හියුග්ලින් ගලුවියා ශ්‍රී ලංකාවේ සිට රුසියානු ආක්ටික් කලාපය වෙත උතුරු සංක්‍රමණික මාර්ගය හරහා ගොස් නැවත දකුණු සංක්‍රමණ මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව කරා පැමිණි විස්මයජනක චාරිකාවේ රසවත් තැන් විමසා බලමු.
මෙරට පක්ෂි විශේෂ 25ක අයත් පක්ෂීන් 75කට පමණ GPS Tag සවි කර ඇත්තේ පක්ෂි ලෝකයේ සිදු වන අපූරු සංක්‍රමණ අධ්‍යයනය කිරීමටයි. මේ අතරින් දිගු දුර සංක්‍රමණයේ යෙදෙන විශේෂයක් ලෙස යුරෝපියානු හා රුසියානු කලාප වෙත සංක්‍රමණය කළ හියුග්ලින් ගලුවියා හඳුනාගෙන ඇත. හියුග්ලින් ගලුවියා යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර සාගරවාසී සංක්‍රමණික පක්ෂියෙකි.
හියුග්ලින් ගලුවියන්ට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කිරීම (sattelite-tagging) 2021 අප්‍රේල් මාසයේදී මන්නාරම දූපතේ තලෙයිමන්නාරමේදී ආරම්භ වී ඇත. මෙයින් එක් ගලුවියකු (මේඝ) මුදා හැරීමෙන් පසු උතුරු සංක්‍රමණය අරඹන ලද අතර, තවත් ගලුවියකු (මැණිකේ) දින 20 ක් මන්නාරම් දූපත සහ ආදම්ගේ පාලම ආශ්‍රිතව නැවතී සිට අප්‍රේල් මස අග භාගයේ මන්නාරමෙන් පිටත් වී ඇත.
උතුරු රුසියාව බලා ගමන් ඇරඹූ මේඝ මැයි මස මැද වන විට ආක්ටික් කලාපයේ යමල් අර්ධද්වීපයේ පිහිටි ඔහුගේ අභිජනන භූමියට පළමුවෙන්ම ළඟා විය. නොබෝ දිනකින්ම මැණිකේද යමල් අර්ධද්වීපයට ළඟා වී ඇත්තේ තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමිනි.
ජූනි සිට අගෝස්තු දක්වා දිවෙන ආක්ටික්හි ග්‍රීෂ්ම ඍතුවේදී අභිජනනයෙහි නිරත වූ මැණිකේ නම් හියුග්ලින් ගලුවියා අගෝස්තු අගභාගයේදී ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කර ඇත. ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් පිටත් වූ මැණිකේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 6කට සහ දින 9කට පසු එම වසරේ නොවැම්බර් 4 දින තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට නැවත ළඟා විය. ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමඟ අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම ශ්‍රී ලංකේය පක්ෂියා බවට ඇය පත් විය. මැණිකේ තවත් සුවිශේෂ වනුයේ ඇය ශ්‍රී ලංකාව සහ ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය සපයන බැවිනි.
මේ විශේෂ චාරිකාවේදී ඇය උතුරු සංක්‍රමණයේදී දින 35ක් කි.මී. 7,880ක දුරක් ගමන් කර ඇත. උතුරු සංක්‍රමණය හා සසඳන කල මඳක් මන්දගාමි වූ ඇයගේ දකුණු සංක්‍රමණය සඳහා දින 91ක් ගත වී තිබේ. මෙහිදී කි.මී. 11,480ක දුරක් සම්පූර්ණ කෙරිණි. ඒ අයුරින් මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා පියාසර කළ ඇයගේ සම්පූර්ණ චාරිකාව තුළ ඇය විසින් කි.මී. 19,360ක විස්මයජනක දුරක් ගමන් කර ඇත.
