Home » කුර්දිස්තාන් පී.කේ.කේ. සාම මඟකද?

කුර්දිස්තාන් පී.කේ.කේ. සාම මඟකද?

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

මැයි 12 වැනිදා, තුර්කිය ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටියේ, වසර හතළිහක පටන් තම රට මුහුණ දෙන දරුණුතම අර්බුදයක නිමාව සටහන් කිරීමට අවශ්‍ය පරිසරය උදා වූ බවයි. ඒ අන් කිසිවක් නොව, තුර්කිය හා දශක හතරකට වැඩි කලක සිට යුද ගැටුමකට අවතීර්ණව සිටින කුර්දිස්තාන් පී.කේ.කේ. මිලිෂියා කණ්ඩායම විසුරුවාහැරීමට, සිරගතව සිටින පී.කේ.කේ. නායක අබ්දුල්ලා ඔක්ලන් තීරණය කර ඇති බව නිවේදනය කිරීමත් සමඟිනි. තුර්කිය හා කුර්දිස්තාන්වරුන් අතර වසර හතළිහක මාරාන්තික යුද ගැටුම තුළ සිදු වූ එකම දෙය වූයේ වැසියන් 40,000කට වැඩි පිරිසක් මරණයට පත් වීම පමණක් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

පී.කේ.කේ. හා තුර්කිය අතර ගැටුමින් අසල්වැසි ඉරාකය, සිරියාව ආදි රාජ්‍යයන් තුළද නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගතව පවතින බැවින්, පී.කේ.කේ. පක්ෂය විසුරුවාහැරීම, නේටෝ (NATO) සාමාජිකත්වය උසුලන තුර්කියේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය උදෙසා ඉතා ප්‍රගතිශීලි පියවරයක්ය යන්න තුර්කිය මෙන්ම ගෝලීය විචාරකයන්ද පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇත්ත වශයෙන්ම පී.කේ.කේ. තහනම් කර විසුරුවා හැරීමේ ක්‍රියාවලිය පසුකාලීනව ඔවුන් අවිහරණයකට (Disarmament) යොමු කිරීම දක්වා විස්තාරණය වීමක් සිදු වන බැවින්, මේ තත්ත්වය සාමය උදා කරගැනීම උදෙසා වූ උපක්‍රමශීලිභාවය කැටි වූ වටපිටාවක් සලසාගැනීමට අවශ්‍ය අඩිතාලම මේ ඔස්සේ ළඟා වන බව තුර්කිය තහවුරු කර තිබිණි.

පී.කේ.කේ. තුර්කිය තුළ ‘ත්‍රස්තවාදි සංවිධානයක්’ යන ලේබලය යටතේ නම් දරා තිබූ අතර, යුරෝපා සංගමය, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට පී.කේ.කේ. ඓතිහාසික මෙහෙයුම නිමා කර ඇති බවයි. දැන් පී.කේ.කේ. සන්නද්ධ අරගලයද අවසන් කිරීමට ප්‍රවේශ වී ඇති ආකාරයක් දිස් වන බව ප්‍රකාශ කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

පී.කේ.කේ. ප්‍රචණ්ඩකාරිද?

