Home » ඔලිම්පික් මහගෙදර ඉතිරි කුණු ටිකත් ක්ලීන් කරමු

ඔලිම්පික් මහගෙදර ඉතිරි කුණු ටිකත් ක්ලීන් කරමු

by Mahesh Lakehouse
May 17, 2025 12:31 am 0 comment
සිරිනාම රාජපක්ෂ

න්තර්ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතනය ලෙස ජාතික ඔලිම්පික් කමිටුව (එන්ඕසී) සැලකුවද, ගෙවී ගිය දශක දෙකකට ආසන්න කාලය තුළ ඒ ආයතනයේ රජ කළ දූෂිත අක්‍රමිකතාගෙන් පිරුණ පාලනය හේතුවෙන් මෙරට ක්‍රීඩාවද ඒ හා සමාන කාලයකින් ආපස්සට ගොස් ඇතැයි කීවොත් නිවැරැදිය.

එනම්:ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව යනු දූෂිත ආයතනයක් බවට ජාතික මට්ටමෙන් පමණක් නොව, අන්තර්ජාතික මට්ටමෙන් පවා කිලිටි නමක් දිනාගන්නට සමත් වූයේ එන්ඕසී හිටපු ලේකම්වරයා සහ ඔහුගේ සහචරයන්ගේ කෙරුවාව නිසාය.

ජාතික ඔලිම්පික් කමිටුවක් යනු ලෝක ව්‍යාප්ත ඔලිම්පික් ව්‍යාපාරයේ ජාතික සංඝටකයකි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ පාලනයන්ට යටත්ව වසර 4කට වරක් පවත්වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා තම රටෙහි සහභාගිත්වය වෙනුවෙන් අදාළ කටයුතු සංවිධානය කිරීම එන්ඕසී වගකීමයි. තවද, ජාතික මට්ටමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සහ නිලධාරීන් පුහුණු කිරීම මෙන්ම එම කටයුතු ප්‍රවර්ධනය කිරීමද එන්ඕසීය වෙත පැවරෙන වගකීම් අතර වේ. එහෙත් හිටපු එන්ඕසී ලේකම්වරයා ඇතුළු ඔහුට ආවඩමින් සිටි ඇම්බැට්ටයන් කටයුතු කළේ එවන් වගකීම් පිළිබඳව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. ක්‍රීඩාවේ ප්‍රවර්ධනය කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රවර්ධනය ඉතා ඉහළින්ම ඉටු කර ගත්තේය.

මේ දූෂිත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හිටපු එන්ඕසී ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට අද වන විට වසර 5ක තහනමක් සහිත දඬුවමක් ලැබී ඇත්තේ ඔහුට දිය හැකි ඉහළම අන්තර්ජාතික සම්මානයක් ලෙසයි. මැක්ස්වෙල් නම් ලේකම්වරයා මෙම දඬුවමෙන් ගැලවීමට සෑම ආකාරයකින්ම වෙට්ටු දැම්මේය. එහෙත් මීට වසර අටකට පමණ පෙර ඔහුගේ පාර්ශවයෙන්ම පැමිණ එන්ඕසී සභාපතිවරයා බවට පත්වූ සුරේෂ් සුබ්‍රමනියම්ගේ නීත්‍යනුකූල ක්‍රියාකලාපය නම් වූ දැලෙන් රිංගා යෑමට මෙවර මැක්සවෙල් අසමත් විය. 2016 රියෝ ඔලිම්පික් උලෙළේ සිට ගෙදර යන තෙක්ම මැක්ස්වෙල් නම් හිටපු ලේකම්වරයා සහ ඔහුගේ සහචරයන් විසින් කරන ලද දූෂණ අක්‍රමිකතා සම්බන්ධව මින් පෙර අවස්ථා කිහිපයකදී නිසි පියවර ගැනීමේ අරමුණෙන් එන්ඕසී විධායක සභාව රැස් කළ සෑම අවස්ථවකම පාහේ තම සගයන් සමග එක්ව එම රැස්වීම් කඩාප්පල් කළේය.

