– තාත්තා මිය යද්දී මම ඉස්කෝලේ යන වයසේ හිටියේ
– තාත්තා යන්න කලින් මට එයාගේ කටහඬ දීලා ගිහින් කියලා පස්සේ කාලෙක දැනුනා
ලතා වල්පොළ හා ධර්මදාස වල්පොළ ගායන යුවළගේ බාලම පුතා චමින්ද ලෝලිත වල්පොළයි. ඔහු වසර ගණනාවක සිට ජීවත් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලිස්වලයි. ධර්මදාස වල්පොළගේ අසහාය ගායන හඬට අතිශයින්ම සමාන හඬක් ඇත්නම් ඒ අන් කවරෙකුටත් වඩා චමින්ද වල්පොළට බව ඒ හඬ අසන ඕනෑම කෙනෙකුට දැනෙනු ඇත.
එදා ධර්මදාස වල්පොළයන් ගැයූ “පිපි මල වගේ.., හනික යමන් පුල්ලි ගොනෝ…, මේ සෞම්‍ය රාත්‍රිය…, හොඳ හොඳම වේය ලොව…, පෙම් ලෝකයක් මවාලා…, මඟ බල බලා ඇති ය…, අහසේ සඳ සේ…, සිරි ලංකාවේ ශාන්ත ශෝභන…, වාසනාවන්ත කල ලබා…, මං මුලා වෙලා…” ආදි වශයෙන් ශ්‍රාවක හදවත් පැහැර ගත් මියුරු ගී අද චමින්ද වල්පොළ ගයද්දී ඒ හඬ ඔස්සේ අපට ධර්මදාස වල්පොළයන් ජීවමාන වේ.
“තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. මං එහෙම හිතාගෙනයි මේ වතාවේ ලංකාවට ආවේ. නමුත් ලංකාව ගොඩාක් වෙනස් වෙලා. ලේසියෙන් එහෙම දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සංකීර්ණ වෙලා. මගේ තාත්තා මිය යද්දී මම ඉස්කෝලේ යන වයසේ හිටියේ. පුංචිම කාලේ තාත්තා මාව සංගීත ප්‍රසංග බලන්න එක්කගෙන යනවා. මම තාත්තාගේ උකුළේ වාඩිවෙලා ඒ සින්දු අහගෙන ඉන්නවා. මට තාත්තාව ගොඩාක්ම දැනෙන කාලේ තමයි තාත්තා මට නැති වුණේ. තාත්තා යන්න කලින් මට එයාගේ කටහඬ දීලා ගිහින් කියලා පස්සේ කාලෙක දැනුනා. ඒ නිසා තාත්තාගේ ගීතත්, මගේම ගීතත් එකතු කරලා තාත්තයි, අම්මයි ගායන ක්ෂේත්‍රයේ රඳවා ගත්ත ශ්‍රී නාමයට ගරුත්වයක් ලෙසත්, තාත්තාට දෙන්න බැරිවුණු මගේ ආදරය තාත්තාට පුදදීම සඳහාත්, පුළුවන් විදිහට යම් දෙයක් කරන්න මං උත්සාහ කරමින් සිටිනවා. ඒ සඳහා අනුග්‍රාහකත්වයන් ලැබෙනවා නම් මට හොඳ ප්‍රසංගයක් එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් වේවි. එහෙම අනුග්‍රාහකත්වය දක්වන්න කවුරුන් හෝ කැමති නම් මම මාස දෙකක් වගේ ලංකාවේ ඉන්න නිසා මේ ප්‍රසංගය ලස්සනට කරන්න පුළුවන් වේවි. ඒ අයට ඉතාම ආදරයෙන් මම ආරාධනා කරනවා මගේ තාත්තා වෙනුවෙන් නෙවෙයි රටක් ආදරය කළ ධර්මදාස වල්පොළ නම් වූ සුවිශේෂ කලාකරුවා වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න අනුග්‍රයක් දක්වන්න කියලා.”