අධ්‍යයනය කරන ලද පක්ෂීන් අතුරින් වැඩිම දුරක් ගමන් කළ පක්ෂියා ලෙස මේඝ සුවිශේෂ වේ. 2021 – 2023 වසර තුනක කාලය තුළ ඔහුගේ සංක්‍රමණික චාරිකා පිළිබඳ නොනවත්වා තොරතුරු ලබා දුන් මේඝ පූර්ණය කළ දුර කි.මී. 65,000කි.
2021 සිට ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙස ජලජ සංක්‍රමණික පක්ෂි විශේෂයක් වන ගලුවියාගේ අපූරු සංචාරය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂකයන් වන ගයෝමිණි පනාගොඩ සහ චාමිකර ගුණරත්න ප්‍රමුඛ කණ්ඩායම විසින් අධ්‍යයනය කොට තිබේ.
ශ්‍රී ලංකාවට දුර සිට එන සංක්‍රමණික පක්ෂීන්ගේ – එනම්: ආක්ටික් සහ උපආක්ටික් කලාපවල සිට එන පක්ෂීන්ගේ – ගමන් මාර්ග සහ සංක්‍රමණික හැසිරීම් රටා අධ්‍යයනය මේ පර්යේෂණයේ අරමුණ වී ඇත. මේ පර්යේෂණය සඳහා Chinese Academy of Sciences (Research Center for Eco-Environmental Sciences), Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතනය දායකත්වය සපයා ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙම පර්යේෂණය සඳහා සහයෝගිතාව සපයන රාජ්‍ය ආයතන වේ.
පක්ෂි සංක්‍රමණය අධ්‍යයනය කිරීමේදී අධ්‍යයන ක්‍රමවේදය සඳහා විවිධ මෙවලම් භාවිත කරනු ලැබේ. එහිදී පළමුවෙන්ම ලෝහවලින් සෑදූ අංකිත මුදුවක් පක්ෂින්ට පලඳා ඇත (Bird ringing).

මධ්‍යම ආසියානු පක්ෂි සංක්‍රමණික මාර්ගය හෙවත් The Central Asian Flyway( CAF)
මුදුව සහිත පක්ෂීන් ඉන්දියාව, පාකිස්තානය, කසකස්තානය, රුසියාව හරහා යුරෝපය, චීනය, මොන්ගෝලියාව වැනි විශාල පරාසයක පැතිරිය හැකිය. ඒ, දකුණේ සිට උතුරට යන ආකාරයයි. එම රටවල් හරහා මෙම පක්ෂීන් පියාසර කරන විට එම රටවල පක්ෂි නිරීක්ෂකයන්ට පක්ෂියා හමු වුව හොත් මුද්දේ ඇති අංකය කියවා පක්ෂියා මේ දවසේදී මේ වෙලාවේදී මෙතැනදී හමු වූවා යැයි මෙරට නිරීක්ෂකයන් හට දැනුම් දීමට හැකියාව ඇත. මුදු පැලඳවීම වෙනුවට කුඩා ප්ලාස්ටික් කොඩියක් පැලඳවීම (Leg-flagging) පර්යේෂණයේ තවත් පියවරකි. එහිදී පක්ෂියා නරඹන අයෙකුට ඈත සිටම පැහැදිලිව නිරීක්ෂණය වේ; පක්ෂියා දැකිය හැකි සම්භාවිතාව වැඩි වේ. මෙහි විශේෂත්වයක් වන්නේ පලඳන කොඩියේ සෑම රටකටම අදාළ වර්ණයක් ඇත. ශ්‍රී ලංකාව භාවිත කරන්නේ කොළ පැහැති කොඩි දෙකකි. එවිට පක්ෂියා වෙනත් රටකට ගිය විට මුද්දේ ඇති අංකය කියවීමට නොහැකි වුව හොත් කොඩියේ වර්ණය මඟින් හෝ හඳුනාගත හැකිය. පෙර ක්‍රමයට වඩා මෙහි ඇති වටිනාකම වන්නේ පක්ෂීන් නරඹන්නකුට පක්ෂීන් හමු වීමේ හා තොරතුරු ලැබීමේ සම්භාවිතාව වැඩි වීමයි.
