Home » මගේ ගමන වෙනස් කරන්න කාටවත් බැහැ

මගේ ගමන වෙනස් කරන්න කාටවත් බැහැ

දිල්කි දිසානායක

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
අනූෂා රණසිංහ

හැමෝගෙන්ම ලැබුණ සහයෝගය නිසයි පළමු නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණේ සමහර චරිතවල මට යන්න පුළුවන් උපරිම සීමාව මම දන්නවා දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව තුළින් ප්‍රේක්ෂකයින් අතරට ආ දිල්කි දිසානායක මේ දිනවල රිදී තිරයෙන් දැක ගන්න ලැබෙනවා. ඒ ශාන් ජයරත්න කුලුදුලේ අධ්‍යක්ෂණය කළ වසන්ත කුමාරවිල නිෂ්පාදනය කළ සෝණා චිත්‍රපටය තුළින්. මෙවර රසඳුන මේ කතාබහ දිල්කි දිසානායක සමඟ.

සෝණා තිරගත වෙනවා, දිල්කිව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. කොහොමද මේ අවස්ථාව ලැබුණේ?

සෝණා හි අධ්‍යක්ෂ ශාන් ජයරත්න තමයි මට කතා කළේ මෙවැනි සිනමා නිර්මාණයක් කරන්න යනවා කියලා. ඊට පස්සෙ එහි පිටපත කියවලා තමයි මම කැමති වුණේ.

මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම සතුටුයි මම දායක වුණු සිනමා නිර්මාණයකට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබීම ගැන.

සෝණා කියන්නෙ ඇක්ෂන් මූවී එකක්. සෝණා හරහා ලැබුණ අත්දැකීම විස්තර කළොත්?

ඔව්. සෝණා කියන්නෙ ඇක්ෂන් මූවි එකක්. මම එහි ලෙසදිගේ චරිතෙ කරන්නෙ. මගේ චරිතෙ හරහා එන්නෙ ආදරේ ගැන. ඒ වගේම මම එහි නංගිගේ චරිතෙ කරන්නෙ. මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැන වගේම සහෝදර ප්‍රේමය ගැනත් ලස්සන කියවෙනවා. සෝණා තුළ සමාජයට දෙන ලොකු පණිවිඩයක් තියෙනවා.

අමතක නොවන මතකයන් ඇති?

අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. අපි කට්ටියම එකට පෙර පුහුණුවීම් කළේ. ඒ කාලය තුළ ගොඩක් අමතක නොවන මතක තියෙනවා.

සෝණා කියන්නෙ ඔබේ පළමු සිනමා අත්දැකීම ද?

ඔව්, සෝණා හරහා තමයි මම සිනමාවට එන්නේ.

කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය කොහොමද?

කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අධ්‍යක්ෂවරයා වගේම වසන්ත කුමාරවිල සර්ගෙන් පවා ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම කැමරා අධ්‍යක්ෂවරයා, අංග රචනා ශිල්පියා ඇතුළු ටී බෝයි වෙනකම්ම හැමෝම සහයෝගයෙන් වැඩ කළේ. ඒ ලැබුණ සහයෝගය නිසා තමයි මට මගේ පළමු නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණේ.

පුංචි තිරයේ මේ කාලයේ දකින්න ලැබෙන නිර්මාණ මොනවද ?

පුංචි තිරයේ මේ දවස්වල නම් දකින්න නැහැ. ඉස්සරහට වැඩ කිහිපයක්ම භාරගෙන තියෙනවා. ඒ හරහා පුංචි තිරයෙනුත් දකින්න පුළුවන්.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?

ඉදිරියට ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. ඒ එක්කම චිත්‍රපට කිහිපයකින්ම ආරාධනා ලැබිලා තියෙනවා. තව මම ප්‍රධාන චරිතයක් කරපු ‘‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්‘‘ චිත්‍රපටය එන්න තියෙනවා.

ඉදිරියේදී සිනමාවට වැඩි ඉඩක් වෙන් කරන්න ද බලාපොරොත්තුව?

සිනමාවට මම ආසයි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී සිනමාවට ලොකු ඉඩක් වෙන් කරයි කියලා.

චරිතයක් තෝරා ගනිද්දී සීමාවන් තියෙනව ද?

සීමාවන් තියෙනවා. මම කැමැතිම එකිනෙකට වෙනස් වූ චරිත හරහා එන්න. සමහර චරිතවල මට යන්න පුළුවන් උපරිම සීමාව මෙතන කියලා මම ම සීමාවක ඉන්නවා.

කටකතා ගොසිප්වලට බය ද?

ගොසිප්වලට ඉස්සර හරිම බයයි. මටත් කටකතා, ගොසිප් හැදෙයි ද කියලා ලොකු බයකින් පවා ඉඳලා තියෙනවා. හැබැයි කාලයත් එක්ක ගොසිප් කියන්නේ සාමාන්‍යයෙන් හැදෙන දේවල්. ඒ නිසා ඒ දේවල්වලට මගේ ගමන වෙනස් කරන්න හෝ මාව වට්ටන්න බැහැ කියලා දන්න නිසා දැන් මම ඒ දේවල්වලට බය නැහැ.

ෆැෂන්වලට දිල්කි මොනවගේ කැමැත්තක් ද තියෙන්නෙ?

ෆැෂන්වලට මම ලොකු කැමැත්තක් තියෙනවා. මම ඉගෙන ගත්තෙත් ෆැෂන් ඩිසයිනින්.

අනාගත බලාපොරොත්තු මොනවද ?

රංගනය පැත්තෙන් ඉදිරියට යන්න සහ මිනිස්සු ආදරේ කරන අමතක නොවන චරිතයක් වෙන්න කැමැතියි. ඒ එක්කම මගේ ව්‍යාපාර කටයුතු සහ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක වෙන එක තමයි අනාගත බලාපොරොත්තුව.

සෝණා බලන්න ආදරණීය ප්‍රේකෂකයින්ට මොනවගේ ඇරයුමක් ද කරන්නෙ?

ආදරණීය ප්‍රේක්ෂකයින්ට ආදරෙන් ආරාධනා කරනවා සෝණා බලන්න එන්න කියලා. කාලෙකින් තමයි මේ වගේ ඇක්ෂන් මූවි එකක් සිනමාවට එන්නේ. මේ කාලය ඇතුළත ආව වෙනස්ම සිනමා නිර්මාණයක්. පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. ඔබට ළඟම සිනමාශාලාවෙන් සෝණා බලන්න කියලා ආරාධනා කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division