Home » චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා

චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

දවසින් දවස අපේ ගීත කලාවට අලුත් අලුත් ගීත එකතු වෙනවා. එහෙම එකතු වුණ ගී අතුරෙන් වෙනස්ම විදිහේ ගීතයක් මේ දිනවල මුහුණු පොතේ සැරි සරනවා. වචනයෙන් හරඹ දක්වන, සංගීතයෙන් හරඹ දක්වන මේ ගීතය වෙනස්ම රසයක් ගෙන එන්නක් යැයි කිව්වොත් නිවැරැදියි.

කාලයත් සමඟ අද වන විට සමාජයේ බොහෝ දේ වෙනස් වෙලා. වෙනස් වෙමින් පවතිනවා. සමාජ සාරධර්ම මෙන්ම සමාජ ගුණධර්ම පමණක් නොව සියල්ලම වෙනස් වෙමින් තියෙන යුගයක අපි අද ඉන්නේ. එවන් සමාජයක ආදරය, ප්‍රේමය වැනි දේද වෙනස් වෙමින් තියෙන්නේ. අදින් අවුරුදු ගණනාවකට පෙර තරුණ තරුණියන් ආදරය බෙදා ගත්තේ, තමන් ආදරය කරන කෙනා තෝරා ගත්තේ තොවිල්පළකදි, පන්සලේ වෙන්දේසි පිංකමක් වැනි තැනකදි. ඉනුත් කාලෙකට පස්සේ ලියුම් හුවමාරු වෙලයි දෙදෙනෙක් අතර ආදරයක් ඇති වුණේ. එහෙම ගෙවුණ කාලය අද වන විට වෙනස්ම තැනක නතර වෙලා. වර්තමානයේ හැමදෙයක්ම තීරණය වෙන්නේ නවීණ තාක්ෂණයත් එක්ක. ජංගම දුරකතනය හරහා ඇති වුණ හිතමිත්‍රකම් අද වන විට බොහෝ දුරදිග ගිහින් තියෙනවා. මේ සියල්ලම කාලයේ වෙනස්කම්. ඒ වෙනස්කම හරි අපූරුවට ලියවුණු ගීතයක් මේක. මේ ගීතයේ හිමිකරු නව පරපුරේ ගී පද රචකයකු වන තරින්ද ගුණවර්ධන. හැමදාමත් තම නිර්මාණයන් තුළින් අලුත් දෙයක් කරන්නට උත්සාහ දරන තරින්ද මෙවරත් එය සාර්ථකව කර ඇති බව ගීතයේ වචන ටික ඇහුවම, ඒ වචන දෙස බැලුවම ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්.

“චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා

මට කියාගන්න බැරි දහසක් දේ

ලියා තියනවා මුහුණු පොතේ

මට ෂෙයාර් කරන්නට බැරි දේවල්

එවා තියන්නම් මැසෙන්ජරේ

වට්ස්ඇප් ටික්‌ටොක් ඉන්ස්ට ඉමෝ

ට්විටර් කර කර කියාවී

මම ළඟදීම ඔයාගේ මුහුණු පොතේ

ඇඩ්මින් තනතුර දිනාවී …“

චන්ද්‍රශ්‍රියාවි ගීය පිළිබඳ ඇසූ විට තරින්ද දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්.

“මම හැම විටම වෙනස් දෙයක් කරන්න උත්සාහ දරන කෙනෙක්. විශේෂයෙන්ම මට ඕන වුණා නිතරම ඇහෙන සංගීතයෙන් මිදිලා වෙනස්ම සංගීතයක් සමඟ ගීතයක් කරන්න. අපිට නිතර ඇසෙන හින්දුස්ථානි සංගීතය, නිතර ඇසෙන බටහිර සංගීතයෙන් ඈත් වෙලා වෙනස්ම දෙයක් කරන්නයි ඕන වුණේ. මේ ගීතයේ සංගීතය අතර මැද්දේ බෙර හඬක් ඇසෙනවා. කර්ණාටක් සංගීතයේ ඇසෙන නාද රටාව ඇසෙනවා. සංගීත ශිල්පි මාලක රත්නායක මෘදංගයක් පාවිච්චි කරලා නැහැ. නමුත් ඔහු ඒ නාද රටාව පරිගණකය ඔස්සේ හරි අපූරුවට මෙයට ගළපගෙන තියෙනවා. මම ගීතයේ සංගීතය නිර්මාණය ගැනයි මුලින්ම හිතුවේ. අපි දෙන්නා මෙය සාකච්ජා කළා. ඒ අනුවයි සංගීතය නිර්මාණය වුණේ. මට ඕන වුණා ආදරය ගැන වෙනස්ම විදිහට බලන්න, දකින්න. අපේ බාල කාලයේ ඒ කියන්නේ මීට අවුරුදු තිස් ගණනකට හතළිහකට පෙර අපි අහලා තියෙන්නේ වික්ටර් රත්නායක ගයන ‘තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත …. ‘ ගීතය. ඒ වගේම මිල්ටන් මල්ලව ආරච්චි ගයන මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි… ඒ ආදි වශයෙන් ඒ යුගයේ ලියැවුණේ පෙම්හසුන් මුල්කර ගත් ප්‍රේමයන් ගැන.

