Home » විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් කලින්ම සමුගත්තේ ඇයි?

විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් කලින්ම සමුගත්තේ ඇයි?

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියේ අපේ කාලයේ දුටු හැඩකාර ආඩම්බරකාර වැඩකාරයකු වූ විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව පසුගියදා ප්‍රකාශයට පත් කිරීම ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම ලෝ වටා බොහෝ ක්‍රිකට් රසිකයන්ට පුදුමය දනවන ප්‍රවෘත්තියක් විය. හේතුව: ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන තරග ආකෘති තුනෙහිම කවදත් දක්ෂතා අතර සිටින මෙවන් පිතිකරුවකු හදිසියේම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ ඇයිද? යන ප්‍රශ්නය මතුවන නිසාය.

පසුගිය වසරේ ජූනි මාසයේ පැවැති අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එම කෙටි තරග ආකෘතියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කිරීමත් සමඟ බොහෝ දෙනා සිතුවේ ටෙස්ට් හා එක්දින තරග රටාව වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වීමට එදා එවන් තීරණයක් ගැනීමට හේතුව විය හැකි බවයි. එහෙත් එදා කණ්ඩායම් නායක රෝහිත් ෂර්මා සමඟ විස්සයි20 පිටියෙන් සමුගත් කෝලි මෙදා ටෙස්ට් පිටියට සමුදුන්නේද නායක ෂර්මාත් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ප්‍රකාශ කොට දින පහක් ගෙවීයෑමත් සමඟිනි. කෙසේ වෙතත් 36 හැවිරිදි කෝලි වසර 14ක ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට තරග 123කට ක්‍රීඩා කොට, ඉනිම 210කදී ලකුණු 9,230ක් රැස් කරගෙන තිබිණි. ඉන් තරග තරග 68කදීම ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් කෝලිගේ ටෙස්ට් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.85කි.

ඒ අනුව බැලූ විටද ටෙස්ට් ලකුණු 10,000ට තවත් ලකුණු 770ක් පමණක් ලබාගැනීමට ඉතිරිව තිබියදී මෙසේ සමු ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න බොහෝදෙනාට විවිධ මතයන් ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පළ වන වාර්තාවලට අනුව කෝලිගේ මේ හදිසි ටෙස්ට් සමුගැනීමට හේතුව ගෙවී ගිය වසර 2ක පමණ කාලය තුළ ටෙස්ට් පිටිය ඔහුට එතරම් ඵලදායි බවක් ගෙන නොදීමය. එනම්: 2019දී පූනේහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 254ක් රැස් කිරීමෙන් පසු ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 55.10ක් වැනි උපරිමයකට පැමිණි අතර, එම සාමාන්‍යය පසුගිය මාස 24 තුළ 32.56ක් වැනි පහළ මට්ටමකට වැටිණි.

මේ අතර විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත්තේ ඇයිද? යන පැනයට ඉන්දීය මාධ්‍ය මඟින් විවිධ පිළිතුරු සඳහන් කර තිබිණි. දින පහේ ක්‍රිකට් ආකෘතිය තුළ කෝලිගේ පිරිහෙන ස්වරූපය ඔහු විසින්ම හඳුනා ගැනීම එසේ පළ කර තිබූ එක් අදහසක් වන අතර, විශ්‍රාම ගැනීම සලකා බැලීමට වෙනත් හේතු ලෙස මානසික වෙහෙස සහ ආබාධිත තත්ත්වයන් බලපා ඇති බවට කෝලි මීට පෙර සඳහන් කර තිබූ බවද පැවසේ. තවද, ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් නිසි විවේකයක් නොදීම කෝලිගේ මේ හදිසි තීරණයට බලපාන්නට හැකි තවත් හේතුවක් බවටද වෙනත් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, කෝලිගේ ටෙස්ට් ක්‍රිකට් ගමනේ වසන්ත සමය ලෙස 2011 – 2019 අතර කාල සමය හැඳින්විය හැකි අතර, කෝලි තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2011 වසරේ මැද භාගයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදීය. කෝලිගේ පළමු සාර්ථකම ටෙස්ට් තරගාවලිය 2014-15දී ඔස්ට්‍රේලියාවේදී ද විය. එහිදී ඔහු ඇඩිලේඩ්හිදී ද්විත්ව ශතකයක් රැස් කළ අතර, ඉන් පසුව මෙල්බර්න් සහ සිඩ්නිහිදී ශතක රැස් කරමින් 86.50ක සාමාන්‍යයකින් යුතුව තරගාවලිය අවසානයේ ලකුණු 692ක් රැස් කළේය. එහිදී ඉන්දීය කණඩායමේ නායක. එම්.එස්. දෝනිට මාපටැඟිල්ලේ ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය මඟහැරුණු අතර, එම තරගයේ වැඩබලන නායකයා ලෙස කෝලිට උසස්වීමක් ලැබිණි. කෙසේ වෙතත් එම තරගාවලියෙන් පසු දෝනි ටෙස්ට් ක්‍රිකට් තරගවලින් සමුගත් අතර, ඉන් පසුව විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේය.

කෝලි නායකත්වය දුන් ටෙස්ට් තරග 68න් 40ක් ඉන්දියාව ජයග්‍රහණය කළ අතර පරාජය වූයේ 17ක් පමණි. ඒ අනුව කෝලි ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් නායකයා බවට පත් විය. විරාත් කෝලි අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිවුවැනි වැඩිම ඉන්දීය ලකුණු ලාභියාය. තවද, ඔහු රැස් කළ ටෙස්ට් ශතක 30 ඉන්දීය පිතිකරුවකු ලබාගත් සිවුවැනි ඉහළම ශතක සංඛ්‍යාවද වන අතර, ටෙස්ට් ද්විත්ව ශතක හතක් ලබාගත් කෝලි ඉන්දීය ද්විත්ව ශතකලාභීන් අතර පළමුවැනියාය. අඛණ්ඩව වසර දෙකකදී ලකුණු 75ක් හෝ ඊට වැඩි ලකුණු සාමාන්‍යයක් සහිතව වසරකට ටෙස්ට් ලකුණු 1,000කට වඩා රැස් කළ ලොව එකම ක්‍රීඩකයාද කෝලිය.

කෝලිගේ දක්ෂතා සමඟ ශ්‍රී ලංකාව ද ගෑවී ඇත්තේ විශේෂ හේතුවක් නිසාය. එනම්: ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් කෝලි වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය. 2015 – 2022 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කර ඇති කෝලි ඉනිම 18කදී ලකුණු 1,085ක් රැස් කරගෙන ඇත්තේ 67.81ක ලකුණු සාමාන්‍යයක් සටහන් කරමිනි. තවද ශ්‍රී ලංකා කණ්ඩායමකට එරෙහිව ඉනිමකදී ලබා ගත් ලකුණු 243 ඔහු ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ 2 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද වන අතර, කෝලි ලකුණු 254ක ඉහළම ටෙස්ට් ඉනිම සටහන් කර ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවය

සටහන – සිරිනාම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division