අද වන විට විසුරුවා හැරීමට ලක් වී ඇති පී.කේ.කේ. සන්නද්ධ මිලිෂීයා කණ්ඩායම බිහි වීම 1970 ගණන්වල අගභාගයට දිව යයි. මේ පක්ෂය මාක්ස්-ලෙනින්වාදි පක්ෂයක් ලෙස ඇරඹි ඉන් පිළිබිඹු වූයේ තුර්කියෙන්, කුර්දිස්තාන්වරුන්ගේ ස්වාධීනත්වය ලබාගැනීම උදෙසා කුර්දිස්තාන වාමාංශික කණ්ඩායමක් බිහි කරගත් සංවිධානයක් වශයෙනි. අබ්දුල්ලාඔක්ලන්ගේ නායකත්වයෙන් හෙබි පී.කේ.කේ.ගේ මුල් අරමුණ වූයේ මුළුමනින්ම ස්වාධීන වූ රාජ්‍යයක් කුර්දිස්තාන්වරුන් වෙනුවෙන් අත්පත් කරගැනීමයි. නැතිනම් ‘කුර්දිස්තාන් රාජ්‍යය’ නමැති සිහිනයට ළඟා වීමයි. මේ ආකාරයෙන් තුර්කිය සමඟ සටන් වැදුණු පී.කේ.කේ.ගේ ගමන්මග 1984 පටන් වෙනස් වූ අතර 1990 ගණන් වන විට මේ තත්වය ක්‍රමයෙන් වෙනස් වී එම අරමුණ තුර්කි රාජ්‍යය තුළම ඉතාම පුළුල් වූ ස්වයං පාලනයක් මෙන්ම කුර්දිස්තාන් ජනතාවගේ අයිතීන් රැකගැනීම උදෙසා වූ සන්නද්ධ අරගලයක් බවට පත් වීම තුළ අවසානයේ ශේෂ වූයේ වසර 40කට වැඩි කාලයක් ඉදිරියට දිග්ගැස්සුණු මාරාන්තික යුද ගැටුමක් පමණක්ම විය.

1999 පටන් පී.කේ.කේ. නායක අබ්දුල්ලා ඔක්ලන් තුර්කියේ ඉස්තාන්බුල්වලට ආසන්නයේ යම් දූපතක සිරගත කොට ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. පී.කේ.කේ. 12 වැනි කොංග්‍රසයේ දී මෙම සංවිධානය විසුරුවා හැරීමට ක්‍රියාකරන ලෙස දන්වමින් ඊට අවශ්‍ය ලිඛිතමය වටපිටාව නායක ඔක්ලන් සිරමැදිරියේ සිටම සම්පාදනය කළ බව විදෙස් මාධ්‍ය දක්වා තිබුණි.

කුර්දිස්තාන්වරු, තුර්කි පුරවැසියෝද?

යුදමය විසඳුම පසෙක ලා දේශපාලනික විසඳුමක් කරා යොමු වීම තුර්කිය හා කුර්දිස්තාන්වරුන් යන දෙපාර්ශ්වයටම වැදගත් වන්නේ එබැවිනි. ලෝකයේ කොයි යම් ස්ථානයක හෝ සිදු වන සන්නද්ධ අරගල මානව සංහතියට ශේෂ කළ අල්පමාත්‍ර හෝ වටිනා දෙයක් නැති අතර, ලබා දුන් එකම දෙය වූයේ මරණය, භීතිය, විනාශය හා සන්තාපය පමණකි.

කුර්දිස්තාන්වරුන් ඔවුන්ටම ආවේණික වූ හා අනන්‍ය වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවකින් හෙබි ජන කොට්ඨාසයක් වන අතර, කුර්දිස්තාන්වරුන් තුර්කිය තුළ වෙනම වාර්ගික ප්‍රජාවක් නොවන අතර ඔවුන් ඉල්ලා සිටියේ කුර්දිස්තාන් අනන්‍යතාව ඔප්නංවන හා තහවුරු කරන වෙනම රාජ්‍යයකි. ආරම්භයේදී පී.කේ.කේ. සංවිධානය මේ උදෙසා ගත් ප්‍රවේශය පසුව සන්නද්ධ අරගලකාරි මාවතට අවතීර්ණ වීම ගැටලුකාරි විය. 2013 හා 2015 වසරවලදී කුර්දිස්තාන පී.කේ.කේ. හා තුර්කිය අතර සාම වෑයම් පැවතුණද අවසානයේ ඒ සියලු ප්‍රයත්න කඩාවැටීමට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පී.කේ.කේ. කුර්දිස්තානයක්, සිහිනය අත්හැරෙයිද?