ඊටත් පස්සේ කරුණාරත්න අබේසේකරයන් ලියනවා දුරකතනයකින් මම ඔබ අමතමි… ආදි වශයෙන් ප්‍රේම ගීත.

මෙහෙම ගිහිල්ලා අද වෙන කොට හැම කෙනෙකුගේම අතේ ජංගම දුරකතනයක් තියෙන තත්ත්වයට මේ සමාජය පත් වෙලා. අද වන විට එදා තරුණයන්, තරුණියන් දුටු විදිහට නෙමෙයි වර්තමාන පරම්පරාව ප්‍රේමය දකින්නේ, විඳින්නේ… අතේ තියෙන දුරකතනයෙන් එස්. එම්. එස්, වට්ස්ඇප් පණිවිඩ, මැසෙන්ජරය හරහා කෙටි පණිවුඩ තියලා ප්‍රේමයක් ඇති කරගෙන ඒ ප්‍රේමය නැතිවුණ ගමන්ම ඒ හැමදේම බ්ලොක් කරනවා. ඔන්න ඕකයි අද තත්ත්වය. මටත් ඕන වුණා මේ ගැන ලියන්න. වෙලාවකට හිතෙනවා මේ ප්‍රේමය අපට විශ්වාස කරන්න පුළුවන් ද කියලා ..මොකද එපා වුණා නම් හැම දේම ඩිලීට් කරලා දාන්න යන්නේ බොහෝම සුළු මොහොතයි. මේ හැම දෙයක් ගැනම බොහෝම හිතලා වචන ගළපලා තමයි මම ගීතය ලිව්වේ.

ඒ ගීතය ගයන්න තෝරා ගත්තේ ඉන්දික ලියනගේ සොයුරාව. ඔහු හරි අපූරුවට මේ ගීතය ගයනවා. ඒ වගේම මාලක සොයුරාගේ සංගීත නිර්මාණයත් මා ලියූ පද සමඟ අපූරුවට ගැළපෙනවා. ගීතයට ලැබෙන ප්‍රතිචාරත් සමඟ බලන විට මට වෙනස්ම දෙයක් කරන්න පුළුවන් වුණා කියන සතුට තියෙනවා.“

තරින්ද කරන ලද ඒ අත්හදා බැලීමට ලැබෙන රසික ප්‍රතිචාරයද ඉහළය. ඔහු විසින් විටින් විට ලියූ ගීත එකිනෙකට වෙනස් ය. අද අපේ ගීත ක්ෂේත්‍රයට අවශ්‍ය වී ඇත්තේ ද මෙවන් අත්හදා බැලීම් කරන පරපුරක්ය.

මට කියා­ගන්න බැරි දහ­සක් දේ
ලියා තිය­නවා මුහුණු පොතේ
මට ෂෙයාර් කර­න්නට බැරි දේවල්
එවා තිය­න්නම් මැසෙ­න්ජරේ
වට්ස්ඇප් ටික්‌ටොක් ඉන්ස්ට ඉමෝ
ට්විටර් කර කර කියාවී
මම ළඟ­දීම ඔයාගේ මුහුණු පොතේ
ඇඩ්මින් තන­තුර දිනාවී

ඔය ආදර කවි ගී අසලා
මගේ ඇඩ්රි­න­ලින් ඇත නැගල
තව ඉහ­ළට ඉහ­ළට එස­වු­ණො­තින්
හද­වත යයි සත්ක­ඩ­කට පැළිලා
චන්ද්‍ර­ශ්‍රි­යාවි මම ඔබේ කුමා­රයා

පන­හයි සිය­යයි කියලා
දැන් බර­ටම රීලෝඩ් කරලා
මගේ පොකට් එකට බර­වැඩි වුණො­තින්
ලව් එක යයි මඟ හැරිලා
චන්ද්‍ර­ශ්‍රි­යාවි එදාට ඔබ මා බ්ලොක් කරලා

ගාය­නය – ඉන්දික ලිය­නගේ
පද රච­නය – තරින්ද ගුණ­ව­ර්ධන
සංගී­තය – මාලක රත්නා­යක

ඉසවි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division