වර්තමානයේ ඉහත ක්‍රම අතික්‍රමණය කරමින්, 2020 මැයි මස සිට චන්ද්‍රිකා තාක්ෂණය (satellite tagging) මඟින් ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පක්ෂින්ගේ සංක්‍රමණ මාර්ග අධ්‍යයනය කරනු ලබයි. එයින් පක්ෂීන් යන නිවැරදිම මඟ අනාවරණය කරගත හැකි වීම සුවිශේෂ වේ.
මෙමඟින් එම පක්ෂීන් සිටින්නේ කොහෙද, නවාතැන් ගන්නේ කොහේද වැනි තොරතුරු රැසක් ලබා ගෙන ඇත.
මෙවැනි සංචාරයකට සතියක සිට මාසයක පමණ කාලයක් ගත විය හැකියි. ගමන අතරතුර නවාතැන් ගැනීම මේ පක්ෂීන්ගේ පුරුද්දයි.
ගමන ආරම්භ කිරීමට පෙර පියඹා ඒමට ශක්තිය අවශ්‍ය නිසා මේදය ලෙස ආහාර තැන්පත් කරගැනීම සිදු වේ. ඔවුන් නැවත පියෑඹීමේදී ශක්ති ගබඩාව අවසන් වූ විට සුදුසු වාසස්ථානයක් සොයාගෙන නැවතී නැවතත් ආහාර ගෙන ශක්තිය ගබඩා කරගැනීමට සිදු වේ. ඉන් පසු තවත් තැනකට පැමිණේ. ඒ ආකාරයෙන් එක් තැනකින් තවත් තැනකට අවස්ථා කිහිපයකදී ඒ ඒ පක්ෂියාගේ හැකියාව අනුව පියඹා ඒම සිදු වේ.
එහිදී ශ්‍රී ලංකාව අයත් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ 40%ක් පමණ සංචාරක පක්ෂීන් වඳ වීමට ලක් වී හෝ ලක් වීමට ආසන්නව සිටියි. ඔවුන් සංරක්ෂණය කිරීමට නම් ඔවුන් සිටින වාසස්ථාන සංරක්ෂණය කළ යුතුයි. මේ පක්ෂීන් සංරක්ෂණය කිරීමේ කටයුතුවලදී මෙම අධ්‍යයනයෙන් ලබා ගන්නා දත්ත බෙහෙවින් වැදගත් වේ.
ගමන් මග
හියුග්ලින් ගලුවියා ශ්‍රී ලංකාවේ මන්නාරමේ සිට ඉන්දියාවේ කැලිමියර් තුඩුවට යයි. එහි රැයක් – සති දෙකක් අතර කාලයක් එහි නැවතී සිටියි. එය පක්ෂියාගෙන් පක්ෂියාට වෙනස් වේ. ඉන්දියාවේ නැඟෙනහිර තමිල්නාඩු වෙරළේ සිට බටහිර වෙරළ කරා ගොඩබිම හරහා පියාසර කරන ඔවුහු ඉන් පසු බටහිර වෙරළ ඔස්සේ උතුරු සංක්‍රමණය සිදු කරයි. එහිදී කේරළ, කර්ණාටක, ගෝවා, මහාරාෂ්ට්‍ර, මුම්බායි හරහා ගුජරාට් දක්වා ගමන් කරයි.