එපමණක්ද නොව, මැක්ස්වෙල් සහ ඔහුගේ නඩය විසින් කරන ලද වංචා දූෂණ සම්බන්ධව සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පසුගිය වසර මුලදී පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුවද මැක්ස්වෙල් චුදිතයකු ලෙස නම් කරනු ලැබීය. එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව එන්ඕසීය විසින් ආචාර ධර්ම කමිටුවක් පත් කළද එම ආචාර ධර්ම කමිටුවේ නිගමනයන්ට අනුව හිටපු ලේකම් මැක්ස්වෙල් වැරැදිකරුවකු වුවුද එවකට එන්ඕසී විධායක සභාවේ සිටි ඔහුගේ ගෝල බාලයින් සමඟ බහුතර ඡන්ද බලයෙන් ඔවුන් විසින්ම පත් කළ ආචාර ධර්ම කමිටුවේ වාර්තාව ඉවත දැමීය. තවද එතැනින් නොනැවතුණ එම දූෂිත කල්ලිය එකී ආචාරධර්ම කමිටුවේ වාර්තාව පමණක් නොව සභාපති සුබ්‍රමනියම්ද ඉවත් කිරීමට සැලසුම් කළේය.

ඒ සඳහා පළමු පියවර ලෙස පසුගිය වසරේ දෙසැම්බර් 13 දා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණයකට ගොස් තමාගේ නිල කාලයද දිගු කර ගනිමින් නව සභාපතිවරයකු සහිත නිල මඬුල්ලක් පත් කර ගැනීමට සැලසුම් කළද 2024 දෙසැම්බර් 10 දාතමින් එන්ඕසී සභාපති සුරේෂ් සුබ්‍රමනියම් වෙත ලිපියක් යොමු කළ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (අයිඕසී) දන්වා සිටියේ (ඊට පෙර 2024 නොවැම්බර් 5 අයිඕසීය විසින් එවන ලද අවවාදාත්මක ලිපියද සිහිපත් කරමින්) එකී ආචාර ධර්ම කමිටුවේ වාර්තාව එන්ඕසී ය විසින් නිසි ලෙස ක්‍රියාත්මක නොකළ හේතුව නිසා එන්ඕසී යට ආසියානු ඔලිම්පික් කවුන්සිලය (ඕසීඒ) හා අයිඕසී ය විසින් දෙනු ලබන මූදල් ආධාර අත්හිටුවන බවයි.

ඒ වන විටත් මැක්ස්වෙල් ද සිල්වා එන්ඕසී ලේකම්වරයා ලෙස කළ-කී සෙල්ලම් ගැන ඕසීඒ සහ අයිඕසී යන මව් සංගම් දෙකම පැහැදිලි අවබෝධයකින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය ජනවාරි 14දා සිට මැක්ස්වෙල්ට තාවකාලික තහනමක් පැනවිණි. ඒ අනුව යමින්, ක්‍රීඩා අමාත්‍යවරයාද මැක්ස්වෙල්ගේ ලේකම් තනතුර තහනමකට ලක් කර අතර එන්ඕසීයේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් 2025 ජනවාරි 15 දාතමින් ලිපියක් යොමු කරමින් සභාපති සුබ්‍රමනියම්ට අයිඕසීය දන්වා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සම්බන්ධීකාරකයා ලෙස පිළිගනු ලබන්නේ වත්මන් සභාපතිවරයා පමණක් බවයි. ඒ අනුව, වත්මන් සභපතිවරයා වන සුබ්‍රමනියම් විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශ හා ලිඛිත දැනුම් දීම් පමණක් සලකා බලන බවද ඒ ලිපිය මඟින් අයිඕසීය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් හිටපු ලේකම් ඇතුළු දූෂිතයන්ට එරෙහිව එන්ඕසී ආචාරධර්ම කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි අයිඕසීය දිගින් දිගටම කරන ලද බලපෑම් හේතුවෙන් නව ආචාර ධර්ම කමිටුවක් පසුගිය ජුනි මාසයේදී නැවතත් පත් කිරීමට වතමන් එන්ඕසී සභාපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව ඩිනල් පිලිප්ස් ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය සීවලී ජයවික්‍රම සහ නීතිඥ අශේන් ස්ටැනිස්ලෝස් ඇතුළු ත්‍රිපුද්ගල ආචාරධර්ම කමිටුව 2024 අගෝස්තු 21 වන දින මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ගොනු කළ පැමිණිලි තුනක් සම්බන්ධවද විධිමත් පරීක්ෂණ ආරම්භ කළේය. එකී පරීක්ෂණ වලට අනුව ද සිල්වා ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවේ 10(a), 17(1) සහ (2) වගන්ති උල්ලංඝනය කර ඇති බව තීරණය විය.

