Home » ගෝලීය දකුණේ රටවල් මුහුණ දෙන අභියෝග
බහුධ්‍රැවීය ලෝක පර්යායක නැඟී ඒම හමුවේ

ගෝලීය දකුණේ රටවල් මුහුණ දෙන අභියෝග

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
විජය දිසානායක

විසිඑක් වැනි සියවසේ මුල් දශක කිහිපය තුළ, ලෝකය වසර 100කට වැඩි කාලයක් තුළ නොදුටු ගැඹුරු පරිවර්තනයක් අත්විඳිමින් සිටී. අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර සහචරයන් විසින් වරක් ආධිපත්‍යය හෙබවූ ගෝලීය බල තුලනය දැන් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. විශේෂයෙන්ම චීනය ඇතුළු, ගෝලීය දකුණේ රටවල් විසින් මෙහෙයවනු ලබන නව ලෝක පර්යායක් කරළියට පැමිණෙමින් තිබේ.

මේ ඓතිහාසික මොහොත මඟින් කියාපාන්නේ හුදෙක් භූ දේශපාලනික ප්‍රතිසංවිධානයක් පමණක් නොව ගෝලීය ආර්ථිකය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ උපායමාර්ගික බලපෑමේ ගැඹුරු ප්‍රතිසංවිධානයකි. බටහිර ආධිපත්‍යය කෙරෙහි වර්ධනය වෙමින් පවත්නා කලකිරීම, ආසියාවේ සහ අප්‍රිකාවේ ආර්ථිකයන්හි ඔරොත්තු දීමේ හැකියාව සහ සාම්ප්‍රදායික බල කඳවුරු මානසිකත්වය අබිබවා යන නව ආකාරයේ සහයෝගිතාවන් මඟින් මෙහෙයවනු ලබන ගෝලීය ගුරුත්වාකර්ෂණයේ කේන්ද්‍රය පෙරදිග දෙසට සහ දකුණට ගමන් කරමින් පවතී.

බටහිර පරිහානිය

දශක හතකට වැඩි කාලයක් ලෝකය මෙහෙයවනු ලැබූයේ බටහිර ලිබරල්වාදී ලෝක පර්යායක් විසිනි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව, අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර සහචරයන් එක්ව ආර්ථික විනිවිදභාවය, බහුපාර්ශ්වික ආයතන, ආරක්ෂක සහයෝගිතාව සහ ප්‍රජාතන්ත්‍රවාදි සහයෝගිතාවය මත පදනම් වූ බහුමානීය සහ විස්තෘත ලෝක පර්යායක් ගොඩනැඟූහ. ඒ ගමන් මඟ තුළ, අමෙරිකා එක්සත් ජනපදය සන්ධාන ගොඩනඟමින්, ලෝක ආර්ථිකය ස්ථාවර කරමින් සහයෝගිතාව තහවුරු කරමින් සහ ‘නිදහස් ලෝකයේ වටිනාකම්’ තහවුරු කරමින් මේ පර්යායේ ‘ප්‍රථම පුරවැසියා’ බවට පත් විය.

පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ එක්සත් ජනපදය සහ එහි සහචරයන් විසින් නේටෝව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන හරහා තහවුරු කරගත් මේ ආධිපත්‍යය දැන් අභියෝගයට ලක්ව පවතී. අභ්‍යන්තර බෙදීම්, ආර්ථික නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම සහ දිගුකාලීන යුද ව්‍යාපෘති හේතුවෙන් වොෂිංටනයේ ගෝලීය ආධිපත්‍යය කෙමෙන් ගිලිහී යමින් පවතී.

ගෝලීය දකුණේ නැඟීම

ඊට හාත්පසින්ම වෙනස්ව, ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල් රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳාම සහ තාක්‍ෂණයේ නව මාවත් සකසාගනිමින් පෙරට ගමන් කරමින් සිටී. ඔවුහු තවදුරටත් ගෝලීය කටයුතුවලදී පෙර මෙන් යටත් භූමිකාවන්ගෙන් සෑහීමකට පත් නොවෙමින් තම වර්ධනය වන ජනගහනය, ආර්ථිකයන් සහ උපායමාර්ගික වැදගත්කම පිළිබිඹු කරන හඬක් සොයා යති.