සයුරෙන් එහා ජීවත් වුණත් යූටියුබ් චැනලය, ෆේස්බුක් හරහා චමින්ද වල්පොළ ගයන මියුරු ගීත වර්තමානයේ අපට රසවිඳින්නට හැකියාව පවතී. ඒ හඬ තීව්‍ර කරවන තවත් අසහාය හඬක් ඔහුට එක්වී ඇත. ඇය ප්‍රීතිශා වල්පොළයි. ඇය ඉන්දියානු ජාතික තැනැත්තියකි. ඉතා කුඩා අවධියේ පටන් ලතා මංගේෂ්කාර්ගේ ගී හඬට වශීකෘත වූ ප්‍රීතිශා වර්තමානයේ ලතා මංගේෂ්කාර්ගේ හඬට ඉතාම සමීප හඬකින් අපූරුවට ගී ගයන්නීය. ඇය චමින්ද වල්පොළගේ ආදරණීය බිරිඳ වීමෙන් මේ දෙදෙනා ගායන යුවළක් ලෙස මේ වනවිට ලොස්ඇන්ජලිස්හි පමණක් නොව වෙනත් ප්‍රාන්තවලත්, වෙනත් රටවල් බොහෝමයකත් ප්‍රසංගවල අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. ලතා වල්පොළ සමඟ ධර්මදාස වල්පොළ ගැයූ ජනප්‍රිය ගීත චමින්ද සහ ප්‍රීතිශාගේ හඬින් අසන්නට ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුමාකර උනන්දුවකි. ඒ ඔවුන් දෙදෙනාගේ ගායන විලාසයන් ධර්මදාස, ලතා දෙහඬ හා සම වන බැවිනි.
“මගේ යාළුවෝ වාගේ ම ප්‍රීතිශාත් මට නිතර කිවුවේ කටහඬ හරිම ලස්සනයි. ඒ නිසා සින්දු කියන්න කියලා. පසුව මම ඒ ගැන උනන්දු වෙලා හැදෑරීම් කළා. ගීත ප්‍රසංගවලදී අපි දෙන්නා එකතු වෙලා ගීත ගයනවා. අපි වැඩිපුරම කරන්නේත්, සම්බන්ධ වෙන්නේත් හින්දි හෝ ඉන්දියානුවන් සම්බන්ධ සංගීත ප්‍රසංගවලටයි. ප්‍රීතිශා ඒ ප්‍රසංගවලදී ලතා මංගේෂ්කාර්ගේ ගීත ගයද්දී ප්‍රේක්ෂකයින් පුදුම විදිහට එයාව අගය කරනවා. මගේ අම්මයි, තාත්තයි ගැයූ ගීතත් අපි දෙන්නා ඒ ප්‍රසංගවලදී ප්‍රේක්ෂක ඉල්ලීම අනුව ගයනවා. අපි දෙන්නා එකතු වෙලා ප්‍රසංග ගණනාවක් කළා. ජනප්‍රිය ශිල්පීන් ගෙන්වලා කරන ප්‍රසංගවලටත් සංගීත කණ්ඩායමක් හැටියට අපි සම්බන්ධ වෙනවා. ඒ හැමදේකදීම ඉහළ ප්‍රතිචාර අපට ලැබෙනවා. හැම සති අන්තයකම වාගේ අපට ප්‍රසංග ලැබෙනවා.”
චමින්ද පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වූයේය. ශබ්ද ඉංජිනේරුවරයෙක් වශයෙනුත්, ශබ්ද පරිපාලකයකු වශයෙනුත්, පටිගත කිරීමේ ශිල්පියකු ලෙසත් ඔහු බොහෝ කලක් කටයුතු කළේය.
“අමෙරිකාවට ගිය මුල් කාලයේ නම් සංගීත කටයුතු කළේ විනෝදයට වාගේ වුණත් පසුව මට සංගීත වැඩ වැඩි වෙන්න පටන් ගත්තා. රැකියාව අතරතුර සංගීත කටයුතු කරන්න බැරි තරමට වැඩ වැඩි වෙන්න පටන් ගත්ත නිසා මටත් නොදැනී ම සංගීතය පැත්තටම යොමු වුණා. මගේම කියලා ගීත කිහිපයකුත් නිර්මාණය කර තිබෙනවා. ඒ අතර මමම පද රචනා කරලා, මමම තනු නිර්මාණය කරලා, මමම සංගීතවත් කරලා, මමම ගැයූ ගීතත් තියෙනවා. මම තාත්තා වෙනුවෙන් ගැයූ ගීයත් එහෙම මම නිර්මාණය කළ මගේ ම ගීයක්. ඒක තාත්තා වෙනුවෙන් ම යි.”
“පියාණෙනි
ඔබ ගැයූ ගී
තවමත් මගේ හදේ
රැව් පිළිරැව්දේ….”
තුෂාරී කළුබෝවිල