ගෝලීය දේශපාලන විද්වතුන් හා රාජ්‍යතාන්ත්‍රික පිරිස්වලට අනුව පී.කේ.කේ. විසුරුවා හැර අවි බිම තැබීමට පැමිණි එකඟතාව, සම්බන්ධයෙන් නායක ඔක්ලාන් හා ඔහුගේ සංවිධානය ඊට සමගාමිව අනෙක් අතින් පී.කේ.කේ. කුමක් බලාපොරොත්තු වන්නේද පිළිබඳ තවමත් යම් ආකාර අපැහැදිලිතාවක් පවතින බව ප්‍රකාශ කර ඇත. කුර්දිස්තාන දේශපාලන විද්වතුන් හා නායකත්වයන් නව ආකාර දේශපාලන කතිකාවක් හා බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන මේ අවස්ථාව වන විට කටයුතු කිරීමට බොහෝ ඉඩකඩක් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇත්ත වශයෙන්ම 40 වසරක දරුණු ගැටුම තුළ තුර්කිය මෙන්ම කුර්දිස්තානයද යන දෙපාර්ශ්වයම දේශපාලන කතිකාවකට මේ ඔස්සේ අවතීර්ණ වීම අත්‍යවශ්‍යම කාලයක අත්‍යවශයම කරුණක්ව පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, තුර්කි හමුදා හා පී.කේ.කේ. අතර මෑතකාලීනව පැවති රළු ගැටුම්කාරි තත්ත්වය, ඉරාකය හා සිරියාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන්ටද ඉතා නරක ගෙස බලපෑවේය. මේ අතර තුර්කි ජනපති Tayyip Erdogan’s ඒ.කේ. පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයකු පවසා ඇත්තේ, ත්‍රස්තවාදයෙන් තොර තුර්කි රාජ්‍යයක් උදෙසා පී.කේ.කේ. විසුරුවා හැරීමට ගත් තීරණය ඉතා වැදගත් පියවරක් බවයි. ලෝක සාමය ඉතා නරක අතට ගමන් කරන වකවානුවක පී.කේ.කේ. ගත් මේ තීරණයක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඉහළින්ම අගයමින් ප්‍රකාශ කර ඇත්තේ, පී.කේ.කේ. තීරණය ක්‍රියාත්මකභාවයට පත් වීම, සාමය උදෙසා ඉතා වැදගත් පියවරක් සලකුණු කරන බවයි යනුවෙනි. අර්බුදයට ලක් වූ සිරියානු දේශපාලන ව්‍යූහය තුළ සිරියාවේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ අසාද්අල් ෂායිබානි ප්‍රකාශ කර ඇත්තේ, පී.කේ.කේ. ක්‍රියාමාර්ගය, කලාපීය ස්ථාවරත්වය උදෙසා ඉතා වැදගත් මොහොතක් ළඟා කරන බවයි. 2028දී එළඹෙන තුර්කි ජනපතිවරණයේදී වත්මන් ජනපති Tayyip Erdoganට හිතවාදි කුර්දිස්තාන දේශපාලන පක්ෂවල සහාය ලැබීමේ අවකාශයක්ද පවතින බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි.

පී.කේ.කේ. හා තුර්කි සාම වෑයම

කුර්දිස්තාන මිලිෂියා කණ්ඩායම පී.කේ.කේ. දහස් ගණන් සටන්කරුවන් ඉරාකයේදී අවි භාර දීමට සූදානමක් බවක් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ කලාපයේ විවිධ ස්ථානවලදී අවි භාර දීමෙන් අනතුරුව පී.කේ.කේ. කුර්දිස්තාන සටන්කරුවන් නැවත තුර්කියට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති නමුදු තුර්කි ඉහළ පෙළේ නිලධාරීන් පී.කේ.කේ. හා තුර්කිය අතර ඉදිරි සාම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මේ වන තුරුද විස්තර කර නැති බව අන්තර්ජාතික මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division