ගෝල්මන් සච්හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජිම් ඕනීල්ගේ අදහසකට අනුව යමින් පිහිටුවාගැනුණු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් සමූහය (BRICS) ඊජිප්තුව, ඉරානය සහ ආර්ජන්ටිනාව වැනි රටවල් ආකර්ෂණය කරගනිමින් එහි ප්‍රවේශය වඩාත් පුළුල් කර ඇත. මෙම සන්ධානය ලෝක ආර්ථිකය තුළ ජී7 කණ්ඩායම පවත්වා ගෙන ගිය ආධිපත්‍යයට සාමූහික අභියෝගයක් නියෝජනය කරන අතර බහු ධ්‍රැවීය ලෝකයක් සහ වඩාත් සාධාරණ ලෝක පර්යායක් වෙනුවෙන් පෙනී සිටී.

චීනය මෙම ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටී. එහි තීරයක් සහ මාර්ගයක් මුලපිරීම (BRI) සමඟින්, බීජිනය ආසියාව, අප්‍රිකාව සහ ලතින් අමෙරිකාව පුරා යටිතල පහසුකම්, වෙළෙඳ සම්බන්ධතා සහ දේශපාලන සබඳතා ගොඩනඟා ඇත. වරාය, දුම්රිය මාර්ග සහ බලශක්ති ව්‍යාපෘතිවල එහි ආයෝජන චීනයේ ආර්ථික පියසටහන පුළුල් කළා පමණක් නොව, බටහිර ප්‍රමුඛ සංවර්ධන ආකෘති සඳහා විකල්ප ද සපයා ඇත.

චීනයේ මේ නැඟී ඒම හුදෙක් ආර්ථික ශක්තිය පිළිබඳ කතා පුවතක් පමණක් නොවේ. එය ස්වෛරීභාවය, අන්‍යෝන්‍ය සංවර්ධනය සහ අනෙකාගේ කටයුතුවලට මැදිහත් නොවීම මත මුල් බැසගත් ගෝලීය පාලනය පිළිබඳ වෙනස් දැක්මක් නියෝජනය කරයි. යටත් විජිතකරණයේ සහ බටහිර මැදිහත්වීමේ ඓතිහාසික කැළැල් දරා සිටින ගෝලීය දකුණේ රටවලට මේ මූලධර්ම දැඩි ලෙස නින්නාද වේ.

වෙනස් වන ලෝකයක චීනයේ භූමිකාව

චීනය තම වර්ධනය වන ගෝලීය භූමිකාව සඳහා පරිස්සම්සහගත වූත්, උපායමාර්ගික වූත් ප්‍රවේශයක් අනුගමනය කර ඇත. එක්සත් ජනපදය සමඟ විවෘත ගැටුමක් කරා යොමු වනු වෙනුවට, එය රාජ්‍ය තාන්ත්‍රිකභාවය, වෙළෙඳාම සහ මෘදු බලය හරහා බලපෑම් කිරීමේ ක්‍රමවේදයක් තෝරාගෙන තිබේ. ගැටුම් සමථයට පත් කිරීමෙහිලා බීජිං පාලනයේ සක්‍රිය මැදිහත් වීම එහිලා විශේෂයෙන් කැපීපෙනේ.

මෑත කාලීන ඉන්දු-පාකිස්තාන ආතතීන් උදාහරණයක් ලෙස ගන්න. එක්සත් ජනපදය වරක් ප්‍රධාන අතරමැදියකුගේ භූමිකාව ඉටු කළ තැන, දැන් වඩාත් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් චීනය සාමය සඳහා ආර්ථික දිරිගැන්වීම් සලසන අතරම සංයමයකින් ක්‍රියා කරන්නැයි සියලු පාර්ශ්වවලින් නිහඬව ඉල්ලා සිටී. රුසියානු-යුක්රේන යුද්ධය පිළිබඳ චීනයේ ස්ථාවරයද ඒ හා සමාන ය: දරදඬු වාග් ප්‍රහාරවලින් බැහැරව, බහු ධ්‍රැවීය ප්‍රතිඵලයකට උපායමාර්ගිකව සහාය දක්වයි. චීනයේ මේ ප්‍රවේශය ගැටුමේදී පක්ෂග්‍රාහිත්වය නිසා හුදෙකලා නොවෙමින් සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩකඩ සලසයි.

චීනය අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ බොහෝ දෙනාගේ සිත දිනාගත් හවුල්කරුවකු බවට පත්ව ඇත. දේශපාලන අරමුණු හා බැඳුණු මූල්‍යකරණයක් ලබා දෙනු වෙනුවට, එය ආධාර ලබාදීමේදී ප්‍රාදේශීය පාලන ව්‍යූහයන්ට ගරු කරයි. මේ හවුල්කාරිත්වයන් දෘෂ්ටිවාදාත්මක පෙළගැස්මට වඩා බෙදාහදාගත් අවශ්‍යතා මත ගොඩනැඟී ඇති අතර, ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක චීනයට වැඩි නම්‍යශීලිත්වයක් ලබා දෙයි.