එහිදී සතියක් හෝ දෙකක් අතර කාලයක් නැවතී සිටින මොවුන්ගේ ගමනේ ඉතිරි කොටස මඳක් අභියෝගාත්මක වේ. එයට හේතුව මෙතැන් සිට ඔවුන්ට කි.මී. 5,000කට වැඩි දුරක් ගොඩබිම හරහා පියාසර කිරීමට සිදු වන බැවිනි. මේ පක්ෂීන්ගේ ආහාර ඇත්තේ ජලය ආශ්‍රිතවය. එබැවින් වියළි සහ කඳු බහුල පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය හරහා වේගවත් පියාසැරියක යෙදෙන ඔවුහු ඉන් පසු උස්බෙකිස්තානය, ටෙක්මෙනිස්තානය, කසකස්තානය වෙත පැමිණෙති. මෙතැන් සිට ගලුවියන්ට බොහෝ තෙත් බිම් හමු වේ. එහිදී නැවත නවාතැන් ගෙන ආහාර ගෙන ගමන් ආරම්භ කරයි. ඔවුන් රුසියාවට ගිය විට ඔබ් ගංගාව සහ නොයෙක් ජලාශ්‍රිත බිම් මුණගැසේ. ඔවුහු මේ ඔස්සේ කාරා මුහුද ආසන්නයේ පිහිටි තම නිජභූමිය වන යමල් අර්ධද්වීපයට ළඟා වෙති.
ජූනි – සැප්තැම්බර් මුල කාලය දක්වා බිත්තර දමා පැටවුන් සාදා අභිජනන ක්‍රියාවලිය සිදු කරන අතර, ඒ කාලයේදී එම ස්ථානය වටා සැරිසැරීම සිදු වේ. මේ පක්ෂීන්ගේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම බිත්තර රැකීමට මෙන්ම පැටවුන් ඇති දැඩි කිරීමට සහභාගි වෙති. එම පැටවුන් ස්වාධීන වූ විට පැටවුන් හැර දමා යයි.
අභිජනන කාලයෙන් පසු හියුග්ලින් ගලුවියන්ගේ කාර්යය වන්නේ පිහාටු හැලීමේ ක්‍රියාවලියයි. අලුත් පිහාටු වර්ධනය කරගැනීම සඳහා එසේ සිදු කරයි.
ඔවුන් අභිජනනය කළ ස්ථානයේ පිහාටු හැලීම සිදු නොකරන අතර, ඒ සඳහා තරමක් දුර වෙනත් ස්ථානයකට ගමන් කරයි. මේ සියලු කටයුතු සිදු වන්නේ ආක්ටික් සාගරය ආශ්‍රිත දූපත්වලය. පිහාටු හැලීමෙන් පසු සමහර පක්ෂීහු නැවත අභිජනන ස්ථානයටම පැමිණෙති. තවත් සමහර පක්ෂීහු එතැන සිටම දකුණු සංක්‍රමණය ආරම්භ කරති.
හියුග්ලින් ගලුවියා පක්ෂීහු දකුණු සංක්‍රමණයේදී රුසියාව පසු වූ විට මධ්‍යම ආසියාව හා ඉරානය පසු කර පාකිස්තාන වෙරළ දක්වා නොනැවතී පැමිණෙති. ඔවුන්ගේ උතුරු සහ දකුණු සංක්‍රමණික මාර්ග වෙනස් වන්නේ මේ අවස්ථාවේදීය.
මේ වෙනස් වීමට වායුගෝලයේ වෙනස් වීම්, ඍතු වෙනස් වීම් වැනි බාහිර සාධක බලපාතැයි විශ්වාස කෙරේ.
ඉන් පසු පාකිස්තානු වෙරළේ නවාතැන් ගන්නා ඔවුහු එතැන් සිට ඉන්දීය වෙරළ දිගේ සෙමෙන් ශ්‍රී ලංකාවට පියාසර කරති.
මේ වන විට පසුගිය මාර්තු මාසයේ තවත් චන්ද්‍රිකා කේත සවි කළ ගලුවියන් 12 දෙනකු තම උතුරු සංක්‍රමණයේ යෙදෙමින් පවතියි. මොවුන්ගෙන් ලැබෙන දත්ත, දේශගුණික විපර්යාස හමුවේ වෙනස් වීමට තුඩු දෙන මේ පක්ෂීන්ගේ සංක්‍රමණික උපායමාර්ග වැඩිදුරටත් අධ්‍යයනය පිණිස යොදා ගන්නා බව පර්යේෂකයෝ පවසති.

මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න හා ගයෝමිණි පනාගොඩ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම

හියුග්ලින් ගලුවියා