2025 මැයි 2 වැනි දින නිකුත් කරන ලද ආචාරධර්ම කමිටුවේ ඒකාබද්ධ නියෝගයෙන්, මැක්ස්වෙල් ද සිල්වාගේ ලේකම් තනතුර තහනම් කර සම්බාධක පැනවීමට නිර්දේශ කරන ලද අතර, ඔහුට වසර 5ක කාලයක් කිසිදු තනතුරක කටයුතු කිරීම වළක්වන ලෙසද නිර්දේශ කෙරිණි. තවද වංචා, දූෂණ සහ මිනිස් ජාවාරම් මත පදනම් වූ චෝදනා රාශියක් විමර්ශනය සඳහා විශේෂයෙන් පත් කරන ලද ආචාරධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අනාවරණ සහ නිර්දේශ මතද සිල්වාගේ තහනම පදනම් වී ඇත.

ආචාරධර්ම කමිටුව, මේ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් ආයතනය වැනි උත්තරීතර ආයතනයක තනතුරක් දැරිය යුතු පුද්ගලයකුට නුසුදුසු හැසිරීමක් ලෙසද නිගමනය කළේය. ඒ අනුව, 2025 මැයි 8 වැනි දින එන්ඕසී විධායක කමිටු රැස්වීමක් කැඳවූ සභාපති සුබ්‍රමනියම්, ආචාරධර්ම කමිටුවේ නිර්දේශවල 4.5 වගන්තියට අනුකූලව, ඒ කමිටුවේ නිර්දේශ සම්පූර්ණයෙන්ම පිළිගැනීමට කළ යෝජනාව එන්ඕසී විධායක කමිටුවේ සාමාජිකයන් 13 දෙනකුගෙන් 10 දෙනකු (විධායක කමිටු සාමාජිකයන් තිදෙනෙකු පැමිණ සිටියේ නැත) විසින් ඒකමතිකව සම්මත කරන ලදි.

මේ තීරණය හිටපු ලේකම් මැක්ස්වෙල්ටත්, අයිඕසියට සහ ඔසීඒ වෙත මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ එන්ඕසී විධායක කමිටුවේ සියලු සාමාජිකයන්ටත් දැනුම් දීමට වත්මන් සභාපති සුබ්‍රමනියම් මහතා පියවර ගෙන ඇත. ආචාරධර්ම කමිටුවේ පෙර නිර්දේශ මෙන්ම, අපක්ෂපාති පරීක්ෂණයක් සඳහා ඉවත් වන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය (OCA) නැවත නැවතත් කළ ඉල්ලීම් නොසලකා හළ මැක්ස්වෙල්ට අවසානයේ සිදු වූයේ හිස් අතින් ගෙදර යෑමටය.

බහුතර විධායක කමිටු සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව, සුබ්‍රමනියම් ඉවත් කර ඔහුගේ තනතුර පවත්වාගැනීම සඳහා ඉක්මන් නිලවරණයක් පැවැත්වීමට මැක්ස්වෙල් උත්සාහ කළේය. ක්‍රීඩා අමාත්‍යවරයා ද සිල්වාට අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කළ විට, නියමිත කාලයට පෙර නිලවරණ පැවැත්වීම අයිඕසීය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඒ බව පැහැදිලිවම 2025 ජනවාරි 15 දිනැති ලිපියක් මඟින් අයිඕසීය විසින් වත්මන් එන්ඕසී සභාපතිවරයාට දන්වන ලද අතර, සදාචාරාත්මක යහ පාලනයක් උදෙසා, තවමත් එන්ඕසීය තුළ ඉතිරිවී සිටින දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අවධාරණය කොට තිබිණි.

භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ සහ උප සභාපති සුරන්ජිත් ප්‍රේමදාස ඉල්ලා අස්වීමත්, සහකාර ලේකම් චන්දන ලියනගේ ඉවත් කිරීමත් යන සිදුවීම්වලින් පසු, සභාපතිවරයා විසින් නව සාමාජිකයන් පත් කිරීමත් සමඟ එන්ඕසී විධායක කමිටුවේ බහුතරය දැන් සුබ්‍රමනියම් විසින් පාලනය කරනු ලැබුවද ද සිල්වාගේ පාර්ශ්වයේ ඉතිරි කොටස් තවමත් එන්ඕසී සාමාජිකත්ව තුළ හොල්මන් කරමින් සිටී. එම කුණු ගොඩවල්ද ඉදිරියේදී පිරිසුදු කළ යුතුය.