නව පර්යාය හමුවේ ඇති අභියෝග

කෙසේ වෙතත්, මේ පරිවර්තනය අවදානම් රහිත වූවක් නොවේ. නැඟී එන ලෝක පර්යාය තවමත් ගොඩනැඟෙමින් පවතින්නක් වන අතර, එහිලා නැඟී එන බලවතුන් අතර තරගකාරිත්වයක් ඇති වීම බැහැර කළ නොහැකිය. බ්‍රික්ස් (BRICS) සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වැනි සංසදවල සහයෝගිතාවක් තිබියදීත්, ඉන්දියාව සහ චීනය දේශසීමා ආතතීන්ට සහ උපායමාර්ගික එදිරිවාදිකම්වලට දිගින් දිගටම මුහුණ පා සිටී.

එතෙකුදු නොව, සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීය කටයුතුවලදී වැඩි හඬක් සහ වැඩි නියෝජනයක් අපේක්ෂා කරන අතරම, දූෂණය, පාලන ගැටලු සහ දේශගුණික අවදානම වැනි අභ්‍යන්තර අභියෝග සමඟද තවදුරටත් පොරබදමින් සිටී. ඒ අනුව ගෝලීය දකුණේ රටවල අනාගතය රඳා පවතින්නේ හුදෙක් බටහිර බලපෑමේ පරිහානිය මත පමණක් නොව, මේ ජාතීන්ට එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ තමා පාලනය කිරීමට තිබෙන හැකියාව මතය.

බහු ධ්‍රැවීය අනාගතයක් කරා…

අප දකින්නේ එක් අධිරාජ්‍යයක් තවත් අධිරාජ්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමක් නොව, බහු ධ්‍රැවීය ලෝක පර්යායක දිගහැරීමකි. පශ්චාත් නිරවි යුද සමයේ එක්සත් ජනපදය කළාක් මෙන් තනි රටකට තවදුරටත් ලෝක ආධිපත්‍යය ඉසිලිය නොහැකිය. ඒ වෙනුවට, බීජිං, මොස්කව්, නවදිල්ලිය, බ්‍රසීලියා, අන්කාරා සහ අනෙකුත් විවිධ මධ්‍යස්ථාන අතර බලය බෙදා හැරෙනු ඇත. ඒ සෑම පාලනයක්ම තමන්ගේම වූ වටිනාකම් සහ උපාය මාර්ගවලින් නව පර්යායට දායක වනු ඇත.

මේ සංක්‍රාන්තියට නව ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් අවශ්‍ය කෙරේ. පැරණි සන්ධාන එක්කෝ මේ වෙනසට අනුවර්තනය විය යුතුය; නැත හොත් නොවැදගත් වීමේ අවදානමට මුහුණ දිය යුතුය. ගෝලීය දකුණේ ඉදිරි දර්ශන සහ ප්‍රමුඛතා ඇතුළත් කරගන්නා පරිදි බහුපාර්ශ්වික සංවිධාන පරිණාමය විය යුතුය. අන්තර් සම්බන්ධිත, පරායත්තතාවෙන් යුත් ලෝකයක සහයෝගිතාවය වැලඳගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව එකිනෙකා පරයා යන පටු චින්තනයෙන් ඔබ්බට ගමන් කළ යුතුය.

මේ නව ලෝක පර්යායේ ප්‍රධාන නිර්මාපකයකු ලෙස චීනයේ නැඟී ඒම ඇතැම් විට අපේ කාලයේ නිර්වචන ලක්ෂණය විය හැකිය. එමඟින් හුදෙක් එක් ජාතියක නැඟීම පමණක් නොව; සාධාරණත්වය, අන්‍යොන්‍ය ගරුත්වය සහ අව්‍යාජ හවුල්කාරිත්වයක් ඉල්ලා සිටින පුළුල් ගෝලීය විඥානයක පිබිදීමක් පෙන්නුම් කරයි. ඉතිහාසය දිගහැරෙන විට, මේ සියවස එක් රටකට පමණක් නොව, දිගු කලක් නොසලකා හරින ලද සහ දැන් නායකත්වය දීමට සූදානම් ජාතීන්ගෙන් සැදුම් ලත් ප්‍රජාවකට අයත් වූවක් විය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division