදෙණිය ලංකා බැංකු ශාඛාව සමඟ එක්ව මෙම වැඩසටහනට රෝපණය කිරීමට අවශ්‍ය උණ පැළ 1,000 සඳහා අනුග්‍රාහකත්වය දී, මේ වටිනා කර්තව්‍යය සහාය වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ මහවැලි ගඟට ආසන්නව කි.මී. 4 1/2ක භූමි ප්‍රමාණයක් ඇති අතර, වර්තමානය වන විට ඉතා වැඩි වශයෙන් පාංශු ඛාදනයට ලක්ව ඇති ප්‍රදේශයක් ලෙස එය පෙන්වාදිය හැකිය. පාංශු ඛාදනය වැළැක්වීම සඳහා සුදුසුම ශාකයක් ලෙස උණ ශාකය පෙන්වා දිය හැකි අතර, එම උණ ශාකවල විශාල, ශක්තිමත් මූල පද්ධතියක් නැති නිසාවෙන් ‘සිග්සැග් ‘ආකාරයෙන් සිටුවීම මඟින් මුල්වල ශක්තිමත්භාවය ඇති කළ හැකිය.

විශ්වවිද්‍යාලයේ ZeroPlastic සාමාජිකයන් හට මේ පිළිබඳ වටිනා උපදෙස් රැසක් මහවැලි අධිකාරිය මඟින් දී ඇත. පළමු අදියරේදී සිදු කළ උණ පැළ රෝපණය ඉතා සාර්ථකව වර්තමානය වන විට පාංශු ඛාදනය වැළැක්වීම සඳහා දායක වන බවත්, එම අදියරේදී විනාශ වී ගිය පැළ සඳහා දෙවැනි අදියරේදී නව පැළ යෙදවූ බවත්, මේ පැළ නඩත්තු කිරීම සරසවි උයන නේවාසිකාගාරයේ සිසුන් මඟින් සිදු වන බවත් ZeroPlastic සංගමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන වර්තමාන සභාපති ලක්මි ගුණසේකර සිළුමිණට පැවසීය.

ශ්‍රී ලංකාවේ පරිසරයට ආදරය කරන ව්‍යාපාරයක් ලෙස ZeroPlastic සංගමය ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම, තිරසර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. ආචාර්ය නිශ්ශංක ද සිල්වා විසින් මේ ව්‍යාපාරය ආරම්භ කරන අතර, ක්‍රියාකාරි සාමාජිකයෝ 100,000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරති. මෙහි ඇති විශේෂත්වය වන්නේ සිදු කරන සියලු කටයුතු ස්වේච්ඡාවෙන් සිදු කිරීමයි.

මෙම ‘Bamboo Bliss ‘ වැඩසටහන මඟින් ZeroPlastic සංගමය බලාපොරොත්තු වනුයේ මහවැලි ගං ඉවුර යථා තත්ත්වයට පත් කිරීම හා පාංශු ඛාදනය වැළැක්වීමට සහාය වීමයි.

මීට අමතරව පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කිරීමේ මාධ්‍යයක් වශයෙන්ද සෙවණ, සිසිලස, පිරිසුදු වාතය සැපයීමටද මේ ව්‍යාපෘතිය මඟින් අදහස් කරයි. මෙවැනි පරිසරය සුරකින තවත් වැඩසටහන් රැසක් ZeroPlastic සංගමය මඟින් සිදු කරනු ලැබේ.

උප­කු­ල­පති මහා­චාර්ය ටෙරන්ස් මධු­ජිත් උණ පැළ­ව­ලට වතුර දමන අව­ස්ථාව, ZeroPlastic සාමා­ජිකයන් උණ­ පැළ රෝප­ණය කරද්දී, උණ පැළ සිටු­වී­මට පස සක­සන ආකා­රය

උප­කු­ල­පති මහා­චාර්ය ටෙරන්ස් මධු­ජිත්
උණ පැළ­ව­ලට වතුර දමන අව­ස්ථාව, ZeroPlastic සාමා­ජිකයන්
උණ­ පැළ රෝප­ණය කරද්දී, උණ පැළ සිටු­වී­මට පස සක­සන ආකා­රය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division