මේ අතර මැක්ස්වෙල්ගේ දැවීයෑම නිසා ඔහුගෙන් වරපුසාද ලත් පිරිස් බොහෝ ලෙස කලබලයට පත් වී ඇති සෙයක් පෙනෙන්නේ එළියේ පෙන්වන රැඟුම් දෙස බැලීමේදීය. එනම්: දැන් කරන්නට දෙයක් නැති තැන 2018 ඔලිම්පික් ව්‍යවස්ථාවක් අල්ලාගෙන දඟලයි. හේතුව: එන්ඕසී විධායක සභාවේ ඇති වූ පුරප්පාඩු සඳහා රටේ ක්‍රීඩාවට යහපතක් සිදු කළ හැකි යැයි විශ්වාස කරන පුද්ගලයන් වත්මන් සභාපතිවරයාගේ යෝජනා අනුව පත් කර ඇත. එහෙත් තවමත් මැක්ස්වෙල් අදහන සමහර සාමාජිකයන් පවසන්නේ 2018 එන්ඕසී ව්‍යවස්ථාවට අනුව එසේ නව පත්කිරීම් කළ හැක්කේ විශේෂ මහා සභා රැස්වීමකදී හෝ වාර්ෂික මහා සභා රැස්වීමකදී පමණක් බවයි.

එහෙත් 2019, 2020 හා 2021 වසරවල ඕසීඒ සහ අයිඕසී ව්‍යවස්ථාවන්ට අනුගත වෙමින් එන්ඕසී ව්‍යවස්ථාවේ කරන ලද සංශෝධනයන්ට අනුව වත්මන් එන්ඕසී සභාපතිවරයා ක්‍රියා කර ඇති ආකාරය නීත්‍යනුකූල බවද අයිඕසීය විසින් එන්ඕසී සභාපතිවරයාට පසුගිය දා ලිඛිතව දන්වා ඇත. එනම්, 2021දී සම්මත කරගත් ව්‍යවස්ථාවෙන් එන්ඕසී සභාපතිවරයාට පවරා දී ඇති පුළුල් බලතල අනුව සුබ්‍රමනියම් විසින් කටයුතු කරන ලදැයි අයිඕසීය පෙන්වා දී ඇත. මේ විධිවිධානයෙන් අදහස් වන්නේ විධිමත් අයිඕසී අනුමැතියක් නොවුවද, 2021 අනුවාදය එය සම්මත කර ගත් දා සිට කමිටුවේ මෙහෙයුම් ලේඛනය බවයි. කෙසේ වෙතත්, අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා එන්ඕසීය විසින් 2021දී අනුවර්තනය කරන ලද ව්‍යවස්ථාව විධිමත් ලෙස ඉදිරිපත් කරන ලෙස අයිඕසීය ඉල්ලා ඇත.

එසේ කවුරුන් මොන තරම් වෙට්ටු දැම්මද තම ලේකම් ධුරයේ වසර 15ක පමණ කළ සෙල්ලම්වලට එරෙහි වන්නට හිතවත්කම් පසෙක දමා, දූෂණයට තිත තබන්නට ඔහුගේම සභාපතිවරයා අයිඕසීය සමඟ හිටගන්නට තීරණය කිරීම නිසා මැක්ස්වෙල්ට දැන් වසර 5ක තහනමක් උරුම වී හමාරය. එහෙත් වත්මන් එන්ඕසී සභාපතිවරයා දූෂිතයෙකු වංචාකාරයෙකු යැයි පවසමින් මැක්ස්වෙල් වෙනුවෙන් උඩ පනින පාපන්දු සභාපතිවරයා සහ ජිම්නාස්ටික් සභාපතිවරයා ඇතුළු නඩයට පැවසීමට ඇත්තේ ඔබේ කෙරුවාව පිළිබඳ සොයා බලන්නට බොහෝ දේ ඇති බවයි.

එනම්: වත්මන් පාපන්දු සභාපතිවරයාගේ අක්‍රමිකතා සම්බන්ධව සොයා බැලීමට එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ විසින් 2023 වසරේදී පත් කරන ලද විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙයින් යෝජනා කර සිටිමු. තවද, වත්මන් රජයේ ප්‍රත්පත්තියක් ලෙස විදෙස් තානාපති සේවාවන්ට මින් පෙර කරන ලද දේශපාලන පත්වීම් වෙනස් කරන්නට පියවර ගන්නා සේම මෙරට ක්‍රීඩා පරිපාලනය තුළටද කරන ලද දේශපාලන පත්වීම් වෙනස් කරන්නට ත්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල භාවිතා කරමින් ක්‍රීඩාව පිරිිසුදු කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division